Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවාද? 1වෙනි කොටස

විවාහයෙන් මං බලාපොරොත්තු වෙන්නේ මොනවාද? 1වෙනි කොටස

“එයත් එක්ක ඉද්දී මට මුළු ලෝකෙම අමතක වෙනවා. අපි එක වහලක් යටට යන්නේ කවදද කියලා මං ඇඟිලි ගැන ගැන ඉන්නේ!”

“අපි දෙන්නට දෙන්නා කොහොමත් ගැළපෙන්නේ නැහැ. එක වහලක් යට හිටියත් අපි ඉන්නේ බෝඩිංකාරයෝ වගේ. මට පුදුම තනිකමක් දැනෙන්නේ!”

ඔයා හිතයි මේ අදහස් දෙක කිව්වේ දෙන්නෙක් කියලා. ඒත් ඔයා දන්නවද, ඒ දෙකම කිව්වේ එක්කෙනෙක්.

එයාලට වැරදුණේ කොතැනද? ඔයත් බඳින්න ආසාවෙන් ඉන්නවා ඇති. ඔයා සිහින මවමින් ඉන්න සුන්දර විවාහ ජීවිතය වේදනාකාරී අද්දැකීමකින් අවසන් නොවෙන්න නම් ඔයා මොනවද කරන්න ඕනේ?

ඇත්ත තත්වය: ඔයාගේ විවාහ ජීවිතයේ සතුට රැඳෙන්නේ මූලිකවම ඔයා විවාහයෙන් බලාපොරොත්තු වන දේ අනුවයි.

“යොවුන් සිතේ ගැටලු” යන කොටස යටතේ පළ වෙන මෙම ලිපියෙනුත් ඊළඟ සඟරාවේ පළ වෙන ලිපියෙනුත් විවාහයෙන් බලාපොරොත්තු වෙන දේ ගැන යථාර්ථවාදී වෙන්න උපකාරවත් වන මඟ පෙන්වීම් ලබා දෙනවා.

විවාහයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් හුඟක් දේවල් තිබුණත් මේ ලිපියෙන් සලකා බලන්නේ කාරණා තුනක් ගැනයි.

  1. ආශීර්වාද

  2. අභියෝග

  3. නොසිතන දේවල් සිදු වීම

දැන් අපි ඒවා එකින් එක සලකා බලමු.

ආශීර්වාද

බයිබලයේ විවාහය ගැන සඳහන් කරලා තියෙන්නේ සුබවාදී විදිහටයි. (හිතෝපදේශ 18:22) විවාහ ජීවිතයෙන් ලැබෙන ආශීර්වාද කිහිපයක් දැන් බලමු.

හොඳ මිත්‍රත්වයක්. මුල්ම මිනිසාව නිර්මාණය කෙරුවට පස්සේ දෙවි මෙහෙම කිව්වා. ‘මිනිසා තනිව සිටීම හොඳ නැහැ.’ පස්සේ දෙවි ඒවව නිර්මාණය කළා. (උත්පත්ති 2:18) දෙවි, ආදම් සහ ඒවව නිර්මාණය කළේ වෙනස් ගතිගුණ ඇතුවයි. ආදම්ගේ ගතිගුණවලට වඩා ඒවගේ ගතිගුණ වෙනස්. ඒත් එකිනෙකා සමඟ පෑහී කටයුතු කිරීමේ හැකියාව තිබුණා. ඒ හා සමානව අද දිනත් පුරුෂයා හා භාර්යාවට එකිනෙකා සමඟ සමීප මිත්‍රත්වයක් භුක්ති විඳීමේ හැකියාව තියෙනවා.—හිතෝපදේශ 5:18.

සහයෝගය. බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ.” (දේශනාකාරයා 4:9) ඒක විවාහය තුළින් අද්දකින්න පුළුවන්. “බැන්දට පස්සේ එකට එකතු වෙලා තමයි වැඩ කරන්න ඕනේ. නිහතමානී වෙන්නත් ඕනේ. අනිත් කෙනාගේ කැමත්තට ඉඩ දෙන්නත් ඕනේ.” එහෙම කියන්නේ ළඟදී බැඳපු බ්‍රෙන්ඩා. *

කිට්ටු බැදීමක්. “ස්වාමිපුරුෂයා සහ භාර්යාව අඹුසැමියන් ලෙස එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කර දිය යුතුයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 කොරින්ති 7:3) ඔයා විවාහ වුණාම ලිංගික සම්බන්ධකම්වලින් සතුටක් ලබන්නත් පුළුවන්. ඒත් බඳින්න කලින් එවැනි සම්බන්ධකම් පැවැත්තුවොත් ඇති වෙන්නේ සිත්තැවුල් හා කලකිරීම විතරයි.—හිතෝපදේශ 7:22, 23; 1 කොරින්ති 7:8, 9.

නිගමනය: විවාහය දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයක්. (යාකොබ් 1:17) දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරනවා නම් පවුල් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්.

සිතා බලන්න: ඔයාගේ පවුලේ අය නිසා, ඔයා අහන දකින දේවල් නිසා ඔයාට විවාහය ගැන හොඳ හැඟීමක් නැද්ද? එහෙමනම් ඔයාට ආදර්ශයට ගන්න පුළුවන් සාර්ථක විවාහ ජීවිත ගත කරන අය කවුද?

අභියෝග

විවාහය දෙස යථාර්ථවාදීව බලන්න බයිබලයේ සඳහන් දේ ප්‍රයෝජනවත් වෙනවා. (1 කොරින්ති 7:28) දැන් අපි බලමු ඔයාට මුහුණ දෙන්න සිදු වෙන අභියෝග මොනවද කියලා.

ගැටුම්. එක වගේ ගතිගුණ තියෙන දෙන්නෙක් මේ ලෝකේ නැහැ. හැබැයි එක දෙයක් නම් දෙන්නටම පොදුයි. ඒ තමයි දෙන්නම පව්කාරයන්. (රෝම 3:23) ඒ කියන්නේ දෙන්නගෙම අතින් වැරදි සිදු වෙනවා කියන එකයි. දෙන්නට දෙන්නා කොච්චර ගැළපුණත් ඉඳහිට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට කියපු දෙයක් ගැන පසුතැවෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. බයිබලයෙත් මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.’ (යාකොබ් 3:2) මතගැටුම් ඇති නොවී හැමදාම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් කියලා කෙනෙක් හිතනවා නම් ඒක සිහිනයක්. ඒ නිසා මතගැටුම් ඇති වෙනකොට යුවළක් ඒක සාකච්ඡා කරලා විසඳගන්න විදිහ ගැන ඉගෙනගන්න එක අත්‍යවශ්‍යයි.

බලාපොරොත්තු සුන් වීම්. “නාට්‍යවලයි චිත්‍රපටිවලයි පෙන්නන්නේ ගෑනු ළමයට සීයට සීයක්ම ගැළපෙන කොල්ලෙක් හම්බ වෙලා සතුටින් ජීවත් වන විදිහයි” කියා කෙරන් කියන යෞවනිය පවසනවා. ඒත් සැබෑ ජීවිතයේදී ඒ විදිහට සිදු වෙන්නේ නැතිකොට දෙන්නටම කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. කලින් දැක්කේ නැති එකිනෙකාගේ දුර්වලකම් බැන්දට පස්සේ දකිනවාමයි. ඒත් සැබෑ ආදරයක් තියෙනවා නම් ‘සියල්ල විඳදරාගන්න’ පුළුවන් කියන එක අමතක කරන්න එපා.—1 කොරින්ති 13:4, 7.

කනස්සල්ල. විවාහ වුණ අය ‘එදිනෙදා ජීවිතයේ දේවල් ගැන කරදර වෙයි.’ (1 කොරින්ති 7:33, 34) ඒක සාමාන්‍ය දෙයක්. සමහරවිට ලැබෙන පඩිය පවුලේ වියදමට මදි වෙන්න පුළුවන්. කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් වගේ මූලික අවශ්‍යතා සඳහා දෙන්නටම රස්සාවක් කරන්නත් වෙයි. ඒත් දෙන්නම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කළොත් වියහියදම් පියවාගන්න පුළුවන්.—1 තිමෝති 5:8.

නිගමනය: යාළු වෙලා හිටපු කාලය සරුංගල් අරින එකට සමාන කළොත් විවාහ ජීවිතය සමාන වෙන්නේ ගුවන් යානයක් පියාසර කිරීමකට. විවාහ ජීවිතේ ප්‍රශ්න ගැටලු ඇති වුණත් වෑයමත් දක්ෂකමත් තියෙනවා නම් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්.

මේ ගැන සිතන්න: ඔයා දැන් දෙමව්පියන් එක්ක, ඔයාගේ සහෝදරයන් එක්ක ප්‍රශ්නයක් වුණාම ඒක විසඳගන්නේ කොහොමද? හිතාගෙන හිටපු දෙයක් ඉටු නොවුණාම ඔයා කලකිරීමට පත් වෙන්නේ නැතුව ඒ ගැන සුබවාදීව හිතනවද? ඔයා ඕනෑවට වඩා හැම දෙයක් ගැනම දුක් වෙනවද?

ඊළඟ ලිපියේ කතා කරන්නේ විවාහය තුළ හිතපු නැති දෙයක් සිද්ධ වුණාම බයිබලයේ තියෙන උපදෙස් උපකාරවත් වෙන්නේ කොහොමද කියලයි.

 

^ 17 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.