Skip to content

පටුනට යන්න

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර

රුධිරය වෙනුවට විකල්ප ප්‍රතිකාර

මොස්කව් නගරයේ 60වෙනි වතාවටත් හෘද රෝග විශේෂඥයන්ගේ සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සම්මේලනයක් පැවැත්වුණා. ඒ සඳහා රටවල් 40කට වඩා වැඩි සංඛ්‍යාවකින් වෛද්‍යවරුන් පැමිණ සිටියා. එය පවත්වනු ලැබුවේ 2011 මැයි 20-22 දක්වායි. එම සම්මේලනය ගැන රුසියානු රූපවාහිනී නිවේදකයෙක් පැවසුවේ මෙවැනි දෙයක්. “මලල ක්‍රීඩකයන්ට ඔලිම්පික් තරඟාවලිය සුවිශේෂ අවස්ථාවක් වෙනවා හා සමානව මෙම සම්මේලනය වෛද්‍යවරුන්ට ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්.”

සම්මේලනයට පැමිණි අයගේ විශේෂ අවධානයට ලක් වුණේ රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෙන් කර තිබූ ප්‍රදර්ශන කුටියයි. එය සැලසුම් කර තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රෝහල් තොරතුරු සැපයුම් සේවාව මගිනුයි. එහි තිබූ රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පත්‍රිකා, පොත් පත් සහ DVD වැනි දේවල් වෛද්‍යවරු මහත් උනන්දුවකින් ලබාගත්තා. ඒවා අතරින් වැඩිම ඉල්ලුමක් තිබුණේ රුධිර ප්‍රවේශන විකල්ප ක්‍රම—සරලයි, සුරක්ෂිතයි, ඵලදායකයි යන DVD තැටියටයි. *

එම ප්‍රදර්ශන කුටියට පැමිණි බොහෝ වෛද්‍යවරු පිළිගත්තේ ශල්‍යකර්මවලදී රුධිරය අපතේ නොයන ලෙස සැත්කම් කිරීම අවශ්‍ය බවයි. ඉතාලියෙන් පැමිණි හෘද රෝග ශල්‍ය වෛද්‍යවරයෙක් කියා සිටියේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන රෝගීන් 70දෙනෙකුට පමණ ඔහු සාර්ථක ලෙස රුධිරය රහිත සැත්කම් කර තිබෙන බවයි. ඒ වගේම ඔහුගේ රෝහලේදී රුධිරය රහිත සැත්කම් කිරීම සාමාන්‍ය දෙයක් බවත් ඔහුගේ දේශනයේදී කියා සිටියා. ජර්මනියේ බර්ලින් නුවර හෘද රෝග සංගමයේ (German Heart Institute Berlin) මහාචාර්යවරයෙක් DVD තැටියක් ලබාගත් අතර ඔහු සමඟ සේවය කරන කෙනෙකුටත් ඉන් එකක් ලබාගත්තා. ඔහු සභාව අමතන අවස්ථාවේදී කියා සිටියේ කිලෝ දෙකහමාරක් තරම් බර ළදරුවෙකුට රුධිරය රහිත සැත්කමක් ඔහු කළ බවයි. ඔහුගේ රෝහලේදී ඊටත් වඩා අඩු බරකින් යුත් ළදරුවන්ටත් හෘද සැත්කම් කළ බව ඔහු පැවසුවා.

එම සම්මේලනයෙන් මාසෙකට පසු රුසියාවේ බෙලොමොර්ස්ක් ප්‍රදේශයේ සම්මේලනයක් පැවැත්වුවා. නිර්වින්දක වෛද්‍යවරු සහ දැඩිසත්කාර අංශවල සේවය කරන වෛද්‍යවරුන් සඳහා සංවිධානය කර තිබූ එය පවත්වනු ලැබුවේ හතරවෙනි වතාවටයි. මේ වතාවේදීත් රෝහල් තොරතුරු සැපයුම් සේවාව විසින් ප්‍රදර්ශන කුටියක් සැලසුම් කර තිබුණා. එහිදීත් එම කුටිය වැඩිදෙනාගේ අවධානයට ලක් වුණා. ප්‍රදර්ශනයට තබා තිබූ පොත් පත් දුටු වෛද්‍යවරියක් අවංකවම මෙසේ ප්‍රකාශ කළා. “මේක තමයි අපිට ඕනේ වෙලා තිබුණේ.” ඇය කියා සිටියේ තමන් සමඟ සේවයේ නියැලෙන වෛද්‍යවරුන් රුධිරය ලබා දීමට අවශ්‍යතාවක් නැති රෝගීන්ටත් පුරුද්දක් ලෙස රුධිරය ලබා දෙන බවයි. උදාහරණයකට පිලිස්සුම් තුවාල ඇති රෝගීන්ට පවා රුධිරය ලබා දෙන බවයි. ඇය තවදුරටත් මෙසේ පැවසුවා. “පිලිස්සුම් තුවාල තිබෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ශාන්ත පීටර්ස්බර්ග්වල පැවැත්වීමට නියමිත සම්මේලනයටත් මෙම තොරතුරු ප්‍රයෝජනවත් වෙයි.”

රුධිරය රහිත ප්‍රතිකාර ක්‍රම හා සැත්කම්වල ඇති වටිනාකම දැන් බොහෝ වෛද්‍යවරුන් තේරුම්ගෙන සිටිනවා. යම් දිනක මෙම ප්‍රතිකාර ක්‍රම මුළු ලෝකයේම සිටින වෛද්‍යවරුන් පිළිගනියි යන්න අපගේ බලාපොරොත්තුවයි.

^ 3 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් සම්පාදනය කරන ලද්දක්.—සිංහලෙන් නැහැ.