Skip to content

පටුනට යන්න

කාගෙත් කතාබහට ලක් වූ විෂයක්

කාගෙත් කතාබහට ලක් වූ විෂයක්

අනාගතය ගැන සිතද්දී ඔබට බියක් දැනෙනවාද? පිළිතුර ඔව් නම් එසේ දැනෙන්නේ ඔබට පමණක් නොවෙයි. ඈත අතීතයේ සිටම මිනිසා අනාගතයේදී සිදු වන්නේ කුමක්ද කියා දැනගැනීමට වෑයම් කර තිබෙනවා. ඉන් ඔවුන්ට පැහැදිලි වුණේ සෑමවිටම අනාගතය සුබවාදී නොවන බවයි. ලෝක විනාශයක් ගැන මිනිසුන් උනන්දුවක් දක්වන්නේ අද ඊයේ සිට නොවෙයි.

උදාහරණයකට මෑතක සිට ලෝක විනාශය ගැන විවිධ මනඃකල්පිත අදහස් රූපවාහිනියෙන්, චිත්‍රපටිවලින් සහ පොත් පත්වලින් අහන්න දකින්න ලැබෙනවා. ඒවායින් හුවා දක්වන්නේ දරුණු රොබෝවරු, අද්භූත සත්තු, පිටසක්වල ජීවීන්, පණ ලැබුණු මළ මිනී සහ භූතයෝ විසින් මුළු මිනිස් ජාතියම විනාශ කරන ආකාරයයි. එලෙස ලෝකය විනාශ වෙයි කියා කිසිවෙක් විශ්වාස නොකරන බව ඇත්තයි.

කෙසේවෙතත් සමහර විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන තොරතුරු නිසා මිනිසුන් සිටින්නේ බියෙන්. උදාහරණයකට පෘථිවි පෘෂ්ඨයේ සිදු වන විශාල වෙනසක් නිසා දරුණු සුනාමි තත්වයන්, භූමිකම්පා සහ ගිනිකඳු පුපුරා යෑම් සිදු විය හැකියි කියා සමහරුන් සිතනවා. තවත් අයගේ මතය නම් යම් දිනක සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ වස්තු එක පේළියකට පිහිටන නිසා සූර්ය සුළං තීව්‍ර වී පෘථිවිය විනාශ වන බවයි. තවත් සමහරු සිතන්නේ පෘථිවියේ චුම්බක ධෘවවල සිදු වන වෙනසක් නිසා සූර්යාගෙන් නිකුත් වන අහිතකර කිරණ පෘථිවියට ඇදගනු ලැබීමෙන් සියලුම ජීවීන් විනාශ විය හැකි බවයි. බොහෝ අය එවැනි විද්‍යාත්මක මත ගැන කනස්සල්ලට පත් වෙනවා. එහෙත් එවැනි දෙයක් කිසිදා සිදු වන්නේ නැහැ.

එසේනම් 2012 දෙසැම්බර් 21වන දින ලෝකය විනාශ වන බවට බොහෝ පොත් පත්වල සහ වෙබ් අඩවිවල සඳහන් කාරණය ගැන කුමක් කිව හැකිද? ඒවායේ සඳහන් වන්නේ එක්තරා ග්‍රහ වස්තුවක් (Nibiru) පෘථිවියේ ගැටී 2012 දෙසැම්බර් මාසයේදී පෘථිවිය විනාශ වන බවයි. එම තොරතුරුත්, ඒ හා සමාන වෙනත් තොරතුරුත් සත්‍යය බව සනාථ කිරීමට සාක්ෂි නැහැ. කෙසේවෙතත් දෙසැම්බර් මාසයේදී ලෝකය විනාශ වන බවට මිනිසුන් විවිධ උපකල්පනවලට පැමිණ තිබෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදී පෘථිවිය විනාශ වන බව මායාවරුන්ගේ දිනදර්ශනයේ සඳහන් වන නිසයි.

එවැනි තොරතුරු විශ්වාස කරන අය විනාශයෙන් බේරීමට පොළොව යට කුටි තනා තිබෙනවා. තවත් අය ජලය, විදුලි බලය වැනි මූලික අවශ්‍යතා නොමැතිව ජීවත් වීමට පුරුදු වීම සඳහා කඳුකර ප්‍රදේශවලට පදිංචිය මාරු කර තිබෙනවා.

ඒත් මේ කිසිවක් විශ්වාස නොකරන පිරිසක්ද සිටිනවා. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ මෙයයි. “වර්ෂ 2012දී පෘථිවියට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. වසර බිලියන හතරකටත් වඩා වැඩි කාලයක් පුරා අපේ මේ පෘථිවි ග්‍රහයාට හානියක් වී නැහැ. පිළිගත් විද්‍යාඥයන් පවසන්නේ 2012දී විනාශයක් සිදු වන බවට කිසිම ලකුණක් නැහැ කියායි.”

මිනිසාට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ කියා හෝ ලෝක විනාශය ගැන තිබෙන අදහස් විශ්වාස කරන්නේ රැවටෙන අය කියා සිතීම අඥාන දෙයක්. එසේනම් ඇත්තටම ලෝක විනාශයක් සිදු වෙයිද? එය සිදු වන්නේ කවදාද? කොහොමද?