Skip to content

පටුනට යන්න

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ

වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියෝ

නවීන වෛද්‍ය විද්‍යාවේ බොහෝ දේවල් ඔබ සිතන තරම් නවීන නැහැ. අද දින භාවිතයට ගැනෙන වෛද්‍ය ක්‍රමවේදයන් මීට සියවස් ගණනාවකට පෙර සමහර රටවල භාවිතයට ගෙන තිබෙනවා. උදාහරණයකට මධ්‍යතන යුගයේ මැදපෙරදිග රටවල තිබූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සලකා බලන්න.

ක්‍රිස්තු වර්ෂ 805දී විසූ හාරොන් අල් රෂීඩ් නම් පාලකයා, බැග්ඩෑඩ් නගරයේ රෝහලක් ඉදි කළා. ඒ වගේම නවවන සියවසේ සිට දහතුන් වන සියවස අතර කාලයේදී වෙනත් මුස්ලිම් පාලකයන්ද ස්පාඤ්ඤයේ සිට ඉන්දියාව දක්වා තම පාලනය ව්‍යාප්තව තිබූ රටවල රෝහල් ඉදි කළ අතර ඒවා නිසි ලෙස නඩත්තු කළා.

දුප්පත් පොහොසත් හා ආගමික භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මෙම රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබුණා. එහි සේවය කළ වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කළා පමණක් නොව පර්යේෂණ කටයුතුවලද නියැලුණා. ඒ වගේම නවක වෛද්‍යවරුන්ව පුහුණු කළා. වැඩිහිටි රෝගී අංශයක්, ශල්‍යකර්ම කිරීම සඳහා අංශයක්, අක්ෂි රෝග සඳහා අංශයක්, අස්ථි රෝග සහ මානසික රෝග සඳහා අංශයක් වෙන් කර තිබුණා. වෛද්‍යවරු සෑම උදෑසනකම වෛද්‍ය සිසුන් සමඟ රෝගීන්ව පරීක්ෂා කිරීමට වාට්ටුවලට ගිය අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ ආහාර නියම කළා. සෑම රෝහලකම ඖෂධවේදියෙක්ද සිටියා. රෝගීන් පිළිබඳ වාර්තා, ගිණුම් වාර්තා සහ ආහාරවල තත්වය සොයා බැලීම වැනි කටයුතු අධීක්ෂණය කිරීමට පිරිසක්ද සිටියා. අද රෝහල්වල සිදු වන්නෙත් එම ක්‍රියා පටිපාටියමයි.

ඉතිහාසඥයන් පවසන්නේ එම රෝහල් “මධ්‍යතන යුගයේ සිටි අරාබි ජාතිකයන් අත් කරගත් විශාල දියුණුවක්” කියායි. අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට ප්‍රබල ලෙස දායක වී තිබෙන්නේ අරාබි හෙවත් ඉස්ලාම් අධිරාජ්‍යය පුරා රෝහල් ඉදි කිරීමෙන් ඔවුන් ඇති කළ විශාල පෙරළිය බව කතුවරයෙක් සහ ඉතිහාසඥයෙක් වන හවඩ් ආර්. ටර්නර් පවසනවා.

ක්‍රිස්තු වර්ෂ 800 මැදභාගයේදී රායි නගරයේ (නවීන දින ටෙහෙරාන්හි ප්‍රදේශයක්) උපත ලැබූ අරාබි ජාතික රශේස්ව හඳුන්වන්නේ “මධ්‍යතන යුගයේ සිටි විශිෂ්ටතම සර්වාංග වෛද්‍යවරයා” ලෙසයි. ඔහු පර්යේෂණය කර සොයාගත් වෛද්‍යමය තොරතුරු, උපකරණ ගැන තොරතුරු සහ ලැබුණු ප්‍රතිඵල ගැන තොරතුරු එම ක්ෂේත්‍රයේ සිටින අන් අයගේ ප්‍රයෝජනය සඳහා වාර්තා කර තැබුවා. ඒ වගේම ඔහු අනික් වෛද්‍යවරුන්ටද උපදෙස් දුන්නේ ක්ෂේත්‍රයේ තිබෙන නවීනතම ක්‍රමවේදයන් භාවිතයට ගන්නා ලෙසයි.

ඔහු වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පොත් ලියනු ලැබුවා. උදාහරණයකට ඔහු සොයාගත් වෛද්‍ය තොරතුරු ඇතුළත් කරමින් වෙළුම් 23කින් යුත් විශාල පොතක් (Al-Hawi) සම්පාදනය කළා. එයත් පිළිගත් වෛද්‍ය අත්පොත් අතරින් එකක්. ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාවේ ආරම්භය ගැනත් අක්ෂි ශල්‍යකර්ම ගැනත් එම පොතේ සඳහන් වෙනවා. වසූරිය හා සරම්ප පිළිබඳව නිවැරදි මෙන්ම පැරණිතම තොරතුරු සොයාගත හැකි වන්නේ ඔහු ලියූ වෛද්‍ය අත්පොතකයි. උණ ඇති වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරී වීමේ ප්‍රතිඵලයක් නිසා බවත් ඔහු සොයාගත්තා.

රායි නගරයේ සහ බැග්ඩෑඩ් නගරයේ ඔහු රෝහල් පවත්වාගෙන ගියා. ඒවාවල මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ නිසා ඔහුව මනෝවිද්‍යාවේ සහ මනෝචිකිත්සාවේ පියා ලෙස හඳුන්වනවා. වෛද්‍ය ක්ෂේත්‍රයට අමතරව ඔහු රසායනික විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, දර්ශනවාදය සහ දේවධර්මවාදය පිළිබඳවත් පොත් පත් ලියනු ලැබුවා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් කැපීපෙනෙන පුද්ගලයෙක් වන්නේ ඇවිසින්නායි. ඔහු උපත ලැබුවේ බුකාරා (නවීන දින හඳුන්වන්නේ උස්බෙකිස්තානය ලෙසයි) නගරයේයි. ඔහු ක්‍රි.ව. 1100 ගණන්වල සිටි දක්ෂතම සර්වාංග විශේෂඥයන්, දර්ශනවාදීන්, තාරකා විද්‍යාඥයන් සහ ගණිතඥයන් අතරින් කෙනෙක් ලෙස නම් දැරුවා. එවකට සොයාගෙන තිබූ සෑම වෛද්‍ය තොරතුරක්ම ඇතුළත් කරමින් ඔහු වෛද්‍ය විශ්වකෝෂයක් (The Canon of Medicine) සම්පාදනය කළා.

ක්ෂය රෝගය බෝ වන රෝගයක් බවත්, එය ජලයෙන් හා පසෙන් පැතිරෙන බවත්, අපේ ශරීර සෞඛ්‍යයට අපේ මානසිකත්වය බලපාන බවත්, මාංස පේශිවලට සංඥා ලබා දෙන්නෙත් වේදනාව දැනෙන්නෙත් ස්නායු නිසා බවත්, ඔහුගේ විශ්වකෝෂයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔහු ඖෂධ වර්ග 760ක පමණ සවිස්තරාත්මක තොරතුරු එහි වාර්තා කළා. එම ඖෂධවල අඩංගු ද්‍රව්‍යයන්, එයින් ඇති වන බලපෑම් සහ අලුත් ඖෂධ අත්හදා බැලීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැනත් ඔහු එම විශ්වකෝෂයට ඇතුළත් කළා. එය ලතින් භාෂාවට පරිවර්තනය කරනු ලැබූ අතර යුරෝපා රටවල වෛද්‍ය විද්‍යාල තුළ ඒවා අවුරුදු සිය ගණනක් පුරා ප්‍රයෝජනයට ගැනුණා.

වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී පුද්ගලයෙක් වන්නේ ඇල්බුකාසිස් නම් වෛද්‍යවරයායි. ඔහු උපත ලැබුවේ ස්පාඤ්ඤයේ ඇන්ඩාලුෂියා නගරයේයි. ක්‍රි.ව. 936ත් 1013ත් අතර ජීවත් වූ ඔහු බොහෝ සොයාගැනීම් කළ වෛද්‍යවරයෙක්. ඔහු සම්පාදනය කළ වෙළුම් 30කින් යුත් ග්‍රන්ථයට, ශල්‍යකර්ම පිළිබඳව පිටු 300ක නිබන්ධනයක්ද ඇතුළත්. ඔහුගේ විශේෂ සොයාගැනීම් කිහිපයක් එහි ඇතුළත් කරනු ලැබුවා. උදාහරණයකට ශල්‍යකර්මවලදී මැහුම් යෙදීම සඳහා සතුන්ගේ බඩවැල්වලින් සාදාගන්නා නූල් යොදාගැනීම, මුත්‍රා මාර්ගය තුළින් යවන උපකරණයක් ආධාරයෙන් මුත්‍රාශයේ ගල් ඉවත් කිරීම, ගලගණ්ඩ රෝගීන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම සහ ඇසේ සුද ඉවත් කිරීම වැනි දේවල් සඳහන් කළ හැකියි.

ඇල්බුකාසිස්, දරු උපතේදී සිදු වන අපහසුතාවලට සහ උරහිස්වල සන්ධි පැනීමේදී කළ ප්‍රතිකාර ක්‍රම “අද දින යොදාගන්නා ප්‍රතිකාර තරම්ම දියුණු” තත්වයක තිබුණා. ශල්‍යකර්මවලදී පුළුන් භාවිතය ඔහු හඳුන්වා දුන් අතර බිඳුණු ඇටකටු නැවත සකස් කිරීමේදී හුණු පැලැස්තර (plaster casts) භාවිත කළා. ඒ වගේම ඔහු ගැලවුණු දත් නැවත සවි කිරීමටත් බොරු දත් සෑදීමටත් අපිළිවෙළකට ඇති දත් නැවත සකස් කිරීමටත් දත්වල මැලියම් ඉවත් කිරීමටත් ක්‍රම හඳුන්වා දුන්නා.

ශල්‍යකර්මවලදී භාවිත කරන උපකරණ ගැන මුල්ම වතාවට සඳහන් වූයේ ඇල්බුකාසිස්ගේ ශල්‍යකර්ම පිළිබඳව ලියැවුණු නිබන්ධනවලයි. ඒවායේ එම උපකරණ 200ක පමණ රූපසටහන් මෙන්ම ඒවා භාවිත කරන ආකාරය ගැනත් ඒවා භාවිත කළ යුතු අවස්ථා ගැනත් සඳහන් වුණා. අදටත් එම උපකරණ භාවිත කරන අතර ඒවායේ වැඩි වෙනසක් සිදු වී නැහැ.

බටහිර රටවලට දැනුම ව්‍යාප්ත වෙයි

ක්‍රිස්තු වර්ෂ 1000ත් 1100ත් අතර කාලයේදී ටොලෙඩෝ, ස්පාඤ්ඤය, මොන්ටේ කාසිනෝ, සේලිර්නෝ සහ ඉතාලිය වැනි රටවල සිටි විද්වතුන් අරාබි භාෂාවෙන් ලියැවී තිබුණු වෛද්‍ය පොත් පත් ලතින් භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගත්තා. එම පරිවර්තන වෛද්‍යවරුන් විසින් ලතින් භාෂාව කතා කරන යුරෝපීය රටවල, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොදාගත්තා. එමගින් මැද පෙරදිග රටවල තිබූ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම “ඊළඟ ශතවර්ෂ කිහිපය තුළ යුරෝපය පුරා පැතිර ගියා. අරාබි ජාතිකයන් සතුව තිබූ එම විෂය තරම් වෙන කිසිම විෂයක් යුරෝපයේ පැතිර ගියේ නැහැ” කියා විද්‍යාව පිළිබඳව ගත් කතුවරයෙක් වන අසාන් මසූඩ් පවසයි.

මධ්‍යතන යුගයේ නව සොයාගැනීම් සිදු කළ රශේස්, ඇවිසින්නා, ඇල්බුකාසිස් වැනි ප්‍රවීණයන් සහ ඔවුන්ගේ සමකාලීනයන් නවීන වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමීන් කියා පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.