Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

සාමය රැකගන්නේ කෙසේද?

සාමය රැකගන්නේ කෙසේද?

මිනිස් වර්ගයාගේ තත්වය ගැන බයිබලයේ මෙසේ පවසනවා. “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති.” (රෝම 3:23) මේ පොළොව මත ජීවත් වන සියලුදෙනාම වැරදි කිරීමේ නැඹුරුවාවක් තිබෙන අයයි. ඒ නිසා ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. එවැනි අවස්ථාවලදී සාමය රැකගන්නේ කෙසේද? ඒ සම්බන්ධයෙන් බයිබලයේ හොඳ උපදෙස් දී තිබෙනවා.

මුල් දෙමාපියන් වූ ආදම් සහ ඒව දෙවිට අකීකරු වීම නිසා ඔවුන්ගෙන් පැවත එන සියලුදෙනාටම දෙවි සමඟ මිත්‍රත්වයක් තබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වුණා. නමුත් මිනිසුන් සමඟ නැවත සමාදාන වීමට දෙවි පියවර ගත්තා. (2 කොරින්ති 5:19) එසේ කළේ සියලු දේම නිර්මාණය කළ යෙහෝවා දෙවි “සමාදානයේ දෙවි” නිසයි. (ගීතාවලිය 83:18; හෙබ්‍රෙව් 13:20) ඔහුගේ කැමැත්ත වන්නේ අප සියලුදෙනාද සමාදානයෙන් සිටිනවා දැකීමයි. දැන් අපි අන් අය සමඟ සමාදානයෙන් සිටීම සඳහා දායක වන කාරණා තුනක් සලකා බලමු.

මුළු හදවතින්ම සමාව දෙන්න

බයිබලයේ පවසන දේ: “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

අපහසු ඇයි? අමනාප වීමට “සාධාරණ හේතු තිබෙන” විට එසේ කිරීමේ වරදක් නැහැ කියා ඔබට සිතෙන්න පුළුවන්. ඒ වගේම ඔබෙන් සමාව ගත යුත්තේ වරද කළ තැනැත්තායි කියා ඔබට සිතෙන්නත් පුළුවන්. නමුත් වරද කළ තැනැත්තා ඒ බවක් දන්නේ නැත්නම් හෝ වරද තිබෙන්නේ ඔබේ අතේ කියා ඔහු සිතනවා නම් ප්‍රශ්නය කවදාවත් විසඳෙන්නේ නැහැ.

කළ හැකි දේ: කාරණය බරපතළ එකක් නොවෙයි නම් මුළු සිතින්ම සමාව දෙන්න කියා බයිබලයේ පවසන උපදෙස අදාළ කරගන්න. අපේ සෑම වරදක්ම දෙවි මතකයේ තබාගන්නවා නම් කිසි කෙනෙක් ඔහු ඉදිරියේ නිදොස් වෙන්නේ නැහැ. (ගීතාවලිය 130:3) බයිබලයේ මෙසේ පවසනවා. ‘යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය.’—ගීතාවලිය 103:8, 14.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.” (හිතෝපදේශ 19:11) අපට වටහාගැනීමේ හැකියාව තිබෙනවා නම් යම් කාරණයක් දෙස මතුපිටින් බලන්නේ නැහැ. ඒ වෙනුවට ඊට මඟ පෑදූ හේතුව දකින්න වෑයම් කරනවා. උදාහරණයකට කෙනෙකු අතින් වැරදක් සිදු වූ විට ‘ඔහු එලෙස ක්‍රියා කළේ වෙහෙසට පත් වී සිටි නිසාද, අසනීපයෙන් සිටි නිසාද නැත්නම් යම් පීඩනකාරී තත්වයකට මුහුණ දෙමින් සිටි නිසාද කියා කල්පනා කර බලයි. එලෙස අන් අයගේ චේතනා, හැඟීම් හා තත්වයන් තේරුම්ගැනීමෙන් ඔවුන් සමඟ ඇති වන කෝපය පාලනය කරගැනීමටත් ඔවුන්ගේ අතින් වූ වරද ගණන් නොගෙන සිටීමටත් උපකාරවත් වෙයි.

කතා කරන්න

බයිබලයේ පවසන දේ: “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.”—මතෙව් 18:15.

අපහසු ඇයි? භය, කෝපය හෝ ලැජ්ජාව නිසා කතා කර ප්‍රශ්නය විසඳාගැනීමට මැළි විය හැකියි. ඒ වගේම ඒ ප්‍රශ්නය තවත් අයට පවසා උපකාර පැතීමට පෙලඹිය හැකියි. එසේ කිරීමෙන් සිදු වන්නේ ප්‍රශ්නය තවත් උග්‍ර වීමයි.

කළ හැකි දේ: කාරණය බරපතළ නම් හා එය අමතක කිරීමට අපහසු නම් ඒ ගැන අදාළ තැනැත්තා සමඟ කතා කරන්න. එසේ කරන විට මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

(1) කල් නොදමන්න: කල් දැමීමෙන් ප්‍රශ්නය බරපතළ විය හැකියි. යේසුස් දුන් මේ උපදෙස අදාළ කරගැනීමට වෑයම් කරන්න. “ඔබ යමක් පරිත්‍යාග කිරීමට පූජාසනය ළඟට යන විට ඔබේ සහෝදරයාට ඔබ සමඟ යම් ගැටලුවක් තිබෙන බව එහිදී ඔබට මතක් වෙයි නම්, පරිත්‍යාග කිරීමට රැගෙන ආ දේ පූජාසනය ඉදිරිපිට තබන්න. මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න. ඉන්පසුව ඇවිත් ඒ දේ පරිත්‍යාග කරන්න.”—මතෙව් 5:23, 24.

(2) පෞද්ගලිකව කතා කරන්න: මෙම උපදෙස අදාළ කරගන්න. “යමෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වූ විට එය ඔහු සමඟ පමණක් කතා කර විසඳගන්න. අන් අයගේ රහස් හෙළි නොකරන්න.”—හිතෝපදේශ 25:9.

(3) සමාදාන වන්න: ඔබේ අරමුණ විය යුත්තේ කවුද හරි, කවුද වැරදියි කියා ඔප්පු කිරීම නොව ඔහු හා සමාදාන වීමයි. “ඔබ” කියා අමතමින් චෝදනා කරනවා වෙනුවට “මම” කියා පැවසීමට උත්සාහ කරන්න. “ඔයා මගේ හිත රිදෙව්වා” කියනවාට වඩා “මගේ හිත රිදුණා” කියා පැවසීම වඩා හොඳයි. බයිබලයේ මෙසේ පවසනවා. “සමාදානයට දායක වන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.”—රෝම 14:19.

ඉවසීමෙන් ක්‍රියා කරන්න

බයිබලයේ පවසන දේ: ‘කාටවත් නපුරට නපුර නොකරන්න. ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න.’—රෝම 12:17, 20.

අපහසු ඇයි? සමාදාන වීමට උත්සාහයක් ගත්තද එය අසාර්ථක වී තිබීමයි.

කළ හැකි දේ: ඉවසන්න. එක් එක් කෙනාගේ පෞද්ගලිකත්වයන් හා ඔවුන් කටයුතු කරන ආකාරය වෙනස්. සමහර අයගේ කෝපය නිවෙන්න වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. තවත් අය හොඳ ගුණාංග වර්ධනය කරගැනීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ නිසා සෑම කෙනෙකුටම ප්‍රේමය හා කරුණාව පෙන්වන්න. බයිබලයේ පවසන්නේ “නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” කියායි.—රෝම 12:21.

අන් අය සමඟ සමාදානයෙන් සිටීමට නම් ඉවසිලිවන්තකම, අවබෝධයෙන් ක්‍රියා කිරීම නිහතමානිකම හා ප්‍රේමය අත්‍යවශ්‍යයි. සාමය වෙනුවෙන් ඔබ ගන්නා සෑම උත්සාහයක්ම වටිනවා.

මේ ගැන ඔබ සිතුවාද?

● මුළු සිතින් කෙනෙකුට සමාව දීමට ඔබට උපකාරවත් වන්නේ කුමක්ද?—කොලොස්සි 3:13.

● යමෙකු සමඟ ප්‍රශ්නයක් ඇති වූ විට එය විසඳාගැනීමට උපකාරවත් වන්නේ කුමක්ද?—මතෙව් 5:23, 24.

● ඔබ ගත් උත්සාහය අසාර්ථක වුණොත් ඔබට කළ හැක්කේ කුමක්ද?—රෝම 12:17-21.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයකි.”—හිතෝපදේශ 19:11