Skip to content

පටුනට යන්න

ටෙරසින් බලකොටුවේ සැබෑව

ටෙරසින් බලකොටුවේ සැබෑව

ටෙරසින් බලකොටුවේ සැබෑව

අප මෙම ලිපියෙන් සලකා බලන්නේ මධ්‍යම යුරෝපයේ ඩ්‍රෙස්ඩන් හා ප්‍රාග් නගර අතර පිහිටි නගරයක් ගැනයි. ඒ නගරයේ නම ටෙරේෂියන්ශ්ටාට්. එහි විශාල ප්‍රාකාරවලින් යුත් බලකොටුවක් තිබෙනවා. එය තනනු ලැබුවේ රටට එල්ල විය හැකි සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හා ඒ අවට ගම්වැසියන්ගේ ආරක්ෂාව සඳහායි.

බලකොටුව තැනීමට අදහස් කළේ ජර්මනියේ රජ සහ රෝමයේ අධිරාජ්‍යයාව සිටි දෙවෙනි ජෝසප් රජ විසිනුයි. බලකොටු තැනීමට අවශ්‍ය ප්‍රදේශය තෝරාගැනීමේදීත් 1780දී ඊට මුල් ගල තැබීමේදීත් ඔහු එතැන සිටි බව වාර්තා වෙනවා. ඔහු එම බලකොටුව තැනුවේ ඔහුගේ මව වූ මරියා තෙරේසා මව් රැජිණගේ ගෞරවය සඳහායි. ඒ නිසා “තෙරේසා නගරය” යන අරුත ඇති චෙක් භාෂාවේ වචනයක් වන ටෙරසින් යන නම එයට තැබුවා. * බලකොටුව තැනීමට කම්කරුවන් 14,000කට වඩා වැඩි පිරිසක් යොදාගත් අතර එහි බොහෝ වැඩකටයුතු අවුරුදු හතරක් වැනි කාලයකින් නිම කළා.

ටෙරෙසින් බලකොටුව, හැප්ස්බර්ග් පාලනය පැතිරුණු දේශවල තිබූ විශාලම බලකොටුවයි. එය ඉදි කළේ එවකට තිබූ උසස්ම ඉන්ජිනේරු තාක්ෂණය යොදාගෙනයි. නමුත් එය තනා නිම කිරීමට පෙර, රටවල් ආක්‍රමණය කිරීමේ හමුදා උපක්‍රම සහ යුධ මෙහෙයුම්වල විශාල වෙනසක් සිදු වුණා.

සාමාන්‍යයෙන් සතුරන් මුලින්ම ප්‍රහාර එල්ල කරන්නේ රටේ බලකොටුවටයි. නමුත් එම ක්‍රමය වෙනස් වී ගම්මානවලට පහර දී යටත් කරගැනීමට පටන්ගත්තා. ඒ නිසා 1888 සිට ටෙරසින් බලකොටුව හමුදා මෙහෙයුම් දියත් කරන ස්ථානයක් ලෙසට යොදාගත්තේ නැහැ. එහි ප්‍රාකාරවල මල් උයන් තනා බංකු දමා ජනයාට විවේක ගත හැකි ස්ථානයක් බවට පත් කළා.

බලකොටුවක් සහ නගරයක්

ටෙරසින් බලකොටුව සෑදුවේ නගරයට සම්පූර්ණ ආරක්ෂාව ලබා දීමටයි. එහි සෙබළුන්ගේ නවාතැන්, ඔවුන්ගේ පවුල්වල අයට නිවාස සහ සාමාන්‍ය ජනයාගේ නිවාසත් තිබුණා.

මෙම විශාල බලකොටුවට යාබදව තවත් කුඩා බලකොටුවක් තිබුණා. එය යොදාගත්තේ සිරකඳවුරක් ලෙසයි. වර්ෂ 1800 මුල් කාලයේදී හැප්ස්බර්ග් අධිරාජ්‍යයට විරුද්ධ වන අයව එහි සිර කළා. ඉන් වසර 100කට පමණ පසු එනම් 1914දී සෙරාජිවෝහි ආදිපාදවරයා වූ ෆ්‍රැන්සිස් ෆර්ඩිනන්ඩ්ගේ ඝාතනයට සම්බන්ධ තරුණයන්වත් සිරගත කර තිබුණේ මෙම කඳවුරේයි. මෙම තරුණයන් අවුරුදු 20ට වඩා අඩු නිසා ඔවුන්ට මරණ දඬුවම නියම වුණේ නැහැ. නමුත් ඔවුන්ට අමානුෂික ලෙස වධ හිංසා කළ අතර සමහර අය මානසික රෝගීන් බවට පත් වුණා. ඉන් බොහෝදෙනෙක් මිය ගියා. එම ඝාතනය සිදු කළ ගැව්රිලෝ ප්‍රෙන්සෙප් පළවෙනි ලෝක මහා යුද්ධය කාලයේදී සිරගෙදරම මිය ගියා.

ඔස්ට්‍රියා-හංගේරි පාලන සමයේදී මෙම කුඩා බලකොටුව ප්‍රසිද්ධ වී තිබුණේ වධකාගාරයක් ලෙසයි. එහි සිටි සිරකරුවන්ව දම්වැල්වලින් බැඳ සීතල, අඳුරු කුටි තුළ සිර කර තිබුණා. නමුත් දෙවෙනි ලෝක මහා යුධ සමයේදී එය ඊටත් වඩා අමානුෂික ක්‍රියා සඳහාද යොදාගත්තා.

නගරයේ සැබෑ තත්වය

දැන් චෙච් ජනරජය ලෙස හඳුන්වන එම රට 1941දී නාට්සිවරුන්ගේ අතට පත් වූ පසු ඔවුන් යුදෙව්වන්ව එහි ප්‍රධාන බලකොටුවේ රැඳෙව්වා. ඔවුන් කියා සිටියේ අනික් ජාතීන් යුදෙව්වන් සමඟ ගැටුම් ඇති කරගැනීම වැළැක්වීම සඳහා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. ඒ වගේම යුදෙව්වන්ට මෙම නගරය තුළ ආරක්ෂාවක් ලැබෙන බව අනික් ජාතීන්ට දැනෙන්න සැලැස්සුවා. නමුත් ඔවුන්ගේ යටි අරමුණ වුණේ යුදෙව් ජාතිය සහමුලින්ම නැති කර දැමීමයි.

නැඟෙනහිර යුරෝපයේ ඒ වන විටත් නාට්සිවරුන් විසින් වධකාගාර තනා තිබුණා. කුඩා බලකොටුවේ සහ එවැනි වෙනත් ස්ථානවල සිර කර තිබූ යුදෙව්වන්ව එම වධකාගාරවලට ගෙන ගොස් මරා දැමුවා. * එවැනි වධකාගාර තිබුණු බව 1930 ගණන්වලදී ප්‍රසිද්ධ වුණත් ඔවුන් කියා සිටියේ ඒවා පවත්වාගෙන යන්නේ යුදෙව්වන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා කියායි. කෙසේවෙතත් එහි සිදු වන අපරාධ ගැන වැඩි වැඩියෙන් හෙළි වීමට පටන්ගත්තා. ඒ නිසා නාට්සි නිලධාරීන්ට විරුද්ධව චෝදනා එල්ල වුණා. ඊට පිළිතුරු දීමට ඔවුන් කූට උපක්‍රමයක් යෙදුවා. ඔවුන් කළේ කුමක්ද?

දෙවෙනි ලෝක මහා යුද්ධය පැවති කාලයේදී බලකොටුව නිරීක්ෂණය කිරීමට රතු කුරුස සංවිධානයේ නියෝජිතයන්ට නාට්සිවරුන් ආරාධනා කළා. එම නියෝජිතයන් පැමිණීමට පෙර නාට්සිවරු එම නගරයට නව පෙනුමක් ලබා දුන්නා.

එහි වීථිවලට අලුත් නම් යෙදුවා. බැංකුවක් විවෘත කළා. ළදරු පාසැලක් හා කඩසාප්පු තැනුවා. ආපන ශාලාවක්ද විවෘත කළා. කැඩී බිඳී ගිය නිවාස අලුත්වැඩියා කළ අතර මල් වතුද නිර්මාණය කළා.

මේ සෑම දෙයක්ම කළ පසුව රතු කුරුස සංවිධානයේ නිලධාරීන්ව බලකොටුව නැරඹීමට රැගෙන ගියා. එම නිලධාරීන් සමඟ කතා කිරීමට නාට්සිවරුන් විසින් යුදෙව්වන් කිහිපදෙනෙකුව කලින්ම සූදානම් කර තිබුණා. එම නිලධාරීන් දෙවරක් නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියත් ඔවුන්ව නොමඟ යැවීමට නාට්සිවරුන් සමත් වුණා. එම නිලධාරීන් ටෙරිසින් නගරය ගැන වාර්තා කළේ එය යුදෙව්වන්ව හොඳින් බලාගන්නා ස්ථානයක් කියායි. නමුත් එම නිලධාරීන් ගිය පසු යුදෙව්වන්ට සිදු වුණේ සුපුරුදු ලෙස වධ හිංසාවලට මුහුණ දීමටයි.

කුඩා බලකොටුව

නාට්සිවරුන් කුඩා බලකොටුව යොදාගත්තේ සිරකඳවුරක් ලෙසයි. එය ගාල් කඳවුරක් හා සමානයි. එම බලකොටුවේ රඳවා තැබුවේ ඒ අවට තිබූ විශාල කඳවුරුවලට රැගෙන යෑමට සිටි සිරකරුවන්වයි.

ප්‍රාග් සහ පිල්සන් නගරවලත් රටේ වෙනත් ප්‍රදේශවලිනුත් ගෙනා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 20දෙනෙක් පමණ එහි සිටියා. ඔවුන් නාට්සි පාලනයට සහයෝගය නොදීම ඔවුන්ට තිබූ චෝදනාවයි. ඔවුන්ගේ දේශනා කිරීමේ කාර්යය තහනම් කර තිබුණත් ඔවුන් බයිබලයේ තිබුණු ශුභාරංචිය අන් අයට පැවසීම නතර කළේ නැහැ. ඔවුන්ගේ විශ්වාසයන් නිසා ඔවුන් වධ හිංසාවලට ලක් වුණු අතර සමහර අයට ජීවිතය පවා අහිමි වුණා.

අපට ඉගෙනගත හැකි පාඩම

ටෙරසින් බලකොටුව සෑදුවේ ජනයාගේ ආරක්ෂාව සඳහායි. නමුත් සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඉන් ඔප්පු වන්නේ බයිබලයේ සඳහන් මෙම වදන්වල සත්‍යතාවයි. “වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:3, 4.

[පාදසටහන්වල]

^ 3 ඡේ. තෙරේසා රැජිණ, ප්‍රංශයේ රැජිණ වූ මාරී ඇන්ටනට්ගෙත් මවයි.

^ 12 ඡේ. වැඩි විස්තර සඳහා 1989 අප්‍රියෙල් 8 පිබිදෙව්! කලාපයේ 3-20 දක්වා පිටු සහ 1995 අගෝස්තු 22 පිබිදෙව්! කලාපයේ 3-15 දක්වා පිටු බලන්න. (සිංහලෙන් නැත.)

[20වන පිටුවේ කොටුව]

කුඩා බලකොටුවේ සිටි සාක්ෂිකරුවන්

නාට්සි හමුදාවෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුව මෙම කඳවුරේ සිර කළා. අනතුරුව ඔවුන් ජර්මනියේ තිබූ වෙනත් ගාල් කඳවුරුවලට යවනු ලැබුවා. එම ගාල් කඳවුරුවල තිබූ දරුණු තත්වයන්ට ඔවුන් මුහුණ දුන්නේ කොහොමද?

සිරකඳවුරේ සිටි සාක්ෂිකාරියක් තමන් ලද අද්දැකීම මෙසේ මතකයට නඟනවා. “බයිබලයෙන් මම ඉගෙනගත්ත දේවල් මතක තියාගන්න ඕනේ නිසා ඒවා නැවත නැවත මතක් කරගත්තා. මාව යැව්ව හැම හිරගෙදරකදීම මම මුලින්ම කළේ එතන සාක්ෂිකරුවන් ඉන්නවාද කියලා හොයලා බැලුව එකයි. එහෙම ඉන්නවා කියලා දැනගත්තාම කොහොමහරි ඒගොල්ලන්ව මුණගැහෙන්න මාර්ගයක් හොයාගත්තා. ඒ වගේම මට පුළුවන් විදිහට අනික් අයටත් බයිබලයේ සත්‍යයන් කියා දුන්නා.”

ඇයගේ එම ක්‍රමය සාර්ථක වුණා. ඇය සිරගෙදර සිටි කාලය පුරාමත් ඉන් පසුවත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටියා.

[18වන පිටුවේ පින්තූරය]

දෙවෙනි ලෝක මහා යුධ සමයේදී ටෙරසින් බලකොටුවේ මුද්දරයක්

[19වන පිටුවේ පින්තූරය]

නවක සිරකරුවන් පිරිසක්. සිරකඳවුරේ සඳහන් පාඨයේ අර්ථය ‘වැඩ කළොත් නිදහස ලැබේ’ යන්නයි

[19වන පිටුවේ පින්තූරය]

ස්ත්‍රීන් සඳහා වෙන් වූ ලී ඇඳන්

[20වන පිටුවේ පින්තූරය]

කුඩා බලකොටුවේ දොරටුව

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Both photos: With courtesy of the Memorial Terezín