Skip to content

පටුනට යන්න

කෝප වීමට හේතු

කෝප වීමට හේතු

කෝප වීමට හේතු

මිනිසුන් කෝප වෙන්නේ ඇයි කියා විද්‍යාඥයන්ට පවා තේරුම්ගැනීම අපහසුයි. මානසික සෞඛ්‍යය පිළිබඳ අධ්‍යයනය කරන ප්‍රවීණයන් පවසන්නේ යම් යම් හේතු නිසා මිනිසුන් තුළ කෝපයක් ඇති වන බවයි.

කලකිරීම, අන් අයගේ කුපිත කරවන ක්‍රියා නිසා මිනිසුන් තුළ කෝපයක් ඇති වෙනවා. උදාහරණයකට නින්දා කිරීම, අයිතිවාසිකමක් උදුරාගැනීම, හොඳ නම කෙලෙසීම වැනි දේවල් හේතු වෙයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට කෝප වීමට බලපාන හේතු වෙනස්. වයස, ස්ත්‍රී පුරුෂභාවය හා සංස්කෘතිය අනුවත් එය වෙනස් වෙනවා. ඒ වගේම එක් එක් පුද්ගලයා කෝප වූ විට ක්‍රියා කරන ආකාරයත් වෙනස්. සමහර අයට කලාතුරකින් කේන්ති යන අතර ඉක්මනින් කේන්තිය නිවෙනවා. ඒත් තවත් අය සුළු දෙයටත් කිපෙන අතර එය දවස්, සති, මාස හෝ අවුරුදු ගණන් සිතේ තබාගන්නවා.

අප ජීවත් වන්නේ කෝපයට මඟ පාදන හේතු බොහොමයක් තිබෙන සමාජයකයි. බොහෝදෙනෙක් කල්පනාකාරීව වැඩ නොකිරීම සහ ආත්මාර්ථකාමී ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි. පුරාණ ශුද්ධ ලියවිල්ලක් වන බයිබලයේ සඳහන් වන්නේ ‘අවසාන කාලයේදී මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, හිතුවක්කාර, අහංකාර’ අය වන බවයි. (2 තිමෝති 3:1-5) ඇත්තෙන්ම අද අපි ජීවත් වෙන්නේ එවැනි සමාජයක නොවේද!

එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයන්ට තමන් බලාපොරොත්තු වන දේ ඉටු කරගැනීමට බැරි වූ විට කෝපයට පත් වෙනවා. කෝපයෙන් ක්‍රියා කිරීමට බලපාන තවත් හේතු තිබෙනවා. එවැනි හේතු කිහිපයක් දැන් අපි සලකා බලමු.

දෙමාපියන්ගේ අවාදර්ශය

යම් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට ඔහුගේ දෙමාපියන්ගේ ආදර්ශය බෙහෙවින් බලපානවා. මනෝ විද්‍යාඥයෙක් වන හැරී එල්. මිල්ස් පවසන්නේ “දෙමාපියන් කෝපයෙන් ක්‍රියා කරනවා දකින විට කුඩා කාලයේ සිටම දරුවනුත් එය අනුකරණය කරනවා” කියායි.

දරුවෙක් හැදී වැඩෙන්නේ පුංචි කාරණයට පවා විගස කෝප වන අය සිටින පරිසරයක නම් ඔහුද යම් ප්‍රශ්න ගැටලු ඇති වන විට කෝපයෙන් ක්‍රියා කරයි. දරුවෙකුව කුඩා පැළයකට සමාන කළ හැකියි. ඒ පැළයට නිසි පෝෂණයක් නොලැබෙන විට පැළය වැඩුණත් එය පල දරන සාරවත් ගසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ හා සමානව නිසි මඟ පෙන්වීම් නොමැතිව හැදී වැඩෙන දරුවෙකුද වැඩිහිටියෙක් වූ විට ඉවසීම වැනි හොඳ ගුණාංග ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ.

ජනාකීර්ණ නගර

වර්ෂ 1800දී ලෝක ජනගහනයෙන් නාගරික ප්‍රදේශවල ජීවත් වුණේ සියයට තුනක් වැනි සංඛ්‍යාවක්. වර්ෂ 2008 වන විට එම සංඛ්‍යාව සියයට 50 දක්වා ඉහළ ගිය අතර 2050 වන විට එය සියයට 70ක් දක්වා ඉහළ යයි කියා බලාපොරොත්තු වෙනවා. මෙසේ නාගරිකව වෙසෙන ජනයා වැඩි වෙනවාත් සමඟම මිනිසුන් තුළ ඇති වන කෝපය හා කලකිරීමත් වැඩි වෙනවා. ඊට කදිම උදාහරණයක් වන්නේ මෙක්සිකෝ නගරයයි. එය ලෝකයේ ඇති ජනාකීර්ණ නගර අතරින් එකක්. එහි ඇති වාහන තදබදය මිනිසුන්ගේ කෝපය වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එහි ජනගහනය මිලියන 18ක් වන අතර වාහන මිලියන හයක් තිබෙනවා. මෙක්සිකෝ නගරය ගැන එක් මාධ්‍යවේදියෙක් මෙවැනි දෙයක් පැවසුවා. “ලෝකයේ වැඩිම මානසික පීඩනයෙන් පෙළෙන අය සිටින්නේ මේ නගරයේයි. පුදුමාකාර වාහන තදබදයක් තියෙන නිසා මිනිසුන් නිතරම ඉන්නේ කේන්තියෙන්.”

වායු හා ශබ්ද දූෂණය, නිවාස ප්‍රශ්න, සංස්කෘතික ගැටුම් හා අපරාධ වැඩි වීම වැනි දේවල් නිසා නාගරික ජනයා නිතරම සිටින්නේ පීඩනයකින්. මෙවැනි දේවල් කෝපය, කලකිරීම හා නුරුස්සනා ස්වභාවය ඇති වීමට හේතු වී තිබෙනවා.

ආර්ථික ගැටලු

ලෝක ආර්ථිකය බිඳ වැටීමත් මිනිසුන්ගේ මානසික පීඩනය ඉහළ යෑමට හේතු වී තිබෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) මගින් 2010දී මෙවැනි වාර්තාවක් ඉදිරිපත් කළා. “ලෝකය පුරා මිලියන 210කට වඩා වැඩි පිරිසක් සිටින්නේ විරැකියාවෙන්.” ඉන් බොහෝදෙනෙක් රැකියාවලින් ඉවත් කළ අයයි.

රැකියාවල නිරත වන අයත් සිටින්නේ පීඩනයකින්. ඉහත සඳහන් කළ කම්කරු සංවිධානය පවසන්නේ රැකියාවල නියැලෙන අය පවා මානසික පීඩනයෙන් සිටීම “ලෝක ව්‍යාප්ත ගැටලුවක්” වී තිබෙන බවයි. කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කළමනාකරණය පිළිබඳ උපදේශකයෙක් වන ලෝන් කර්ටීස් මෙසේ පැවසුවා. “බොහෝදෙනෙක් සිටින්නේ තමන්ගේ රැකියාව නැති වෙයි යන බියෙන්. ඒ නිසා ඔවුන් රැකියාව ආරක්ෂා කරගැනීමට ප්‍රධානීන් සහ සෙසු සේවකයන් සමඟ ගැටුම් ඇති කරගන්නවා.”

අයුක්තිය හා අසාධාරණය

ඔබ ඇවිදීමේ තරඟයකට සහභාගී වෙනවා කියා සිතන්න. සියලුදෙනාම නිදහසේ ඇවිදින අතර ඔබගේ කකුල්වලට පමණක් විලංගු දමා තිබෙනවා. ඔබට කෙසේ හැඟෙයිද? වර්තමානයේ බොහෝදෙනෙකුට අයුක්තියක් හා අසාධාරණයක් සිදු වන විට හැඟෙන්නේද එලෙසයි. අධ්‍යාපනය, රැකියාව, නිවාස වැනි මූලික අවශ්‍යතා සපුරාගැනීමේදී යම් සීමා බාධකවලට මුහුණ දීමට ඔවුන්ට සිදු වන නිසා කෝපයක් ඇති වෙයි.

වෙනත් ආකාරයේ අසාධාරණකම් නිසාද කෙනෙකු මානසිකව පීඩා විඳිය හැකියි. අප හැමෝම ජීවිතයේ යම් අවස්ථාවකදී එවැනි තත්වයකට මුහුණ දී තිබෙන්න පුළුවන්. මීට වසර 3,000කට පෙර විසූ ප්‍රඥාවන්ත රජ කෙනෙක් බයිබලයේ මෙසේ සඳහන් කර තිබෙනවා. “ඉර යට සිදු වන සියලු අසාධාරණකම් ගැන මම නැවත කල්පනා කර බැලුවෙමි. පීඩාවට ලක්වූවන්ගේ කඳුළු දුටිමි. එහෙත් ඔවුන්ව සනසන්න කිසිවෙක් සිටියේ නැත.” (දේශනාකාරයා 4:1) සෑම තැනකම අයුක්තිය අසාධාරණය රජයන විටත් සහනයක් ලැබීමට මඟක් නැති විටත් කෙනෙකුට කෝපය ඇති විය හැකියි.

ජනමාධ්‍යයේ බලපෑම

රූපවාහිනිය හා වෙනත් මාධ්‍යයන් තුළින් නරඹන සැහැසික දර්ශන දරුවන්ගේ මනසට විශාල බලපෑමක් සිදු කර ඇති බව බොහෝ අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. එක් මාධ්‍යවේදීයෙක් වන ජේම්ස් පී. ස්ටියර් මෙසේ පැවසුවා. “යම් පුද්ගලයෙක් දිගින් දිගටම සැහැසික ක්‍රියා නරඹනවා නම් කෝපය පිට කිරීම වැරදි නැහැ කියා සිතීමටත් දරුණු ක්‍රියා සාමාන්‍ය දෙයක් කියා සිතීමටත් පෙලඹෙයි. ඒ නිසා ඔහු තුළ තිබෙන ආදරය කරුණාව වැනි යහගුණ හීන වී යයි.”

සැහැසික දර්ශන නරඹන සෑම යෞවනයෙක්ම අපරාධකරුවෙක් නොවෙන බව ඇත්තයි. ඒත් රූපවාහිනිය වැනි මාධ්‍යවලින් පෙන්වන්නේ යම් ප්‍රශ්න ගැටලු ඇති වන විට දැඩි කෝපයෙන් ක්‍රියා කිරීමේ වරදක් නැති බවයි. මේ නිසා වර්තමාන පරම්පරාවට සැහැසික ක්‍රියා සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා.

භූතයන්ගේ බලපෑම

මිනිසුන් මෙතරම් දරුණු ලෙස කෝපයෙන් ක්‍රියා කිරීමට නොපෙනෙන බලවේගයක් හේතු වී තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා. එම බලවත් තැනැත්තාව බයිබලයේ හඳුන්වන්නේ සාතන් හෙවත් යක්ෂයා කියායි. (උත්පත්ති 3:1-13) ඔහු මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම දෙවිට විරුද්ධව ක්‍රියා කළ දේවදූතයෙක්. පසුව ඔහු තවත් දේවදූතයන්වද ඔහුගේ පැත්තට හරවාගත්තා. ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි.

එම භූතයන් දැන් සිටින්නේ මේ පොළොවෙයි. (එළිදරව් 12:9, 10, 12) ඔවුන්ට තිබෙන්නේ කෙටි කාලයක් බව දන්නා නිසා ඔවුන් සිටින්නේ “මහත් කෝපයෙන්.” එම භූතයන්ව අපට නොපෙනුණත් ඔවුන්ගේ නපුරු බලපෑම අපට දැකගන්න පුළුවන්. ඒ කොහොමද?

සාතන් සහ ඔහුගේ භූතයන් වැරදි දේ කිරීමට අප තුළ තිබෙන නැඹුරුවාව ප්‍රයෝජනයට ගෙන ‘සතුරුකම්, අඬදබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, භේද යනාදි දේවල්’ කිරීමට පොලඹවනවා.—ගලාති 5:19-21.

පාලනය කරගන්න

මිනිසුන් තමන්ගේ එදිනෙදා වගකීම් ඉටු කිරීමේදී කලකිරීමට පත් වන්නේ ඇයි කියා ඉහත සලකා බැලූ කාරණාවලින් පැහැදිලි වෙනවා.

කෙනෙකුට කෝපයක් ඇති වීමට අප අවට මොන තරම් නම් හේතු තිබෙනවාද! නමුත් කෝපය පාලනය කරගත හැකි ආකාරය ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[5වන පිටුවේ කොටුව]

කෝපය පාලනය කරගැනීමේ ගැටලුවක් තිබෙනවාද කියා හඳුනාගන්න

▶ පෝළිමක ටික වේලාවක් සිටීමට සිදු වුණොත් කේන්ති යනවාද?

▶ සෙසු සේවකයන් සමඟ නිතර වාද කරනවාද?

▶ දවල් කාලයේ සිදු වූ කෝප කරවන දේවල් ගැන සිතමින් සිටින නිසා රාත්‍රියේදී නින්ද යන්නේ නැද්ද?

▶ සමාව දීම අසීරුද?

▶ හැඟීම් පාලනය කරගැනීමට බැරිද?

▶ කෝපයෙන් ක්‍රියා කිරීම ගැන ලැජ්ජාවක් සහ දුකක් දැනෙනවාද? *

[පාදසටහන]

^ 36 ඡේ. තොරතුරු ලබාගත්තේ MentalHelp.net වෙබ් අඩවියෙනුයි.

[6වන පිටුවේ කොටුව]

සංඛ්‍යා ලේඛන

එංගලන්තයේ මානසික සෞඛ්‍යය පදනම විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.

වසර පහකට පෙර රැකියාව නිසා නොතිබුණු පීඩනයක් දැන් තිබෙන බව 84%ක් පවසනවා.

කාර්යාලයේදී වෛර සහගත සිදුවීම්වලට 65%ක් මුහුණ දී තිබෙන බව පවසනවා.

කාර්යාල සේවකයන්ගෙන් 45%ක් නිතර නිතර කෝපයට පත් වෙනවා.

දිනපතාම රැකියාවට වාර්තා නොකරන අයගෙන් 60%කටම හේතු වී තිබෙන්නේ මානසික පීඩනයයි.

බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 33%ක්ම තම අසල්වාසීන් සමඟ සුහදශීලී නැහැ.

සිදු කළ සමීක්ෂණයකදී 64%ක් කියා සිටියේ මිනිසුන් කෝපයෙන් ක්‍රියා කරන බවයි.

කෝපය පාලනය කරගැනීමට බැරි කිට්ටු මිතුරෙක් හෝ පවුලේ කෙනෙක් තමන්ට සිටින බව 32%ක් පවසනවා.

[5වන පිටුවේ පින්තූරය]

දරුවන්ට ඔබ හොඳ ආදර්ශයක්ද?

[6වන පිටුවේ පින්තූරය]

කෝප වීම ගැන ඔබ දරන අදහසට ඔබ නරඹන දේවල් හේතු වී තිබෙනවාද?