Skip to content

පටුනට යන්න

රජුන්ගේ දිව පිනවූ බිම්මල්

රජුන්ගේ දිව පිනවූ බිම්මල්

රජුන්ගේ දිව පිනවූ බිම්මල්

පුරාණ ඊජිප්තුවේ සිටි රාජකීය නායකයන් බිම්මල් සැලකුවේ ප්‍රණීත ආහාරයක් ලෙසයි. එදා එය සීමා වී තිබුණේ රාජකීයන්ගේ බොජුන්පතට පමණයි. රෝම ජාතිකයන් බිම්මල් හැඳින්වූයේ දෙවිවරුන්ගේ ආහාරයක් ලෙසයි. ඒ නිසා ඔවුන් ඒවා විශේෂ අවස්ථාවලදී පමණක් පිළියෙල කළා. පුරාණ ග්‍රීකවරුන් බිම්මල්වලින් ආහාර පිළියෙල කර මංගල්‍යයන් පැවැත්තුවා. ඔවුන් එවැනි දෙයක් කළේ බිම්මල් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ යුධ භටයන්ට අවශ්‍ය ශක්තියක් ලැබෙයි කියා විශ්වාස කළ නිසයි.

ඒත් අද වන විට එය කොයි කාගේත් ජනප්‍රිය ආහාරයක් බවට පත් වී තිබෙනවා. ඔබත් බිම්මල් කෑමට ප්‍රිය කරනවාද? ඔබ ඒ ගැන දන්නේ මොනවාද? එය සත්ව විශේෂයක්ද, ශාක විශේෂයක්ද, එසේ නැත්නම් වෙනත් යමක්ද? එය වගා කරන්නේ කෙසේද? එහි තිබෙන්නේ මොන වගේ පෝෂණ ගුණයක්ද? ඕනෑම බිම්මලක් ආහාරයට ගත හැකිද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට යුවළක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සුන්දර කඳුකර ප්‍රදේශයක පිහිටි කුඩා නගරයකට ගියා. ඔවුන් ගියේ නොඑල් එරල්ඩ්ගේ බිම්මල් වගාව බැලීමටයි.

බිම්මල් වගා කිරීම

ක්ෂුද්‍රජීවී විද්‍යාඥයෙක් සහ බිම්මල් වගාව පිළිබඳව හසළ දැනුමක් ඇති නොඑල්, ඕස්ට්‍රේලියානු ජාතිකයෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ බිම්මල් වගා කිරීම ආරම්භ කිරීමට පෙර රටවල් කිහිපයක ඒ පිළිබඳව අධ්‍යයනය කර තිබෙනවා. ඔහු මෙසේ පැවසුවා. “බිම්මල් කියන්නේ පිටිපුස් හා පුස් වගේ දිලීරයක්. ජීව විද්‍යාඥයන් කලින් හිතුවේ දිලීර අයිති වෙන්නේ ශාක කුලයට කියලා. ඒත් දැන් හොයාගෙන තියෙනවා දිලීර, ශාක කුලයට අයිති නැහැ කියලා.

“ඒකට හේතුව බිම්මල්වල ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වන්නේ නැහැ. බිම්මල් අඳුරේ වුණත් හැදෙන්නේ ඒ නිසයි. බිම්මල්වලට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ මෙහෙමයි. බිම්මල එන්සයිම පිට කරනවා. ඒ එන්සයිම නිසා බිම්මල වැඩෙන ස්ථානය, ඒ කියන්නේ ලී කුඩු හෝ ලී කොටයක් හෝ වෙන ඕනෑම දෙයක් බිම්මලට අවශ්‍ය පෝෂ්‍ය කොටස් බවට පත් වෙනවා. ඊටපස්සේ බිම්මල ඒ පෝෂණය උරාගනිමින් වර්ධනය වෙනවා. ඒ නිසා බිම්මල් සත්ව ගණයට අයිති වෙන්නෙත් නැහැ. ජීව විද්‍යාඥයන් ඒවා දිලීර පවුලට අයිතියි කියලා කියන්නේ ඒ නිසයි.

“කැලෑ බිම්මලක් කුඩා බීජාණු මිලියන ගණනක් මුදාහරිනවා. ඒවා පරිසරයේ තියෙන වෙනත් බීජාණුවක් එක්ක එකතු වෙලා අලුත් බීජාණුවක් බවට පත් වෙනවා. ඊටපස්සේ තෙතමනය ඇති සුදුසු පරිසරයක් ලැබුණම ඒක හොඳින් වර්ධනය වෙනවා. ස්වභාවිකව සිදු වෙන ඒ ක්‍රියාවලිය, බිම්මල් වගා කරන අය කෘත්‍රිම පරිසරයක් තුළ සිදු වෙන්න සලස්වනවා.”

බිම්මල් වගාව ගැන ඉහත සඳහන් කළ යුවළට නොඑල් තවත් විස්තර පැවසුවා. ඔහු පැවසුවේ එක් එක් බිම්මල් වර්ගය වර්ධනය වීම සඳහා ඊටම ආවේණික වූ පරිසරයක් තිබිය යුතු බවයි. උදාහරණයකට ජනප්‍රියම බිම්මල් වර්ග වෙන්නේ සුදු හෝ බට්න් බිම්මල් වර්ගයි. ඒවා හොඳින්ම වර්ධනය වන්නේ ජීවාණුහරණය කළ සත්ව ගොවිපළවලින් ඉවත් කරන අපද්‍රව්‍යවලයි. වෙනත් බිම්මල් වර්ග කුණු රොඩු දමා සකස් කරන ලද උර, ධාන්‍ය බෝතල්, ලී කොට හෝ ලී කුඩු වැනි දේවල් යොදාගෙන වගා කළ හැකියි. බිම්මල් වර්ග දහස් ගණනක් හඳුනාගෙන තිබුණත් වගා කිරීම සඳහා යොදාගන්නේ ඉන් 60ක් වගේ සංඛ්‍යාවක් පමණයි.

නොඑල් බිම්මල් වගාව කරගෙන යන්නේ පාළුවට ගිය දුම්රිය උමං මාර්ගයකයි. “වගාවට අවශ්‍ය තෙතමනයත්, සීතලත් මෙතන තියෙන නිසා බිම්මල් සරුවට හැදෙනවා” කියා ඔහු පැවසුවා. එම උමං මාර්ගයේ බෝතල්වල, පෝච්චිවල සහ උරවල විවිධ ප්‍රමාණයන්ගේ බිම්මල් වගා කර තිබෙනවා. සමහර බිම්මල් පිපීගෙන එන රෝස මල් වගේ. තවත් ඒවා ලිලී මල් වගේ. තවත් ඒවා ඉහළපු කුඩ වගේ. තවත් සමහර ඒවා දිස් වෙන්නේ මල් පොකුරක් වගේ. ඒවායේ අලංකාරය දැකලා අපි පුදුමයට පත් වුණා.

රසයි ගුණයි

“හුඟක් අය බිම්මල්වල ලස්සන අගය කරනවා. ඒ වුණත් ඒවා උයන්න දන්නේ නැහැ. ඒවා උයන එක අමාරු නැහැ. සමහර අය ඒක පොඩියට කපලා තෙල් දානවා. සුප් හදන්න, සලාදවලටත් හොඳයි. මම නම් ආස ලී කඳන්වල හැදෙන ඔයිස්ටර් බිම්මල්, බිස්කට් කුඩුවල දවටලා බැදලා කන්නයි. ෂිටාකේ කියන වර්ගයේ රසය මස් වගේ. ඒක බිත්තරවලට දාලා බැදපුවාම හරිම රසයි.”

බිම්මල්වල පෝෂණ ගුණයත් ඉහළයි. ප්‍රෝටීන, ඛනිජ ලවණ සහ විටමින් වර්ග තියෙනවා. ඒ වගේම කෙඳි සහිත ආහාරයක්. ඖෂධීය ගුණ තිබෙන බිම්මල් වර්ග 2,000ක් පමණ තිබෙනවා. පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ පිළිකා, හෙපටයිටිස්, ඒඩ්ස්, ඇල්සයිම හා කොලෙස්ටරෝල් ඇතුළු තවත් රෝග සිය ගණනකට බිම්මල් ගුණදායක බවයි.

ඒත් කැලෑවේ තිබෙන බිම්මල් කෑමට ගැනීමට පෙර ඒවා ආහාරයට සුදුසුද කියා සොයා බැලීම අත්‍යවශ්‍යයි. ඊට හේතුව විෂ සහිත බිම්මල් තිබීමයි. නමුත් වගා කරන ලද ඒවා කෑමට සුදුසුයි. එදා රජුන්ට පමණක් සීමා වූ බිම්මල් අද දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුදෙනාටම රස විඳිය හැකියි.

[22වන පිටුවේ කොටුව]

කැලෑ බිම්මල්

සාමාන්‍යයෙන් බිම්මල් වැවෙන්නේ තෙතමනය සහිත ආලෝකය අඩු, කැලෑබද ප්‍රදේශවලයි. දිරාපත් වූ ලී කඳන්, ශාක සහ සතුන්ගේ අපද්‍රව්‍ය වැනි දේවල ඇති ද්‍රව්‍යයන් පෝෂණ කොටස් බවට පත් කරගැනීමට බිම්මලට හැකියි. එසේ කරගෙන ඒ මත වර්ධනය වෙනවා. සමහර ඒවා ශාකයේ පෝෂණ කොටස් උරාගෙන වැඩෙන අතර බිම්මලේ ඇති පෝෂණ කොටස් ශාකයට ලබා දෙනවා.

[23වන පිටුවේ කොටුව]

පෝෂණය රැකගැනීම

• කඩදාසි හෝ රෙදි මලුවල දමා ශීතකරණයේ තබන්න. අධික සුවඳකින් යුත් ආහාර සමඟ එකට නොදමන්න.

• අමුවෙන් ආහාරයට ගන්නා බිම්මල් තෙත රෙදිකඩකින් පිස දමන්න. නැත්නම් වතුරට දමා ඉක්මනින්ම එළියට ගෙන වියළි රෙදිකඩකින් පිස දමන්න. කිසිවිටකත් වතුරේ පොඟවන්න එපා.

• පිසීමට ගන්නා විට සුමුදු බුරුසුවකින් මතුපිට ඇති කුණු දූවිලි ඉවත් කරන්න.

• කිසිවිටකත් සිවිය ඉවත් කරන්න එපා. එහිත් රසයක් හා පෝෂණයක් තිබෙනවා.

[21වන පිටුවේ පින්තූරය]

බිම්මල් වගා කරන්නේ උෂ්ණත්වය පාලනය කරන ලද කුටි තුළයි

[22වන පිටුවේ පින්තූරය]

සමහර බිම්මල් මල් වගෙයි

[23වන පිටුවේ පින්තූරය]

බිම්මල් යොදා සාදන ලද ආහාරයක්

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of the Mushroom Information Center

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: Courtesy of the Mushroom Information Center; bottom: Courtesy of the Australian Mushroom Growers Association