Skip to content

පටුනට යන්න

ස්වාභාවික විපත් නොමැති කාලයක්

ස්වාභාවික විපත් නොමැති කාලයක්

“ළඟදීම ස්වාභාවික විපත් නැති කාලයක් එනවා” කියා කවුරුන් හෝ ඔබට කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? සමහරවිට ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. “ඒක නම් කවදාවත් වෙන්නේ නැහැ. මෙයා හිතං ඇති මම මෝඩයෙක් කියලා.”

ස්වාභාවික විපත් නම් කවදාවත් නැති වෙන්නේ නැහැ කියා පෙනෙන්න තිබුණත් එවැනි කාලයක් ළඟදීම පැමිණීමට නියමිතයි. කොහොමවුණත් එවැනි කාලයක් උදා කිරීමට මිනිසුන්ට බැහැ. ස්වාභාවික විපත් සිදු වන්නේ කෙසේද සහ ඇයි කියා සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නත් එවැනි තත්වයක් සම්පූර්ණයෙන් පාලනය කරන්න හෝ වෙනස් කරන්නත් මිනිසුන්ට බැහැ. එය අවබෝධ කරගත් සලමොන් රජු මෙසේ ලිව්වා. ‘ඉර යට සිදු කරන සියලු දේ තේරුම්ගැනීමට මිනිසාට හැකියාවක් නැහැ. මිනිසා ඒවා තේරුම්ගැනීමට කොතරම් වෙහෙසුණත් ඔවුන්ට එය කළ නොහැකියි. එවැනි දේ තේරුම්ගැනීමට තරම් තමුන් ප්‍රඥාවන්තයයි පැවසුවත් ඔවුන්ට එසේ කිරීමට හැකියාවක් නැහැ.’—දේශනාකාරයා 8:17.

මිනිසුන්ට ස්වාභාවික විපත් නැති කිරීමට හැකියාවක් නැත්නම් එය කළ හැක්කේ කාටද කියා දැන් අපි බලමු. එම වෙනස සිදු කළ හැක්කේ අපගේ නිර්මාතෘට පමණක් බව බයිබලයේ සඳහන් වෙනවා. පරිසරයට අත්‍යවශ්‍ය ජල චක්‍රය වැනි විවිධ පද්ධති ඇති කළේ ඔහුයි. (දේශනාකාරයා 1:7) මිනිසුන් මෙන් නොව දෙවිට අසීමිත බලයක් තිබෙනවා. ඒ ගැන අනාගතවක්තෘ යෙරෙමියා මෙවැනි අදහසක් ඉදිරිපත් කළා. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඔබේ මහත් බලයෙන් අහසත් පොළොවත් සෑදුවා. එය ඔබට කිසිසේත් අපහසු කාර්යයක් නොවෙයි.” (යෙරෙමියා 32:17) පොළොව සහ එහි ඇති සියලුම බලයන් ඇති කළේ දෙවි නිසා මිනිසුන්ට සාමයෙන් හා සුරක්ෂිතව ජීවත් වීමට හැකි වන ලෙස ඒවා පාලනය කිරීමට දෙවිට හැකියාව තිබෙනවා.—ගීතාවලිය 37:11; 115:16.

දෙවි එම වෙනස ඇති කරන්නේ කොහොමද කියා දැන් අපි බලමු. “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” ගැන යේසුස් දුන් ‘ලකුණට’ ඇතුළත් වන හද කම්පා කරවන සිද්ධීන් බොහොමයක් වර්තමානයේ සිදු වන බව අපි මෙම ලිපි පෙළේ දෙවෙනි ලිපියේදී සඳහන් කළා. එම ලකුණ ගැන සඳහන් කිරීමෙන් පසු යේසුස් මෙසේ පැවසුවා. “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.” (මතෙව් 24:3; ලූක් 21:31) දෙවි විසින් ඇති කරන අලුත් පාලන ක්‍රමය මගින් එනම් දෙවිගේ රාජ්‍යය මගින් පොළොවේ මෙම වෙනස සිදු කිරීමට නියමිතයි. යෙහෝවා දෙවිට මෙම වෙනස කිරීමට බලය තිබුණත් ඔහු ඒ සඳහා ඔහුගේ පුත්‍රයාව තෝරාගෙන තිබෙනවා. දෙවිගේ පුත්‍රයා ගැන දානියෙල් මෙවැනි දෙයක් පැවසුවා. “සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි.”—දානියෙල් 7:14.

මේ මුළු පොළොවම ජීවත් වීමට සුදුසු අලංකාර ස්ථානයක් බවට පත් කරන්න අවශ්‍ය බලය දෙවි ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ට දී තිබෙනවා. මීට වසර 2,000කට පමණ පෙර ඔහු පොළොවේ සිටි කාලයේදී ස්වාභාවික විපත් පාලනය කිරීමට තමාට හැකි බව පෙන්නුවා. උදාහරණයකට, එක් අවස්ථාවකදී යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ගලීල මුහුදේ ඔරුවකින් ගමන් කරන විට ‘ඉතා බිහිසුණු කුණාටුවකට හසු වුණා. සැඩ සුළං නිසා කැලඹුණු රළ වේගයෙන් ඔරුවට ගසන්න පටන්ගත්තා. කුණාටුව කොතරම් බිහිසුණුද කියනවා නම් දියෙන් ඔරුව පිරී එය ගිලෙන්න ආසන්න වුණා.’ එවිට යේසුස්ගේ ගෝලයන් බිය වුණා. ජීවිතය බේරා දෙන ලෙස ඔවුන් යේසුස්ගෙන් ඉල්ලා සිටියා. යේසුස් කළ දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔහු සුළඟටත් මුහුදටත් තදින් කතා කරමින්, ‘නිශ්ශබ්ද වන්න! නිශ්චල වන්න’ කියා පැවසුවේය. එවිට සැඩ සුළං නතර වී, මහත් නිශ්චලතාවක් ඇති විය.” පුදුමයට පත් ඔහුගේ ගෝලයන් මෙසේ ඇසුවා. “සුළඟත් මුහුදත් ඔහුට කීකරු වෙනවා. ඇත්තටම මේ කවුද?”—මාක් 4:37-41.

දැන් ස්වර්ගයට ගොස් සිටින යේසුස්ට ඊටත් වඩා බලයක් ලැබී තිබෙනවා. මිනිසුන්ට සාමකාමී හා සුරක්ෂිත ජීවිතයක් ගත කිරීම සඳහා මේ පොළොවේ අවශ්‍ය වෙනස්කම් කිරීමේ වගකීම සහ හැකියාව දේවරාජ්‍යයේ රජු ලෙස ඔහු සතුව තිබෙනවා.

වර්තමානයේ මිනිසුන් මුහුණ දෙන ගැටලු හා ස්වාභාවික විපත් බොහොමයක් සිදු වන්නේ මිනිසුන්ගේම ක්‍රියා නිසයි. එසේත් නැත්නම් ඉන් ඇති වන හානිය වැඩි කිරීමට මිනිසුන්ගේ ආත්මාර්ථකාමීකම හා කෑදරකම හේතු වී තිබෙනවා. දිගින් දිගටම එවැනි දුෂ්ට ක්‍රියා කරන අයට සහ ඒවා නතර කිරීමට අකමැති අයට කුමක් සිදු වේවිද? ‘යේසුස් තම බලවත් දේවදූතයන් සමඟ ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත. එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයට එරෙහිවයි.’ ඇත්තෙන්ම ඔහු “පොළොව විනාශ කර දමන අයව විනාශ කර දැමීමට” නියමිතයි.—2 තෙසලෝනික 1:7, 8; එළිදරව් 11:18.

“රජවරුන්ගේ රජු” වන යේසුස් ක්‍රිස්තුස් ඉන් අනතුරුව පොළොවේ ඇති සියලු බලයන් පාලනය කරනවා. (එළිදරව් 19:16) ඔහුගේ පාලනය යටතේ කාලගුණික තත්වයන් හා ඍතු මගින් මිනිසුන්ට කිසිදු හානියක් සිදු වන්නේවත් මිනිසුන් කිසිම ආපදාවකට ගොදුරු වන්නේවත් නැහැ. යෙහෝවා දෙවි දුන් මෙම පොරොන්දුව එදාට ඉටු වෙනවා. “මම නියම කලට ඔබේ දේශය පිට වැසි වස්සවන්නෙමි. ඉතා සාරවත් අස්වැන්නක් භූමියෙන් ඔබට ලැබෙන්නේය. කෙත්වල ගස්ද බොහෝ පල දරන්නේය.” (ලෙවී කතාව 26:4) ඉතාමත් ආශාවෙන් ගොඩනඟන නිවස විනාශ වෙයිද කියා තැවෙන්නට කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. බයිබලයේ සඳහන් මේ පොරොන්දුව එදාට ඉටු වෙනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21.

ඔබ කුමක් කළ යුතුද?

ස්වාභාවික විපත් නොමැති කාලයක ජීවත් වෙන්න අන් අය වගේ ඔබත් බොහෝ ආශාවෙන් සිටිනවා ඇති. එවැනි කාලයක ජීවත් වීමට ඔබ කුමක් කළ යුතුද? “දෙවිව දැන හඳුනා නොගෙන සිටින අය” හා “ශුභාරංචියට කීකරු නොවන අය” එවැනි කාලයක ජීවත් නොවන නිසා කෙනෙක් දෙවි ගැන ඉගෙනගෙන ඔහුගේ පාලනයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍යයි. දෙවි අපගෙන් එය බලාපොරොත්තු වෙනවා.

එසේ කිරීමට හැකි හොඳම ක්‍රමය බයිබලයේ ඇති දේ ඉගෙනගැනීමයි. දේවරාජ්‍යය යටතේ සුරක්ෂිතව ජීවත් වීමට සුදුසුකම් ලබන්න කුමක් කළ යුතුද කියා සඳහන් වෙන්නේ බයිබලයේයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලය සම්බන්ධ තොරතුරු දැනගන්න ඔබට පුළුවන්. ඔබට උපකාර කිරීමට ඔවුන් ආශාවෙන් සිටිනවා. ඔබ යෙහෝවා දෙවි ගැන ඉගෙනගෙන ශුභාරංචියට කීකරු වුණොත් දෙවි පවසා තිබෙන මේ වචනවල සත්‍යතාව අද්දකින්න ඔබට පුළුවන් වෙයි. “මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.”—හිතෝපදේශ 1:33.