Skip to content

පටුනට යන්න

ඔබේ දරුවන්ට උගන්වන්න

ඔවුන්ව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්නුවා

ඔවුන්ව “ගර්ජනාවේ පුත්‍රයන්” ලෙස හැඳින්නුවා

හයියෙන් වහිද්දී ගොරවන සද්දේ ඔයාට ඇහිලා ඇති. සමහරු කියනවා අහස ගර්ජනා කරනවා කියලා. ඔයා ඒ සද්දෙට භය වෙලා තියෙනවාද? * යේසුස් එයාගේ අනුගාමිකයන් දෙදෙනෙකුව “ගර්ජනාවේ පුත්‍රයන්” කියලා හැඳින්නුවා. ඔවුන් දෙදෙනා ගැන තොරතුරු ටිකක් දැන් අපි බලමු.

යේසුස් ඒ විදිහට හැඳින්නුවේ යාකොබ්වයි යොහන්වයි. ඒ දෙන්නගේ තාත්තගේ නම සෙබදී. අම්මගේ නම සලෝමි. සලෝමි කියන්නේ යේසුස්ගේ අම්මගේ සහෝදරියක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා යාකොබ් සහ යොහන් යේසුස්ගේ ඥාති සහෝදරයන් වෙන්න ඇති. ඒ වගේම ඒ අය පොඩි කාලයේ ඉඳලම යාළුවන් වගේ ඉන්නත් ඇති.

සෙබදී වගේම යාකොබ් සහ යොහන් ධීවරයන්. යේසුස් තමන්ගේ අනුගාමිකයන් අතරට මුලින්ම තෝරාගත්තේ ඒ දෙන්නාවයි. යේසුස් ඒ අයට තමාගේ අනුගාමිකයන් වෙන්න එන්න කියලා කිව්ව ගමන්ම ඒ දෙන්නා ධීවර රැකියාව පැත්තකට දාලා යේසුස් එක්ක ගියා. ටික කාලයකට පස්සේ යේසුස් තම අනුගාමිකයන් අතරින් 12දෙනෙක්ව නියෝජිතයන් හැටියට තෝරාගත්තා. ඒ අය අතර යාකොබ් සහ යොහනුත් හිටියා.

යේසුස් මැරෙන්න මාස කිහිපයකට කලින් තමන්ගේ ගෝලයන් එක්ක සමාරිය හරහා ගමන් කරමින් හිටියා. ඒ වෙද්දී හුඟක් රෑ වෙලා තිබුණා. ඒ වගේම ඒ අයට හුඟක් මහන්සියි. එයාලා සමාරියේ නතර වෙන්න හැදුවත් එහේ හිටිය මිනිස්සු ඒකට කැමති වුණේ නැහැ. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?— අපි දැන් ඒ ගැන ටිකක් බලමු.

යේසුස් වගේම ඔහුගේ ගෝලයන් යුදෙව් ජාතිකයන්. යුදෙව් ජාතිකයන් සමරිතානු ජාතිකයන්ව ඇසුරු කළේ නැහැ. හැබැයි යේසුස් සමරිතානුවන්ටත් කාරුණිකව සැලකුවා. සමරිතානුවන් යේසුස්ව පිළිගන්න කැමති වුණේ නැති නිසා යාකොබ්ටත් යොහන්ටත් හුඟක් කේන්ති ගියා. ඒ නිසා ඒ දෙන්නා යේසුස්ගෙන් ඇහුවා ‘අපි ස්වර්ගයෙන් ගින්නක් එවන මෙන් ඉල්ලා ඔවුන්ව විනාශ කර දමනවාට ඔබ කැමතිද’ කියලා. යේසුස් ඒ අයට මොනවා කියන්න ඇද්ද?— එහෙම කිව්ව නිසා යේසුස් ඔවුන්ට තදින් අවවාද කළා. ඒ නිසා අනිත් අයට කාරුණිකව සලකන ආකාරය ගැන තවත් හොඳින් ඉගෙනගන්න ඒ දෙන්නට සිද්ධ වුණා.

ඒ දෙන්නට තිබුණු තවත් දුර්වලකමක් තමයි අනිත් අයට වඩා කැපීපෙනෙන්න උත්සාහ කිරීම. යේසුස් මිය යන්න ටික දවසකට කලින් ඒ දෙන්නා ආසාවෙන් හිටිය දෙයක් යේසුස්ගෙන් ඉල්ලන්න කියලා එයාලගේ අම්මට කිව්වා. ඒ නිසා අම්මා යේසුස්ට මෙහෙම කිව්වා. “ඔබේ රාජ්‍යයේදී මගේ මේ පුතුන් දෙදෙනාගෙන් එක් කෙනෙකුට ඔබේ දකුණු පැත්තේද අනික් පුතාට ඔබේ වම් පැත්තේද ඉඳගැනීමට අවසර දෙන්න.” මේ ගැන යේසුස්ගේ අනිත් ගෝලයන්ට ආරංචි වුණාම එයාලට හුඟක් කේන්ති ගියා. ඔයත් ඒ ගෝලයන් අතරේ හිටියා නම් ඔයාටත් කේන්ති යයිද?

සමහරවිට ඔයාටත් කේන්ති යන්න පුළුවන්. මොකද හැමතිස්සෙම අනිත් අයට වඩා කැපීපෙනෙන්න උත්සාහ කරන අයට අපි කවුරුත් කැමති නැහැ. හැබැයි ටික කාලයකට පස්සේ යාකොබ්ටයි යොහන්ටයි තේරුණා ඒ අය හැසිරුණු විදිහ වැරදියි කියලා. ඒ නිසා ඒ දෙන්නා තමන්ගේ වැරදි හදාගෙන ඉතාමත් ප්‍රේමණීයව සහ කාරුණිකව අනිත් අයට සලකන්න පුරුදු වුණා. අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

අපිත් අනිත් අයට කාරුණිකව සලකන්න පුරුදු වෙන්න ඕනේ. යේසුස් සියලුදෙනාටම කාරුණිකව සැලකුවා. ඔයාටත් පුළුවන්ද යේසුස් වගේ හැම අවස්ථාවකදීම අනිත් අයට කාරුණිකව සලකන්න උත්සාහ කරන්න?

^ 3 ඡේ. ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙකු සමඟ නම් (—) ඉරක් යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.