Skip to content

පටුනට යන්න

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”

දෙවිට ළං වෙන්න

“යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය”

යෙහෝවා දෙවි මොන වගේ කෙනෙක්ද කියා එක වචනයකින් විස්තර කරන ලෙස ඔබට පැවසුවොත් ඔබ ඒ සඳහා තෝරාගන්නේ කුමන වචනයද? එක් අවස්ථාවකදී දේවදූතයන් පිරිසක් විශේෂ වචනයක් යොදාගනිමින් යෙහෝවා දෙවිව වර්ණනා කරන ආකාරය යෙසායා දර්ශනයකින් දුටුවා. ඒ අවස්ථාවේ යෙසායා දුටු දේ සහ ඔහුට ඇසුණු දේ සලකා බැලීමෙන් අපට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති වන අතර ඔහුට වඩාත් සමීප වීමට පෙලඹීමක්ද ඇති වෙනවා. යෙසායා 6:1-3හි සඳහන් එම දර්ශනය සලකා බලද්දී ඔබත් ඒ අවස්ථාවේදී එතැන සිටියා කියා සිතන්න.

තමන් මුලින්ම දුටු දේ යෙසායා මෙසේ වාර්තා කළා. ‘යෙහෝවා දෙවි උත්කෘෂ්ට සිංහාසනයක හිඳගෙන සිටියේය.’ (යෙසායා 6:1) යෙසායා එසේ වාර්තා කළත් ඔහු ඇත්තටම සියලු බලැති යෙහෝවා දෙවිව දුටුවේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “කිසි මිනිසෙක් දෙවිව කිසිදාක දැක නැත” කියායි. (යොහන් 1:18) නමුත් යෙසායාට එම දර්ශනයේ කිසි අපැහැදිලිකමක් තිබුණේ නැහැ. * ඔහු ඒ පුදුමාකාර දර්ශනය දුටු විට මවිතයට පත් වෙනවා. ඔහු කොතරම් මවිතයට පත් වුණාද කියනවා නම් ඔහු සිතුවේ තමන් දෙවිව දුටුවා කියායි.

යෙසායා ඊළඟට සඳහන් කරන දේ මීට පෙර කිසිම මිනිසෙක් දැක තිබුණේ නැහැ. ඔහු එය මෙසේ වාර්තා කරනවා. “[යෙහෝවා දෙවි] අවට සෙරාෆ්වරු සිටියෝය. ඔවුන් එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. පියාපත් දෙකකින් ඔවුහු තම මුහුණද තවත් පියාපත් දෙකකින් තම පාදද වසාගෙන සිටියෝය. අනික් පියාපත් දෙකෙන් ඔවුහු පියාසර කළෝය.” (යෙසායා 6:2) සෙරාෆ්වරු කියා හඳුන්වන්නේ ස්වර්ගයේ විශේෂ පැවරුමක් ඉටු කරන දේවදූත පිරිසක්වයි. සෙරාෆ්වරු ගැන සඳහන් කරන්නේ යෙසායා පමණයි. ඕනෑම වෙලාවක දෙවිගේ කැමැත්ත ඉටු කිරීමට ඔවුන් සූදානමින් සිටිනවා. ඔවුන්ගේ මුහුණු සහ දෙපා පියාපත්වලින් වසාගෙන සිටීමෙන් පැහැදිලි වෙන්නේ ඔවුන් යෙහෝවා දෙවිට ගරුබිය දක්වන බව හා දෙවි ඉදිරියේ සිටිමින් ඔහුට සේවය කිරීමට ලැබුණු අවස්ථාව වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.

යෙසායා දුටු දෙයින් පමණක් නොව ඔහුට ඇසුණු දෙයින්ද ඔහු පුදුමයට පත් වුණා. සෙරාෆ්වරු යෙහෝවා දෙවිගේ සිංහාසනයේ දෙපසින් සිටිමින් ගැයූ ප්‍රශංසා ගීතිකාවක් ඔහුට ඇසුණා. පෙනෙන විදිහට ඔවුන් එම ගීතිකාව ගායනා කරන්නේ මාරුවෙන් මාරුවටයි. යෙසායා ඔහුට ඇසුණු දේ මෙසේ වාර්තා කළා. “සෙරාෆ්වරු එකිනෙකාට මෙසේ කියාගත්තෝය. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය.’” (යෙසායා 6:3) “ශුද්ධ” කියා පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයට කිසිම ආකාරයක අපවිත්‍රකමක් ගෑවිලාවත් නැහැ යන අදහසත් ඇතුළත් වෙනවා. යෙහෝවා දෙවි මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කියා කාවැද්දීමට ඔවුන් “ශුද්ධය” කියා තුන් සැරයක් සඳහන් කරනවා. (එළිදරව් 4:8) මේ සියලු තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ යෙහෝවා දෙවි තරම් ශුද්ධ, පවිත්‍ර, නිකැළැල් කෙනෙක් නැති බවයි.

යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් නිසා හැමවිටම ඔහු පාලනය කරන්නේ ධර්මිෂ්ඨවයි. ඒ වගේම ඔහු අපක්ෂපාතියි. ඔහු ප්‍රේමණීය පියෙක්ද වෙනවා. මුළු මහත් විශ්වයේ සිටින ශුද්ධතම තැනැත්තා යෙහෝවා දෙවි නිසා ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසය තබන්න අපට පුළුවන්. එවැනි ශුද්ධ දෙවි කෙනෙකුට තව තවත් ළං වෙන්න ඔබ පෙලඹෙන්නේ නැද්ද!

දෙසැම්බර් මාසයට නියමිත බයිබල් කියවීම:

යෙසායා 1වෙනි පරිච්ඡේදයේ සිට 23වෙනි පරිච්ඡේදය දක්වා

[පාදසටහන]

^ 2 ඡේ. “කෙනෙක් දර්ශනයක් දකින්නේ ඔහු අවදිව සිටින අවස්ථාවලදීයි. එමනිසා එම දර්ශනය ඔහුගේ මනසේ හොඳින් තැන්පත් වෙනවා. පසු අවස්ථාවක ඔහු දුටු දේ මතකයට නඟා එය විස්තර කිරීමට හෝ වාර්තා කිරීමට ඔහුට හැකියි.”—යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති Insight on the Scriptures නමැති පොතෙන්.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ශුද්ධ දෙවි වන යෙහෝවාට අපි තව තවත් ළං වෙමු