Skip to content

පටුනට යන්න

දෙවි පිළිකුල් කරන දේවල් තිබෙනවාද?

දෙවි පිළිකුල් කරන දේවල් තිබෙනවාද?

දෙවි පිළිකුල් කරන දේවල් තිබෙනවාද?

දෙවි ප්‍රේමණීය කෙනෙක් යන අදහස දෙන විවිධ වැකි සමහර නිවෙස්වල දක්නට තිබෙනවා. එම වැකිවල සඳහන් ලෙසම ඇත්තටම දෙවි ප්‍රේමණීය කෙනෙක්. ඒ වගේම ප්‍රේමය පෙන්වීම සම්බන්ධයෙන් උතුම්ම ආදර්ශය දෙවි කියා පැවසිය හැකියි.

දෙවි ගැන බයිබලයේ මෙසේ පවසනවා. “දෙවි ප්‍රේමයයි.” (1 යොහන් 4:8) දෙවි මිනිස් වර්ගයාට මොන තරම් ප්‍රේම කරනවාද කියා බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

දෙවි ප්‍රේමණීය කෙනෙක් නිසා අප කුමක් කළත් දෙවි ඊට සමාව දෙන බව බොහෝදෙනා සිතනවා. නමුත් ඒ අදහස නිවැරදිද? මිනිසුන් කුමක් කළත් දෙවි ඔවුන්ට ප්‍රේම කරනවා කියා ඉන් අදහස් කරනවාද?

බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

දෙවි ප්‍රේමණීය කෙනෙක් වුණත් ඔහු ගැන බයිබලයේ මෙසේද සඳහන් වෙනවා. “යෙහෝවා දෙවිගේ උදහස ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවුළුණේය. ඔහු තම උරුමය වූ ඔවුන්ව පිළිකුල් කළේය.” (ගීතාවලිය 106:40) ඒ වගේම යෙසායා 65:12හි මෙවැනි දෙයක් සඳහන් වී තිබෙනවා. “මම ඔබට කතා කළ විට ඔබ මට ඇහුම්කන් දුන්නේවත් උත්තර දුන්නේවත් නැත. මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය. ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය. ඒ නිසා මම ඔබව මරණයට නියම කරන්නෙමි. ඔබ සියලුදෙනාම ඔබේ ඝාතකයන් ඉදිරියේ වැටී කඩුවෙන් මැරුම් කන්නහුය.”

යම් දෙයක් ගැන හෝ පුද්ගලයෙක් කළ ක්‍රියාවක් ගැන කෙනෙකු තුළ පිළිකුලක් ඇති විය හැකියි.

දෙවිත් යම් දේවල් පිළිකුල් කරන බව හිතෝපදේශ 6:16-19හි සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ. එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත. උඩඟු ඇස්, බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්, දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද ඔහුට පිළිකුලකි. බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය.”

දෙවි මිනිසුන් කරන එවැනි ක්‍රියාවන් පිළිකුල් කළත් ඒ ක්‍රියාවන් කළ පුද්ගලයන්ව පිළිකුල් කරන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයෙක් අතින් යම් වරදක් සිදු වූ විට දෙවි ඔහුට අවශ්‍ය හික්මවීම ලබා දෙනවා. එසේ කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි ඇති ප්‍රේමය නිසයි. ඒ ගැන හිතෝපදේශ 3:12හි මෙසේ විස්තර කරනවා. “පියෙකු තම ආදරණීය පුතුට අවවාද කරන්නාක් මෙන් යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.” උදාහරණයකට දරුවෙක් වරදක් කළ විට දෙමාපියන් ඔහුට දඬුවම් කරන්නේ ඔහුව යහමඟට ගන්න තිබෙන ආශාව නිසයි. ඒ හා සමානව යෙහෝවා දෙවිද වැරදි කරන අයව නිවැරදි කිරීමට පියවර ගන්නවා. ඔහු එසේ කරන්නේ ඔහුගේ ප්‍රේමය නිසයි. මිනිසුන්ට පව්කාරකම උරුම වී තිබෙන බවත් නොදැනුවත්කම නිසා ඔවුන් අතින් වැරදි සිදු විය හැකි බවත් ඔහු හොඳින්ම දන්නවා.—උත්පත්ති 8:21; රෝම 5:12.

හිතාමතාම වැරදි කරනවා නම්

කෙසේවෙතත් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා අවබෝධ කරගත් කෙනෙක් හිතාමතාම දෙවිගේ ප්‍රමිති කඩ කරනවා නම් දෙවි එවැනි කෙනෙකුව සලකන්නේ කෙසේද? දෙවි එවැනි අයව දැඩි සේ පිළිකුල් කරනවා. “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරන්නේය” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (ගීතාවලිය 11:5) පසුතැවිලි නොවී දිගටම දුෂ්ට ක්‍රියා කරන අයට දෙවිගෙන් සමාවක් නොලැබෙන බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම් එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත. එවැනි අයට අපේක්ෂා කළ හැක්කේ දෙවිගේ විනිශ්චය පමණි. දෙවි තම දැවෙන උදහසින් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත. එහෙයින් ඒ දේ අපේක්ෂාවෙන් සිටින ඔවුන් නිරතුරුවම සිටින්නේ මහත් බියකිනි.”—හෙබ්‍රෙව් 10:26, 27.

කෙනෙක් හිතාමතාම දිගින් දිගටම දුෂ්ට ක්‍රියා කරනවා නම් ඔහුට ඒවා අත්හැරීමට හැකි වෙන්නේ නැහැ. එය හරියට දිවියෙකුගේ ඇඟේ තිබෙන පුල්ලි හා සමානයි. ඒවා වෙනස් කරන්න කවදාවත් බැහැ. (යෙරෙමියා 13:23) කෙනෙක් එලෙස සිදු කරන දුෂ්ට ක්‍රියාවලට ‘කිසි දිනක සමාවක් ලැබෙන්නේ නැහැ.’—මාක් 3:29.

ආදම් සහ ඒව මෙන්ම යූදස් ගැන සලකා බැලීමෙන් මෙය පැහැදිලි වෙනවා. ආදම් සහ ඒවව දෙවි නිර්මාණය කළේ පරිපූර්ණ අය ලෙසයි. දෙවි ඔවුන් දෙදෙනාට දුන් ආඥාව පැහැදිලිව ලබා දුන් අතර එය ඔවුන් හොඳින් තේරුම්ගත්තා. නමුත් ඔවුන් හිතාමතාම එම ආඥාව කඩ කළ නිසා දෙවිගෙන් කිසිම සමාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. (උත්පත්ති 3:16-24) යූදස්, යේසුස්ව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කළා. නමුත් ඔහු යේසුස්ව පාවා දුන්නා. යේසුස් ඔහුව හැඳින්වූයේ “විනාශ වන තැනැත්තා” කියායි. ඔහුට සමාවක් ලැබුණේ නැහැ. (යොහන් 17:12) සෑම දුෂ්ට දෙයකම මුල වන්නේ සාතන් ලෙස හඳුන්වන යක්ෂයා බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහුට හිමි වන්නේ විනාශය පමණයි.—1 යොහන් 3:8; එළිදරව් 12:12.

නමුත් නොදැන කරන වැරදිවලට සමාව නොලැබෙන බව ඉන් අදහස් කරන්නේ නැහැ. (එසකියෙල් 33:11) වැරදි කරන කෙනෙක් අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවි ඔහුට සමාව දෙන බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලි වෙනවා. “දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.”—යෙසායා 55:7.

දෙවිව අනුකරණය කරන්න

දෙවිගේ සේවකයන් අන් අයට ප්‍රේම කරන විට ඔවුන් දෙවිව අනුකරණය කරනවා. දෙවි මිනිසුන්ට ප්‍රේම කළත් ඔවුන් වැරදි දේවල් කරන විට දෙවි ඒවා අනුමත කරන්නේ නැහැ. ප්‍රේමය පෙන්වන විට සැලකිලිමත් විය යුතු එක් පැත්තක් ගැන යේසුස්ගේ අනුගාමිකයෙක් වූ යූද් මෙසේ පැවසුවා. “සැකයෙන් සිටින අයට දිගටම දයාව පෙන්වන්න. ඔවුන්ව විනාශය නමැති ගින්නෙන් ඉවතට ඇද ගලවාගන්න. අනික් අයටද නොකඩවා දයාව පෙන්වන්න. මන්ද ඔවුහු පව්කාර ක්‍රියාවල නිරත වීමෙන් තම වස්ත්‍ර අපවිත්‍ර කරගෙන ඇත. නමුත් ඔබ ඔවුන්ට දයාව පෙන්වන විට ඔවුන්ගේ අපවිත්‍ර වූ වස්ත්‍රවලින් ඈත්ව සිටීමට වගබලා ගත යුතුයි.” (යූද් 22, 23) එවැනි අයට උපකාර කිරීමට නම් අපි ඒ පුද්ගලයන්ව පිළිකුල් කරනවා වෙනුවට ඔවුන් කළ ක්‍රියාවන් පිළිකුල් කළ යුතුයි.

ක්‍රිස්තියානීන් තමන්ගේ සතුරන්ටද ප්‍රේම කළ යුතු බව දෙවි පවසා තිබෙනවා. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.’ (මතෙව් 5:44) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශ කරන ශුභාරංචියට සමහර අය අකමැති වුණත් ඔවුන් නොකඩවා එය ප්‍රකාශ කරන්නේ මිනිසුන්ට තිබෙන ප්‍රේමය නිසයි. (මතෙව් 24:14) යෙහෝවා දෙවිව අනුකරණය කරන ඔවුන්, නිතරම සිතන්නේ සෑම කෙනෙකුටම දෙවිගේ සේවකයෙක් බවට පත් විය හැකියි කියායි. සමහර අය ඔවුන්ව ප්‍රතික්ෂේප කළත්, ඔවුන්ට පීඩා කළත් ඔවුන් එකට එක කරන්නේ නැහැ. ‘ඔබට පීඩා කරන්නන්ට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න. ඔවුන්ට ශාප නොකර දිගටම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න. කාටවත් නපුරට නපුර නොකරන්න’ කියා බයිබලයේ සඳහන් වදන්වලට ඔවුන් කීකරු වෙනවා. (රෝම 12:14, 17) වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණක් බව සාක්ෂිකරුවන් වටහාගෙන තිබෙනවා.—හෙබ්‍රෙව් 10:30.

දෙවි අපට පෙන්වා ඇති ප්‍රේමය අපි අගය කළ යුතුයි. එසේ කිරීමට නම් දෙවිගේ කැමැත්ත කුමක්ද කියා සොයා බලා එය ඉටු කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආශාවෙන් සිටිනවා. ඔබ ළඟ තිබෙන බයිබලයෙන්ම ඔවුන් ඒ දේවල් ඔබට පහදා දේවි. දෙවිගේ කැමැත්ත කිරීමෙන් දෙවිගේ ප්‍රේමය අද්දකින්න ඔබටත් හැකියි.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“යෙහෝවා දෙවි ද්වේෂ කරන දේවල් හයක් තිබේ. එසේය, ඔහු පිළිකුල් කරන දේවල් හතක් ඇත. උඩඟු ඇස්, බොරු කියන දිව, අහිංසකයන්ගේ ලේ වගුරුවන අත්, දුෂ්ට ලෙස කුමන්ත්‍රණය කරන සිත සහ වැරදි කිරීමට ඉක්මන් වන පාද ඔහුට පිළිකුලකි. බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය.” —හිතෝපදේශ 6:16-19

[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම් එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත. එවැනි අයට අපේක්ෂා කළ හැක්කේ දෙවිගේ විනිශ්චය පමණි.”—හෙබ්‍රෙව් 10:26, 27

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.”—යෙසායා 55:7

[24වන පිටුවේ පින්තූරය]

දෙමාපියන් තම දරුවාව යහමඟට ගැනීම සඳහා ඔවුන්ව හික්මවනවා

[25වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ප්‍රේමය නිසා බොහෝ අය ප්‍රයෝජන ලබා තිබෙනවා