Skip to content

පටුනට යන්න

11වෙනි පාඩම

අපිට සමුළු තියෙන්නේ ඇයි?

අපිට සමුළු තියෙන්නේ ඇයි?

මෙක්සිකෝව

ජර්මනිය

බොට්ස්වානා

නිකරගුවාව

ඉතාලිය

මේ අයගේ මූණෙන් ලොකු සතුටක් පේන්න තියෙනවා. ඒකට හේතුව ඔයා දන්නවාද? මෙයාලා ඇවිල්ලා ඉන්නේ අපේ සමුළුවකට. අතීතයේ හිටපු දෙවිගේ සෙනඟට අවුරුද්දට තුන් පාරක් විශේෂ උත්සව පවත්වන්න රැස් වෙන්න කියලා දෙවි කිව්වා. (ද්විතීය කතාව 16:16) ඒ අය ඒ විදිහට රැස් වුණේ හරිම සතුටින්. ඒ වගේ අපිත් දෙවිට නමස්කාර කරන්න සමුළුවලට යන්නේ හරිම සතුටින්. අපිටත් අවුරුද්දකට ඒ වගේ සමුළු තුනක් තියෙනවා. ඒ තුනෙන් දෙකකට කියන්නේ එක්දින චාරිකා සමුළු කියලයි. අනිත් එකට කියන්නේ තුන්දින සමුළුව කියලයි.

අපි අතරේ තියෙන බැඳීම ශක්තිමත් කරන්න. එදා ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට නමස්කාර කරන්න රැස් වුණේ හරිම ආසාවෙන්. (ගීතාවලිය 26:12; 111:1) ඒ වගේ අපිත් සමුළුවලට යන්න හරිම ආසාවෙන් ඉන්නවා. සමුළුවලදී අපිට හුඟක් සාක්ෂිකරුවන්ව අඳුනගන්න පුළුවන්. සමහරවිට වෙන රටවලින් ආපු අයවත් අපිට හම්බ වෙනවා. අපිට දවල් වරුවේ පොඩි විවේකයක් ලැබෙන නිසා එකට දවල් කෑම කාලා අනිත් අයත් එක්ක කතාබහ කරන්න වෙලාව තියෙනවා. (ක්‍රියා 2:42) ඒ දේවල්වලින් අපි අතර තියෙන බැඳීම ගොඩක් වැඩි වෙනවා. අපි අතරේ කොච්චර ප්‍රේමයක් තියෙනවාද කියලා ඒ විදිහට එකට එකතු වෙද්දී අපිට දැනෙනවා.—1 පේතෘස් 2:17.

දෙවිට දිගටම විශ්වාසවන්තව ඉන්න අපිට උපකාර කරන්න. ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට නමස්කාර කරන්න එකට රැස් වුණාම ඒ අයට ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවල් “හොඳින් තේරුම්” කරලා දුන්නා. ඒකෙන් එයාලගේ සතුට තවත් වැඩි වුණා. (නෙහෙමියා 8:8, 12) සමුළුවලට ගියාම අපිටත් බයිබලේ තියෙන දේවල් හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙන නිසා අපිත් ලොකු සතුටක් ලබනවා. හැම දවසකම වැඩසටහන තියෙන්නේ එක බයිබල් පදයක් මුල් කරගෙන. එදාට තියෙන කතාවලින්, නිරූපණවලින් අපි දෙවිට සේවය කරන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි වටිනා පාඩම් ඉගෙනගන්නවා. ඒ වගේම ජීවිතයේ ප්‍රශ්න ගැටලු මැද දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අයගේ සැබෑ අද්දැකීමුත් අපිට එතනදී අහන්න ලැබෙනවා. ඒවායින් අපිට ලැබෙන්නේ ලොකු දිරිගැන්වීමක්. තුන්දින සමුළුවේදී නාට්‍යයකුත් පෙන්නනවා. බයිබලේ තියෙන සිද්ධීන් සැබෑ ඒවා කියලා අපිට මතක් කරලා දෙන ඒ නාට්‍යවලින් අපේ ජීවිතයට ගන්න ගොඩක් පාඩම් තියෙනවා. ඒ වගේම දෙවිට සේවය කරන්න කැප වෙලා ඉන්න අය බව්තීස්ම වෙන එකත් සමුළුවල තියෙන විශේෂ අංගයක්.

  • සමුළුවලින් අපි ලොකු සතුටක් ලබන්නේ ඇයි?

  • සමුළුවලට යන එකෙන් ඔයාට තියෙන ප්‍රයෝජන මොනවාද?