Skip to content

පටුනට යන්න

පරිගණක ක්‍රීඩාවල නියැලීම අනතුරුදායකද?

පරිගණක ක්‍රීඩාවල නියැලීම අනතුරුදායකද?

යෞවන අය අසති . . .

පරිගණක ක්‍රීඩාවල නියැලීම අනතුරුදායකද?

පරිගණක ක්‍රීඩා කියන්නේ විනෝදය ගෙන දෙන දෙයක් විතරක් නොවෙයි. ඒවායින් ඔබේ හැකියාවන් ප්‍රගුණ කරගත හැකි වෙනවා වගේම තනිකම දුරු කරගන්නත් පුළුවන්. නමුත් ඒවායින් ඊටත් වඩා වැඩි යමක් සිදු වෙනවා. මෙවැනි ක්‍රීඩාවල යෙදෙන විට යම් දේවල්වලට ඉක්මනින් ප්‍රතිචාරය දැක්වීමේ හැකියාව දියුණු වෙනවා. එමෙන්ම පරිගණක ක්‍රීඩා මගින් යම් දෙයකට අවදානය දීමේ හැකියාවත් දියුණු කරන බව අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙනවා. සමහර ක්‍රීඩා මගින් ගණිතය මෙන්ම කියවීමේ හැකියාව පවා ප්‍රගුණ වෙනවා. අද පාසැල් ළමුන්ගේ කතා බහට ලක් වී තිබෙන මූලිකම විෂය වන්නේ අලුත්ම වර්ගයේ ක්‍රීඩායි. ඔබ පරිගණක ක්‍රීඩාවක යෙදුණොත් ඒවා ගැන යහළුවන් අතර ඇති වන සංවාදවලට ඔබටත් හවුල් වෙන්න පුළුවන් වෙයි.

පරිගණක ක්‍රීඩාවල යෙදෙන්න ඔබට ඉඩ දෙනවාද නැද්ද කියා තීරණය කරන්න අවශ්‍ය ඔබේ දෙමාපියනුයි. (කොලොස්සි 3:20) ඔවුන් ඒ සඳහා ඔබට අවසර දෙනවා නම් විනෝදාත්මක මෙන්ම හානිකර නොවන වර්ගයේ ක්‍රීඩාවක් තෝරාගැනීම ඔබේ වගකීමයි. මේ සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

හානිකර පැත්තක්

දහසය-හැවිරිදි බ්‍රයන් නම් යෞවනයා මෙසේ පවසනවා. “පරිගණක ක්‍රීඩා කියන්නේ විනෝද වෙන්න තියෙන නියම ක්‍රමයක්.” නමුත් සෑම ක්‍රීඩාවක්ම හානිකරයි කියා කියන්න බැහැ. බ්‍රයන් තවදුරටත් මෙසේ පවසනවා. “මේවාවල කරන සමහර ක්‍රියා සැබෑ ජීවිතයේදී කළොත් අනිවාර්යයෙන්ම විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිදු වෙනවා.” මෙවැනි ක්‍රීඩා මඟ පෙන්වන්නේ මොන වගේ ක්‍රියාවලටද?

බොහෝ ක්‍රීඩාවලින් අනුබල දෙන්නේ සැහැසියාව, වේශ්‍යාකම වැනි දෙවි හෙළාදකින ක්‍රියාවලටයි. (ගීතාවලිය 11:5; ගලාති 5:19-21; කොලොස්සි 3:8) එමෙන්ම භූතයන් හා බැඳි ක්‍රීඩාත් මේ අතරට එක් වෙනවා. යෞවනයන් අතර ප්‍රචලිත ක්‍රීඩාවක ලක්ෂණ ගැන 18-හැවිරිදි ඒඩ්‍රියන් මෙසේ පවසනවා. “මේවාට කල්ලි අතර ගැටුම්, මත්ද්‍රව්‍ය භාවිතය, ලිංගික ක්‍රියා, අසභ්‍ය භාෂාව, දරුණු සැහැසික ක්‍රියා සහ ලේ වැගිරීම් ඇතුළත් වෙනවා.” වැල නොකැඩී එන අලුත් ක්‍රීඩාවල දැක්වෙන සැහැසියාව ඊට කලින් තිබුණු ක්‍රීඩාවලට වඩා දහස් වාරයකින් වැඩියි. දහනව-හැවිරිදි ජේම්ස් පවසන ආකාරයට මේ වගේ ක්‍රීඩා අන්තර්ජාලය හරහා තවත් කෙනෙක් සමඟ සම්බන්ධ වී කරන්න පුළුවන්. ඒක තමයි දැන් අලුත්ම ක්‍රමය වෙලා තිබෙන්නේ. “ගෙදර තියෙන පරිගණකයෙන් ලෝකයේ ඕනෑම තැනක ඉන්න කෙනෙක් එක්ක තරඟ වදින්න මේ තුළින් හැකි වෙනවා” කියා ඔහු පවසනවා.

යම් චරිතයකට පණ පොවමින් කරන ක්‍රීඩා (RPG) දැන් එන්න එන්නම ප්‍රසිද්ධයි. මේ වගේ ක්‍රීඩාවල මිනිසුන්, සතුන් හෝ එසේත් නැත්නම් මිනිසුන් සහ සතුන් යන දෙකොටසගේම හැඩහුරුකම් සහිත අසාමාන්‍ය චරිතත් නිර්මාණය කරගන්න පුළුවන්. එවැනි සුරංගනා ලෝකවල චරිත දහස් ගණනක් සැරිසරනවා. සැබෑ ලෝකයේ දක්නට තිබෙන කඩ සාප්පු, මෝටර් රථ, නිවෙස්, සමාජශාලා, ගණිකා මඩම් වැනි මේ හැම දෙයක්ම ඒවායේ දක්නට තිබෙනවා. මෙම ක්‍රීඩාවේදී එම ක්‍රීඩාවේම යෙදෙන වෙනත් අය සමඟ සම්බන්ධ වෙන්නත් කෙටි පණිවුඩ හුවමාරු කරගන්නත් හැකියාව තිබෙනවා.

මෙවැනි සිහින ලෝකවල සිදු වන්නේ මොනවාද? එක් ලේඛකයෙක් මෙසේ පවසනවා. “සාමාන්‍ය ජීවිතයේදී තමන් කවදාවත් කරන්නේ නැති දේවල් මේ ක්‍රීඩාවේදී කරනවා. ඒ වගේම මේවායේ දුරාචාරයත් බහුලව දකින්න පුළුවන්.” එක මොහොතකින් මෙම ක්‍රීඩාවේ යෙදෙන අනිකුත් සාමාජිකයන්වත් සම්බන්ධ කරගෙන දුරාචාර ක්‍රියාවල යෙදෙන්නත්, කෙටි පණිවුඩ හුවමාරු කරගන්නත් හැකි වෙනවා. ඊට අමතරව මෙවැනි මනඃකල්පිත ලෝකවල “දරුණු අපරාධ, පාතාල ලෝක සාමාජිකයන්, ගණිකා තැරැව්කරුවන්, කුලියට මිනී මරන්නන්, හොර නෝට්ටු අච්චු ගසන්නන් සිටිනවා” කියා එක් සඟරාවක සඳහන් වෙනවා. (New Scientist) තවත් සඟරාවක මෙසේ සඳහන් වෙනවා. “මේවායින් සිදු කරන සමහර ක්‍රියා සැබෑ ලෝකයේ ගණන් ගැනෙන්නේ නීති විරෝධී ක්‍රියා ලෙසයි. එවැනි ක්‍රියා ගැන විවේචකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒවාට ගණිකා මඩම්වල සිදු කරන අශික්ෂිත ක්‍රියා, ළමා අපචාර වැනි දේවල්ද ඇතුළත් වෙනවා.”

තේරීම් ගැන පරෙස්සම් විය යුත්තේ ඇයි?

සැහැසියාව හෝ දුරාචාරය ඇතුළත් ක්‍රීඩාවල යෙදෙන අය සමහරවිට මෙසේ පවසන්න පුළුවන්. “මේවායින් කිසිම හානියක් සිදු වන්නේ නැහැ, ඇත්තටම නෙවෙයිනේ කරන්නේ, ඒක සෙල්ලමක් විතරයිනේ.” නමුත් එවැනි අඥාන තර්කවලට කිසිසේත් රැවටෙන්න එපා!

බයිබලයේ මෙසේ පවසනවා. “දරුවෙකු තම නිර්මලකම හා ප්‍රතිපත්තිගරුකභාවය ඔප්පු කරන්නේ තමාගේ ක්‍රියාවලිනි.” (හිතෝපදේශ 20:11, නව ලොව පරිවර්තනය, NW) ඔබ මෙවැනි නුසුදුසු ක්‍රීඩාවල යෙදෙනවා නම් ඔබ නිර්මලකම හා ප්‍රතිපත්තිගරුකභාව පවත්වනවා කියා කියන්න පුළුවන්ද? අධ්‍යයනවලින් පෙනී ගොස් තිබෙන්නේ සැහැසික ක්‍රියා ඇතුළත් ක්‍රීඩා නරඹන අය තුළ සැහැසික ක්‍රියාවල යෙදීමට තිබෙන නැඹුරුවාව වැඩි බවයි. එක් සඟරාවක පවසන්නේ “අන්තර් ජාලය හරහා සිදු කරන ක්‍රීඩාවලට සහභාගි වීමෙන් රූපවාහිනිය නරඹනවාට වඩා වැඩි බලපෑමක් කරනවා” කියායි.—එම සඟරාව New Scientist.

සැහැසියාව හා දුරාචාරය ඇතුළත් ක්‍රීඩා තෝරාගැනීම හරියට හානිකර කිරණවලට නිරාවරණය වෙනවා හා සමානයි. ඉන් සිදු වන හානිය එකවිටම දැනෙන්නේ නැහැ. නමුත් කල් ගතවන විට ආමාශයේ තිබෙන ආරක්ෂිත පටලයට හානි කරන්න මෙවැනි කිරණවලට පුළුවන්. මේ හේතුවෙන් බැක්ටීරියා රුධිර මාර්ගයට ඇතුල් වීමෙන් රෝගවලට ගොදුරු වෙනවා. ඒ හා සමානව සැහැසියාව හා ලිංගික දර්ශන ඇතුළත් ක්‍රීඩාවලට නිරාවරණය වීමෙන් ඔබ “සදාචාරමය හැඟීමක් නැති” තත්වයකට පත් වෙන්න පුළුවන්. එනම් හොඳ නරක පිළිබඳ කිසිම හැඟීමක් දැනීමක් නැති තත්වයකට පත් වෙන්න පුළුවන්. එය ඔබේ සිතුවිලි හා ක්‍රියාවලට බොහෝ සෙයින් හානි කරයි.—එෆීස 4:19; ගලාති 6:7, 8.

මම තෝරගත යුත්තේ කුමන ක්‍රීඩාද?

පරිගණක ක්‍රීඩාවල යෙදෙන්න ඔබේ දෙමව්පියන් ඔබට අවසර දෙනවා කියා සිතන්න. එවිට ඔබ තෝරාගත යුත්තේ කුමන ක්‍රීඩාවද කියාත් ඒ සඳහා කොතරම් කාලයක් වැය කරනවාද කියාත් ඔබ තීරණය කරන්නේ කෙසේද? ඒ සඳහා පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්න.

මම තෝරාගන්නා ක්‍රීඩාව ගැන දෙවි සතුටු වෙයිද? ඔබ තෝරාගන්නා ක්‍රීඩාව මගින් දෙවිට ඔබ ගැන කෙසේ හැඟෙයිද! බයිබලයේ මෙසේ පවසනවා. “යෙහෝවා දෙවි ධර්මිෂ්ඨයාව මෙන්ම දුෂ්ටයාවද සෝදිසි කර බලන්නේය. සැහැසියාවට කැමැත්තක් දක්වන අයට ඔහු ද්වේෂ කරයි.” (ගීතාවලිය 11:5NW) එමෙන්ම භූතයන් හා බැඳි ක්‍රියාවල යෙදෙන අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “මේ දේ කරන කවරෙක් නුමුත් යෙහෝවාට පිළිකුලක්ය.” (ද්විතීය කතාව 18:10-12) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගන්න ඕනෑ නම් පහත සඳහන් අවවාදය සැලකිල්ලට ගැනීම වටිනවා. “යෙහෝවා දෙවිට ආදරයක් ඇත්තෙනි, නරක දේට ද්වේෂ කරන්න.”—ගීතාවලිය 97:10NW.

මේවා මගේ සිතුවිලිවලට බලපාන්නේ කෙසේද? මෙම ක්‍රීඩාවල යෙදීම “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” මට පහසු කරවයිද? (1 කොරින්ති 6:18) ලිංගික හැඟීම් අවුස්සන දර්ශන හා කාත බහ නිසා ධර්මිෂ්ඨ, නිර්මල මෙන්ම යහපත් සිතුවිලි ඇතිව සිටීමට ඔබට නොහැකි වෙනවා. (ෆිලිප්පි 4:8) වයස අවුරුදු 22ක් වූ ඒමි මෙසේ පවසනවා. “බොහෝ ක්‍රීඩා මගින් සැහැසියාව, අසභ්‍ය භාෂාව, දුරාචාරය වැනි ක්‍රියාවන් සාමාන්‍ය දේවල් බවට හැඟෙන්න සලස්වනවා. ඒවා ජීවිතේ අනික් හැම දෙයකටම බලපානවා. මේ නිසා ඔබ තෝරාගන්නා ක්‍රීඩාව ගැන හුඟක් පරෙස්සම් වෙන්න ඕනේ.”

මම මේ සඳහා කොපමණ කාලයක් වැය කරනවාද? දහඅට-හැවිරිදි දෙබෝරා මෙසේ පවසනවා. “හැම පරිගණක ක්‍රීඩාවක්ම නරකයි කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණත් ඒවා කරන්න හුඟක් කාලය වැය වෙනවා. බොහෝදුරට සිදු වෙන්නේ ඒවාට ඇබ්බැහි වෙන එකයි.” හානිකර නොවන ක්‍රීඩාවලට පවා හුඟක් කාලය වැය වන බව ඇත්තයි. මේ නිසා ඔබ පරිගණක ක්‍රීඩාවලට යොදවන කාලය හා වෙනත් වැදගත් ක්‍රියාකාරකම්වලට යොදවන කාලය අතර සැසඳීමක් කිරීම ඥානවන්තයි කියා ඔබට හැඟෙන්නේ නැද්ද? එසේ කිරීමෙන් වඩා වැදගත් දේවලට මූලික තැන දෙන්න ඔබට හැකි වේවි.—එෆීස 5:15, 16.

ඔබේ මුළු කාලයම පාඩම් කිරීමට හා වෙනත් වැඩවලට යොදන්න කියා බයිබලයේ පවසන්නේ නැහැ. එහි එක් වගන්තියක පවසන ආකාරයට කෙනෙකුට ‘සිනාසෙන්න කාලයක්ද නටන්න කාලයක්ද’ තිබෙනවා. (දේශනාකාරයා 3:4) මෙහි “නටන්න කාලයක්” තිබෙනවා කීමෙන් අදහස් කරන්නේ සෙල්ලම් කිරීම විතරක් නොවෙයි. නමුත් ශරීරය වෙහෙසා කරන වෙනත් ක්‍රියාකාරකම්ද එයට ඇතුළත් වෙනවා. නිතරම පරිගණක ක්‍රීඩාවල යෙදෙනවාට වඩා ශරීරය වෙහෙසා කරන වෙනත් ක්‍රීඩාවක නිරත වීමට කාලය වැය නොකරන්නේ ඇයි?

ඥානවන්තව තෝරාගන්න

පරිගණක ක්‍රීඩාවලට ඔබ දක්ෂ නම් එය කිරීමට ඔබ වැඩි කැමැත්තක් දක්වන බව ඇත්තයි. ඒ නිසා ක්‍රීඩාවක් තෝරාගැනීමේදී ඔබ ඥානවන්ත විය යුතුයි. මේ ගැන සිතා බලන්න. ‘ඔබ පාසැලේදී වැඩියෙන්ම දක්ෂ මොන විෂයටද? ඔබ වැඩියෙන්ම කැමති විෂයත් එයම නොවෙයිද?’ ඇත්තටම ඔබ යම් විෂයකට දක්ෂ නම් එම විෂය ඉගෙනගන්න ඔබ වැඩි කැමැත්තක් දක්වනවා. මෙය පරිගණක ක්‍රීඩාවලටත් අදාළයි. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මම වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොන ක්‍රීඩාවෙන්ද? මෙම ක්‍රීඩාවෙන් මම මොන වගේ දෙයක්ද මම ඉගෙනගන්නේ?’

ක්‍රීඩාවක් තෝරාගැනීමට පෙර මෙම යෝජනාව අත්හදා බලන්න. ඔබ යෙදෙන්න කැමති පරිගණක ක්‍රීඩා මොනවාද කියා සටහන් කරගන්න. ඉන්පසු ඒ එක් එක් ක්‍රීඩාවෙන් ඔබව යොමු කරන්නේ මොන වගේ දෙයකටද, ඒ සඳහා භාවිත වන ක්‍රම මොනවාද කියා සටහන් කරගන්න. දැන් එම සටහන මෙම ලිපියේ සඳහන් බයිබල් ප්‍රමිති සමඟ සසඳා බලන්න. ඉන්පසු එම ක්‍රීඩාව සුදුසුද නැද්ද යන්න කියා තීරණය කරන්න.

ඔබේ යහළුවන් කරන නිසාම සමහර ක්‍රීඩා තෝරාගන්නවා වෙනුවට ඔබට සුදුසු දේ කුමක්ද කියා ඥානවන්තව ඔබම තීරණය කරන්න. “ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම තහවුරු කරගන්න” යන බයිබලයේ සඳහන් ප්‍රමිතිය නිතරම මතක තබාගන්න.—එෆීස 5:10.

සිතා බලන්න

▪ සැහැසියාව හෝ දුරාචාරය ඇතුළත් ක්‍රීඩාවක තමන් හා හවුල් වෙන්න කියා යහළුවෙක් ඔබට ආරාධනා කළොත් ඔබ ඔහුට පවසන්නේ කුමක්ද?

▪ පරිගණක ක්‍රීඩාවල යෙදීමෙන් වෙනත් වැදගත් ක්‍රියාකාරකම්වලට කිසිම බලපෑමක් සිදු නොවන බවට ඔබට සහතික විය හැක්කේ කෙසේද?

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සැහැසියාව හා දුරාචාරය ඇතුළත් ක්‍රීඩා තෝරාගැනීම හරියට හානිකර කිරණවලට නිරාවරණය වෙනවා හා සමානයි, ඉන් සිදු වන හානිය එකවිටම දැනෙන්නේ නැහැ. නමුත් එය හානිකර බව නම් ස්ථිරයි

[18වන පිටුවේ කොටුව]

ඔබ මෙවැනි ක්‍රීඩාවල යෙදෙන්නේ . . .

□ ඉඳ හිට

□ සතියකට වතාවක්

□ දිනපතා

එක් ක්‍රීඩාවක් සඳහා වැය කරන කාලය . . .

□ විනාඩි කිහිපයක්

□ පැයක් හෝ ඊට ටිකක් අඩුවෙන්

□ පැය දෙකකට වඩා වැඩියෙන්

ඔබ වඩාත්ම කැමති ක්‍රීඩා . . .

□ මෝටර් රථ ධාවන තරඟ

□ ක්‍රීඩා ඇතුළත් තරඟ

□ තිරයේ දිස් නොවී වෙඩි තැබීම (FPS)

□ වෙනත්

ඔබට නුසුදුසුයි කියා සිතෙන පරිගණක ක්‍රීඩාවක් සඳහන් කරන්න.

.....

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දෙමාපියෙනි මේ ඔබටයි!

ඔබේ යෞවන කාලයේ තිබුණු පරිගණක ක්‍රීඩාවලට වඩා දැන් තිබෙන ක්‍රීඩා මොන තරම් වෙනස්ද කියා මෙම ලිපිය කියවන විට ඔබට හැඟෙන්න ඇති. මවක් පියෙක් හැටියට ඔබේ දරුවාට නුසුදුසු ක්‍රීඩාවල යෙදීමෙන් සිදු වන හානිය හඳුනාගන්නත් ඒවායින් වැළකී සිටින්නත් ඔවුන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන අයව මුළුමනින්ම හෙළාදකින්න හෝ ඒවා සම්පූර්ණයෙන්ම කාලය කා දමන දෙයක් කියා නිගමනය කිරීමට ඉක්මන් වෙන්න එපා. එසේ කිරීමෙන් ඔබේ දරුවාට යහපතක් සිදු වන්නේ නැහැ. සෑම ක්‍රීඩාවක්ම වැරදි නැති බව මතක තියාගන්න. කෙසේනමුත් ඒවාට කෙනෙකු ඇබ්බැහි වෙන්න පුළුවන්. එමෙන්ම කාලය හුඟක් වැය වන බවත් ඇත්තයි. ඒ නිසා ඔබේ දරුවා වඩාත්ම ප්‍රිය කරන්නේ මොන වගේ ක්‍රීඩාවලටද කියාත් ඒ සඳහා දරුවා කොතරම් කාලයක් වැය කරනවාද කියාත් සොයා බලන්න. ඒ සඳහා ඔබට මෙවැනි ප්‍රශ්න දරුවාගෙන් අසන්න පුළුවන්.

පන්තියේ ළමයි වඩාත්ම කැමති මොන ක්‍රීඩාවටද?

▪ ඒ ක්‍රීඩාව මොන වගේද?

▪ ළමයි ඒ ක්‍රීඩාවට එතරම්ම කැමති ඇයි?

ඔබ හිතුවටත් වඩා පරිගණක ක්‍රීඩා ගැන ඔබේ දරුවා දන්න බව එවිට ඔබට අවබෝධ වෙයි. සමහරවිට ඔබ නුසුදුසුයි කියා සිතන ක්‍රීඩාවල පවා දරුවා නියැලී ඇති. එය එසේනම් කලබල වෙන්න එපා. දරුවාට සුදුසු දේ නුසුදුසු දේ අතර වෙනස වටහාගන්න උපකාර කිරීමට මෙය හොඳ අවස්ථාවක් කරගන්න.—හෙබ්‍රෙව් 5:14.

නුසුදුසු ක්‍රීඩාවලට තමන් ආකර්ෂණය වන්නේ ඇයි කියා දරුවාටම නිශ්චය කරගැනීමට ප්‍රශ්න ඇසීම උපකාරවත් වෙනවා. උදාහරණයකට මෙවැනි ප්‍රශ්නයක් ඔබට අසන්න පුළුවන්.

මේ නුසුදුසු ක්‍රීඩාව කරන්නේ නැති නිසා යාළුවන් අතර ඔයා කොන්වෙලා කියලා හැඟෙනවාද?

මෙම ලිපියේ මුල් පිටුවේ සඳහන් කළ පරිදි සමහර යෞවනයන් යම් ක්‍රීඩාවල නියැලෙන්නේ යහළුවන් ඒවා ගැන කතා කරන විට ඔවුන්ටත් හවුල් වෙන්න පුළුවන් වන නිසයි. ඔබේ දරුවාටත් හැඟෙන්නේ එයාකාරයට නම් තත්වය කුමක්ද? එවිට ඔබ මෙම කාරණය හැසිරවිය යුත්තේ සැහැසියාව හෝ දුරාචාරය ඇතුළත් ක්‍රීඩාවලට දරුවෙක් ආශාවක් දක්වන විට කාරණා හැසුරවන ආකාරයට වඩා වෙනස් ආකාරයකටයි.—කොලොස්සි 4:6.

නමුත් ඔබේ දරුවා අනතුරුදායක ක්‍රීඩාවල නියැලෙනවා නම් කුමක් කිව හැකිද? සමහර යෞවනයන් කියන්නේ පරිගණකයෙන් සිදු කරන ලේ වැගිරීම් ඇතුළත් ක්‍රීඩා නැරඹීමෙන් ඔවුන්ට කිසිම බලපෑමක් සිදු වන්නේ නැහැ කියායි. ඔවුන් මෙසේ තර්ක කරනවා. ‘මම පරිගණකයෙන් එවැනි දේ කළාට ඇත්තටම ඒ වගේ දෙයක් කරන්නේ නැහැනේ.’ ඔබේ දරුවාටත් හැඟෙන්නේ එසේනම් 20වන පිටුවේ දක්වා ඇති ගීතාවලිය 11:5හි සඳහන් වදන්වලට ඔහුගේ අවධානය යොමු කරන්න. එහි සැහැසික ක්‍රියාවල යෙදෙන අය පමණක් නොව සැහැසියාවට කැමැත්තක් දක්වන අයවත් දෙවි අනුමත නොකරන බව පවසනවා. දුරාචාරය හෝ දෙවි හෙළාදකින එවැනි ඕනෑම ක්‍රියාවකට මෙම ප්‍රමිතියම අදාළ වෙනවා.—ගීතාවලිය 97:10.

ඇතැම් උපදේශකයන් මෙසේ යෝජනා කරනවා:

කාටවත් නොපෙනෙන ස්ථානයක පරිගණක ක්‍රීඩාවල යෙදෙන්න ඉඩ දෙන්න එපා.

▪ සාධාරණ නීති පනවන්න. (උදා: පාසැලේ දෙන ගෙදර වැඩ හෝ වෙනත් වැදගත් වැඩක් අවසන් වනතුරු ක්‍රීඩා කරන්න එපා)

▪ ශරීරය වෙහෙසා කරන වෙනත් ක්‍රියාකාරකම්වල යෙදීමේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න.

▪ දරුවන් යෙදෙන ක්‍රීඩා ගැන අවධානයෙන් ඉන්න. ඔවුන් ක්‍රීඩා කරන විට ඔබටත් හවුල් වෙන්න පුළුවන්.

මේ කාරණය ගැන දරුවන්ට මඟ පෙන්වන්න නම් ඔබත් හොඳ ආදර්ශයක් තබන මවක් සහ පියෙක් වීම වැදගත්. ‘මම නරඹන්නේ මොන වගේ රූපවාහිනී වැඩසටහන්ද’ කියා සිතා බලන්න. ඔබ මේ සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක් තබනවාද නැද්ද කියා දරුවා දන්නවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව මතක තබාගන්න!