Skip to content

පටුනට යන්න

දෙවි සහ යේසුස් කාන්තාවන්ට සලකන්නේ කෙසේද?

දෙවි සහ යේසුස් කාන්තාවන්ට සලකන්නේ කෙසේද?

දෙවි සහ යේසුස් කාන්තාවන්ට සලකන්නේ කෙසේද?

යෙහෝවා දෙවි කාන්තාවන්ට සලකන්නේ කෙසේද කියා අප දැනගන්නේ කෙසේද? එක් ක්‍රමයක් නම් “අදෘශ්‍යමාන දෙවිගේ ස්වරූපය” වන යේසුස් ක්‍රිස්තුස් කාන්තාවන්ට සැලකූ ආකාරය ගැන සොයා බැලීමයි. (කොලොස්සි 1:15) යේසුස් ඔහුගේ කාලයේ විසූ කාන්තාවන්ට සැලකූ ආකාරයෙන් පෙනී යන්නේ දෙවි සහ යේසුස් අද සමාජයේ කාන්තාවන්ට කරන හිංසා පීඩා කිසිසේත් අනුමත නොකරන බවයි.

උදාහරණයක් ලෙස යේසුස් ළිඳක් අසලදී කාන්තාවකට කතා කළ අවස්ථාව ගැන බයිබලයේ යොහන් පොතේ සඳහන් වාර්තාව සලකා බලන්න. “සමාරියේ ස්ත්‍රියක් වතුර අදින්න පැමිණියාය. යේසුස් ඇය අමතා, ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ යයි කීවේය.” යුදෙව්වන් සමරිතානු ජාතිකයන් සමඟ කිසිම ආශ්‍රයක් පැවැත්තුවේ නැති වූවද යේසුස් එම සමරිතානු කාන්තාව සමඟ ප්‍රසිද්ධියේ කතා කළා. එක් බයිබල් විශ්වකෝෂයක සඳහන් වන්නේ යුදෙව්වෙක් “කාන්තාවක් සමඟ ප්‍රසිද්ධියේ කතා කිරීම නින්දිත ක්‍රියාවක්” ලෙසයි. (The International Standard Bible Encyclopedia) කෙසේවෙතත් යේසුස් කාන්තාවන්ට ගෞරව කළා. ජාති භේදයකින් හා ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔහු සෑම කෙනෙකුටම එක හා සමානව සැලකුවා. තවද යේසුස් තමා මෙසියස් හෙවත් ගැලවුම්කරු බව මුලින්ම සඳහන් කළේ එම සමරිතානු කාන්තාවටයි.—යොහන් 4:7-9, 25, 26.

තවත් අවස්ථාවකදී අවුරුදු 12ක් පුරා ලේ ගැලීමකින් මහත් පීඩාවක් මෙන්ම අපහසුතාවයෙන් පෙළුණු කාන්තාවක් යේසුස් සිටි තැනට පැමිණියා. ඇය යේසුස්ගේ සළුව ඇල්ලූ විගස සුවය ලැබුවා. “යේසුස් හැරී, ඇයව දැක, ‘දියණියෙනි, ධෛර්යවත් වන්න. ඔබේ ඇදහිල්ල ඔබව සුව කළේය’” කියා පැවසුවා. (මතෙව් 9:22) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෝසෙස් මාර්ගයෙන් දුන් නීතියට අනුව එවැනි රෝගයක් තිබෙන කෙනෙක් සෙනඟ සිටින තැනකට පැමිණීම තහනම්. ඒ විතරක් නෙවෙයි අන් අයව ස්පර්ශ කිරීමද වරදක් වුණා. ඒත් යේසුස් ඇයට බැණ වැදුණේ නැහැ. ඒ වෙනුවට ඔහු ඇයට කරුණාව පෙන්වමින් ඇයව සැනසුවා. ‘දියණිය’ කියා ආමන්ත්‍රණය කිරීම නිසා ඇයට මොන තරම් සහනයක් ලැබෙන්න ඇද්ද! ඇයව සුව කිරීම ගැන යේසුස් සතුටු වුණා.

යේසුස් නැවත නැඟිටුණු පසු මුලින්ම පෙනී සිටියේ මරියා මග්දලේනා සහ බයිබලයේ සඳහන් කර ඇති ‘අනික් මරියාටයි.’ යේසුස්ට අවශ්‍ය නම් මුලින්ම පේතෘස්ට, යොහන්ට හෝ වෙනත් ගෝලයෙකුට පෙනී සිටින්න හැකිකම තිබුණා. ඒත් තමන් මුලින්ම කාන්තාවන්ට පෙනී සිටීමෙන් යේසුස් ඔවුන්ව ගෞරවයට පත් කළා. මේ කාන්තාවන් දුටු මෙම පුදුමාකාර සිදුවීම වෙනත් ගෝලයන්ට දන්වන්න කියා දේවදූතයා ඔවුන්ට පැවසුවා. යේසුස් මෙම කාන්තාවන්ට පැවසුවේ “ගොස් මාගේ සහෝදරයන්ට දන්වන්න” කියායි. (මතෙව් 28:1, 5-10) එදා සමාජයේ පැවතුණු සංස්කෘතියට අනුව කාන්තාවන්ගේ සාක්ෂි පිළිගත්තේ නැහැ. ඒත් යේසුස් මේ තත්වය නොසලකා ඔවුන්ව සාක්ෂි දැරීමට යොදාගත්තා.

මෙයින් පෙනී යන්නේ එදා තිබුණු සමාජ තත්වය නොතකා යේසුස් ඔවුන්ව අගය කළ බවත් ඔවුන්ට ගෞරවය කළ බවත් නොවෙයිද! යේසුස්ගේ ඉගැන්වීම්වලට හා ඔහුගේ ආකල්පවලට අනුව කාන්තාවන්ට හිංසා පීඩා කිරීම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. තම පියාව එයාකාරයෙන්ම නියෝජනය කළ යේසුස් කාන්තාවන්ට සැලකූ ආකාරයෙන් යෙහෝවා දෙවි ඔවුන්ව සලකන ආකාරය ගැන තේරුම්ගත හැකි වෙනවා.

දෙවිගේ අනුග්‍රහය ලත් කාන්තාවෝ

ඉපැරණි කාලයේ කාන්තාවන්ට සැලකූ ආකාරය ගැන එක් බයිබල් විශ්වකෝෂයක පෙන්වා තිබුණේ මෙසේයි. “අද යුරෝපීය කාන්තාවන් අද්දකින ආකාරයේ නිදහසක් ඉපැරණි මධ්‍යධරණී ප්‍රදේශයේ කාන්තාවන්ට තිබුණේ නැහැ. එදා සමාජයේ කාන්තාවන් පුරුෂයන්ට යටත්ව සිටිය යුතු වුණා. එය හරියට රටේ ජනතාවට වහලුන් යටත් වී සිටිනවා වගෙයි. එසේ නැත්නම් කුඩා දරුවන් වැඩිහිටියන්ට යටත්ව සිටිනවා වගෙයි. කෙසේනමුත් පිරිමි දරුවන්ව ගැහැනු දරුවන්ට වඩා උසස් කොට සැලකුවා. සමහර අවස්ථාවලදී කුඩා කිරිකැටි ගැහැනු දරුවන්ව දරුණු දේශගුණික තත්වයන් යටතේ මැරෙන්න ඉඩහැර තිබුණා.”

බයිබලය ලියනු ලැබුවේ මෙවැනි සමාජ ක්‍රමයක් යටතේයි. කෙසේවෙතත් දෙවිගේ නීතියේ කාන්තාවන්ව උසස් කොට සැලකීමේ අවශ්‍යතාව පෙන්වා තිබෙනවා.

යෙහෝවා දෙවි කාන්තාවන්ට අනුග්‍රහය දැක් වූ බව පැහැදිලි වන්නේ ඔහු බොහෝ අවස්ථාවලදී ඔවුන්ට කළ උපකාර මගිනුයි. ආබ්‍රහම්ගේ රුවැති බිරිඳ වන සාරාව දෙවරක් අනතුරුවලින් ගලවාගත්තා. (උත්පත්ති 12:14, 20; 20:1-7) යාකොබ්ගේ ආදරයට එතරම් පාත්‍ර නොවූ ඔහුගේ භාර්යාවක් වන ලෙයාට “දරු සම්පත්” ලබාගැනීමට ආශීර්වාද කළ නිසා ඇයට පුතෙක් ලැබුණා. (උත්පත්ති 29:31, 32, නව ලොව පරිවර්තනය, NW) දෙවි කෙරෙහි ගරුබියක් දැක්වූ වින්නඹු කාන්තාවන් දෙදෙනෙක් ඊජිප්තුවේ හෙබ්‍රෙව් පිරිමි දරුවන් ඝාතනය නොකර ආරක්ෂා කිරීම නිසා යෙහෝවා දෙවි ඔවුන්ට “දරු සම්පත්” ලබා දුන්නා. (නික්මයාම 1:17, 20, 21NW) ඒ වගේම ඔහු හන්නා නම් කාන්තාවක් කළ දැඩි ඉල්ලීමට සවන් යොමු කළා. (1 සාමුවෙල් 1:10, 20) තවත් අවස්ථාවකදී අනාගතවක්තෘ කෙනෙකුගේ භාර්යාවකට ණය ලබා දුන් තැනැත්තෙක් ඒ වෙනුවෙන් ඇගේ දරුවන්ව වහල්භාවයට ගෙන යෑමට සූදානම් වුණා. දෙවි ඇය අසරණ තත්වයකට පත්වීමට ඉඩහැරියේ නැහැ. දෙවි එලිෂා මාර්ගයෙන් ඇගේ නිවසේ තිබුණු තෙල් ප්‍රමාණය වැඩි වෙන්න සැලැස්සුවා. මේ නිසා ඇයට තෙල් විකිණීමෙන් මුදල් ලබාගෙන ඇගේ ණය පියවීමට හැකි වුණා. ඒ වගේම ඇගේ ගෙවැසියන්ටත් අවශ්‍ය තරම් තෙල් ඉතිරි වුණා. ඇගේ දරුවන්ව ඇයට ආරක්ෂා කරගැනීමට හැකි වුණා පමණක් නොව ඇගේ ගෞරවයත් රැකුණා.—නික්මයාම 22:22, 23; 2 රාජාවලිය 4:1-7.

කාන්තාවන්ට හිංසා පීඩා කිරීම වැරදි බව දෙවිගේ අනාගතවක්තෘවරුන් දිගින් දිගටම පැවසුවා. යෙරෙමියා නම් අනාගතවක්තෘවරයා යෙහෝවා දෙවිගේ පණිවිඩයක් ඊශ්‍රායෙල් ජාතියට දන්වමින් මෙසේ පැවසුවා. “යුක්තිය ඉටු කරන්න. ධර්මිෂ්ඨව ක්‍රියා කරන්න. වංචාකරුවන්ගේ අතින් පීඩාවට පත් වන අයව මුදාගන්න. ඔබ අතරේ ජීවත් වන විජාතිකයාටත් පියා නැති දරුවාටත් වැන්දඹුවටත් අයුක්තියක් වෙන්න ඉඩ නොදෙන්න. ඔවුන්ට කුරිරු ලෙස නොසලකන්න. මේ ස්ථානයේ අහිංසකයන්ගේ ලේ වගුරුවන්න එපා” කියායි. (යෙරෙමියා 22:2, 3NW) පසු කාලයකදී ඊශ්‍රායෙලයේ විසූ ධනවත් මෙන්ම බලවත් අය තමන්ගේ භාර්යාවන් නිවසින් පන්නා දැමූ නිසාත් තම දරුවන්ට නොසැලකූ නිසාත් ඔවුන්ව දෙවි හෙළාදැක්කා. (මීකා 2:9) යුක්තිය ඉටු කරන දෙවි එවැනි ක්‍රියා දකින අතර ඒවා නපුරු ක්‍රියා නිසා ද්වේෂ කරනවා.

“යහපත් භාර්යාවක්”

බයිබලයේ හිතෝපදේශ පොත ලියූ ලේඛකයා “යහපත් භාර්යාවක්” සතු ගුණාංග ගැන මනාව පැහැදිලි කර තිබෙනවා. මෙම සිත්ගන්නාසුලු ගුණාංග යෙහෝවා දෙවි තම වචනය වන බයිබලයේ ලියා තැබීමට ඉඩහැරීමෙන් පැහැදිලි වන්නේ ඔහු ඒවා අනුමත කරන බවයි. කාන්තාව පහත් කර සලකනවා වෙනුවට එහි ඇයව අගයෙන් ගෞරවයෙන් හා විශ්වාසයෙන් යුත් කෙනෙක් ලෙසත් සලකා තිබෙනවා.

බයිබලයේ හිතෝපදේශ 31වෙනි පරිච්ඡේදයේ කතා කර තිබෙන දක්ෂ භාර්යාව ඉතාමත් කඩිසරයි. ඇය “ඕනෑම වැඩක් සතුටින්” කරයි. ඇය වෙළඳාම් කිරීමට දක්ෂ කෙනෙක් මෙන්ම ඉඩම් මිල දී ගැනීම වැනි කාර්යයන්වල පවා නිරත වෙයි. ඇය ඉඩමක් ගැන සොයා බලා එය මිල දී ගනියි. ඇය යට ඇඳුම් පවා සාදා ඒවා විකුණයි. ඉඟටි පටි සාදා වෙළඳුන්ට දෙයි. ඇයට කඩිසරව වැඩ කිරීමට ශක්තිය තිබෙනවා. ඇය කතා කරන විට ඥානවන්තව කතා කරයි. ඒ වගේම ඈ තුළ ප්‍රේමණීය කරුණාව තිබෙන නිසා සැවොම ඇයව අගය කරයි. මෙවැනි හේතු නිසා ඇගේ ස්වාමිපුරුෂයා, දරුවන් පමණක් නොව වඩාත් වැදගත් ලෙස යෙහෝවා දෙවි ඇයව උසස් කොට සලකනවා.

අද පුරුෂයන් කාන්තාවන්ට ප්‍රේමණීය ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ට අඩන්තේට්ටම් කරනවා. ඒ වගේම ඇයට සලකන්නේ හරියට වහලියකට වගේයි. නමුත් භාර්යාවක් ස්වාමිපුරුෂයාගේ “සහකාරියක්” ලෙස ප්‍රීතියෙන් කල් ගෙවිය යුතු කෙනෙක්.—උත්පත්ති 2:18.

ඔවුන්ට ගෞරවය කරන්න

ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන ලිවීමේදී බයිබල් ලේඛක පේතෘස් ස්වාමිපුරුෂයන්ගෙන් ඉල්ලා සිටියේ යෙහෝවා දෙවිව සහ යේසුස්ව ආදර්ශයට ගන්න කියායි. ඔහු පැවසුවේ ‘ස්වාමිපුරුෂයෙනි, ස්ත්‍රියට ගෞරවය දෙන්න’ කියායි. (1 පේතෘස් 3:7) කෙනෙකුට ගෞරව කරනවා යන්නෙන් අදහස් කරන්නේ අගය කිරීම හා උසස් කොට සැලකීමයි. ඒ නිසා තම භාර්යාවට ගෞරව කරන කෙනෙක් ඇයව පහත් කොට සලකන්නේවත්, හිංසා කරන්නේවත්, හෑල්ලුවට ලක් කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔහු ප්‍රසිද්ධියේදී මෙන්ම නිවසේදීද ඇයට ආදරය කරන බවත් ඇයව අගය කරන බවත් පෙන්වයි.

භාර්යාවකට ප්‍රේම කිරීම පවුලේ ප්‍රීතිය පවත්වාගැනීමට දායක වෙනවා. කාලොස් සහ සිසිලියාගේ අද්දැකීම සලකා බලන්න. ඔවුන් විවාහ වී කලක් ගත වූවාට පසු ඔවුන් දෙදෙනා අතර නිතරම බහින්බස් වීම් ඇති වුණා. සමහර අවස්ථාවලදී ඔවුන් එකිනෙකා සමඟ කතා කිරීම පවා නතර කළා. ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගන්නේ කොහොමද කියා ඔවුන් දැනගෙන සිටියේ නැහැ. ඔහු දරුණු පුද්ගලයෙක්. ඇය ලේසියෙන් ඉඩ දෙන්නේ නැති ආඩම්බර කාන්තාවක්. ඔවුන් බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන එහි ඇති මඟ පෙන්වීම් අදාළ කරගන්නා විට තත්වය වෙනස් වුණා. ඒ ගැන සිසිලියා මෙසේ පවසනවා. “යේසුස්ගේ ඉගැන්වීම් හා ඔහු කටයුතු කළ ආකාරය අපි දෙන්නගේ ජීවිත වෙනස් කරගන්න උපකාරවත් වුණා. යේසුස්ට ස්තුතිවන්ත වෙන්න මම දැන් ඉස්සරට වඩා යටහත් පහත් කෙනෙක්. ඒ වගේම අන් අයව තේරුම්ගන්නත් මට හැකි වී තිබෙනවා. මමත් දැන් යේසුස් වගේ යෙහෝවා දෙවිගෙන් උපකාර පතා යාච්ඤා කරනවා. කාලොස් දැන් බොහෝ ඉවසන්නත් ආත්ම දමනයෙන් යුතුව කටයුතු කරන්නත් පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා දෙවි සතුටු වන ආකාරයෙන් භාර්යාවට ගෞරවය කරන්න ඔහුට හැකි වී තිබෙනවා.”

ඔවුන්ගේ විවාහ ජීවිතය සෑම අතින්ම සියයට සීයක් සාර්ථක එකක් නොවුණත් ප්‍රශ්න කරදරවලදී පවා ඔවුන්ට එකට ඉන්න හැකි වී තිබෙනවා. මෑතකදී කාලොස්ට ඔහුගේ රැකියාව අහිමි වුණා. ඔහුට පිළිකාවක් තිබුණ නිසා ශල්‍යකර්මයක්ද කරන්න සිදු වුණා. ඒත් මෙවැනි ප්‍රශ්න ඔවුන්ගේ විවාහ ජීවිතයට තර්ජනයක් වුණේ නැහැ. දැන් පෙරටත් වඩා ඔවුන්ගේ විවාහ බැම්ම ශක්තිමත්.

මුල් මිනිසා පව් කළ දා පටන් බොහෝ සංස්කෘතීන්වල කාන්තාව පහත් කර සලකන්න පුරුදු වී සිටිනවා. ඔවුන්ව ශාරීරිකව හා මානසිකව දූෂ්‍ය කරනවා. තවද ඔවුන් ලිංගික අතවරවලටද ලක් වෙනවා. නමුත් යෙහෝවා දෙවි අරමුණු කළේ ඔවුන් එවැනි ජීවිතයක් ගත කරනවා දකින්න නෙවෙයි. විවිධ සංස්කෘතීන්වල කාන්තාවන්ට කොහොම සැලකුවත් බයිබලයේ පෙන්නුම් කරන්නේ ඔවුන්ට නිසි ගෞරවය දිය යුතු බවයි. එය ඔවුන්ට දෙවිගෙන් ලැබී තිබෙන වරප්‍රසාදයක්.

[4, 5වන පිටුවේ පින්තූරය]

සමරිතානු කාන්තාව

[4, 5වන පිටුවේ පින්තූරය]

අසනීපයෙන් සිටි කාන්තාව

[4, 5වන පිටුවේ පින්තූරය]

මරියා මග්දලේනා

[6වන පිටුවේ පින්තූරය]

දෙවි සාරාව දෙවරක් ආරක්ෂා කළා

[7වන පිටුවේ පින්තූරය]

කාලොස් හා සිසිලියාගේ විවාහය තිබුණේ අනතුරේයි

[7වන පිටුවේ පින්තූරය]

අද කාලොස් සහ සිසිලියා