Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙසායා 60:1 කතා කරන “ස්ත්‍රිය” කවුද? එයා ‘නැඟිට ආලෝකය විහිදුවන්නේ’ කොහොමද?

යෙසායා 60:1 මෙහෙම කියනවා. “ස්ත්‍රිය, නැඟිට ඔබේ ආලෝකය විහිදුවන්න! මන්ද ඔබට ආලෝකය උදා වී ඇත. යෙහෝවා දෙවිගේ තේජස ඔබ වටේට බැබළෙයි.” අවට පදවලින් පේනවා “ස්ත්‍රිය” කියන්නේ සියොන්වලට, ඒ කියන්නේ යෙරුසලමට කියලා. ඒක ඒ කාලේ යූදාවල අගනුවර. a (යෙසා. 60:14; 62:1, 2) ඒකෙන් මුළු ඊශ්‍රායෙල් ජාතියම නියෝජනය වුණා. යෙසායා කියපු දේ ගැන ප්‍රශ්න දෙකක් එනවා. (1) යෙරුසලම “නැඟිට” ආලෝකය විහිදුවන්න පටන්ගත්තේ කවදාද, කොහොමද? (2) වඩා ශ්‍රේෂ්ඨ ඉටු වීමක් ඒකට තියෙනවාද?

යෙරුසලම “නැඟිට” ආලෝකය විහිදුවන්න පටන්ගත්තේ කවදාද, කොහොමද? යුදෙව්වන් බැබිලෝනියේ වහල්ලු විදිහට හිටපු අවුරුදු 70 පුරාම යෙරුසලමයි, දේවමාලිගාවයි තිබුණේ අබලන් වෙලා. හැබැයි මේද පර්සියානුවන් බැබිලෝනිය යටත් කරගත්තාම ඊශ්‍රායෙල්වරුන්ට අවස්ථාව ලැබුණා එයාලාගේ මව්බිමට ඇවිත් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න. (එස්රා 1:1-4) ක්‍රි.පූ. 537දී ගෝත්‍ර 12න් ඉතුරු වෙලා හිටපු විශ්වාසවන්ත යුදෙව්වන් නිදහස් වෙලා ආවා. (යෙසා. 60:4) එයාලා යෙහෝවාට පූජා ඔප්පු කළා, උත්සව පැවැත්තුවා, දේවමාලිගාව ආයෙත් ගොඩනැඟුවා. (එස්රා 3:1-4, 7-11; 6:16-22) ඒ විදිහට යෙහෝවාගේ තේජස යෙරුසලමේ ඒ කියන්නේ ඔහුගේ සෙනඟ පිට ආයේ බැබළුණා. ඒ නිසා අන්ධකාරයේ හිටපු, යෙහෝවාව දන්නේ නැති අවට ජාතීන්ටත් ආලෝකය දෙන්න එයාලට පුළුවන් වුණා.

නැවත පිහිටුවීම ගැන යෙසායා කියපු අනාවැකි ඒ කාලේ සම්පූර්ණයෙන්ම ඉටු වුණේ නැහැ. මොකද හුඟක් ඊශ්‍රායෙල්වරු දිගටම විශ්වාසවන්තව හිටියේ නැහැ. (නෙහෙ. 13:27; මලා. 1:6-8; 2:13, 14; මතෙ. 15:7-9) එයාලා යේසුස්වත් ප්‍රතික්ෂේප කළා. (මතෙ. 27:1, 2) ඒ නිසා ක්‍රි.ව. 70දී යෙරුසලමයි, දේවමාලිගාවයි ආයෙත් විනාශ වුණා.

එහෙම වෙනවා කියලා යෙහෝවා කලින්ම කිව්වා. (දානි. 9:24-27) ඒකෙන් පේනවා යෙසායා 60 නැවත පිහිටුවීම ගැන කියලා තිබුණ අනාවැකිය සම්පූර්ණයෙන්ම ඉටු වෙන්නේ මේ පොළොවේ තිබුණ යෙරුසලම මාර්ගයෙන් නෙවෙයි කියලා.

යෙසායා කියපු දේට ශ්‍රේෂ්ඨ ඉටු වීමක් තියෙනවාද? ඔව්. හැබැයි ඒක වෙන්නේ තවත් සංකේතවත් ස්ත්‍රියක් මාර්ගයෙන්. ඒ ස්ත්‍රිය තමයි “ඉහළ තිබෙන යෙරුසලම.” පාවුල් කිව්වා “ඇය අපගේ මව” කියලා. (ගලා. 4:26) ඒකෙන් යෙහෝවාගේ සංවිධානයේ ස්වර්ගයේ තියෙන කොටස අදහස් වෙනවා. ඒක හැදිලා තියෙන්නේ ස්වර්ගයේ ඉන්න විශ්වාසවන්ත අයගෙන්. එයාගේ දරුවෝ තමයි යේසුස් සහ අභිෂේක ලත් 1,44,000දෙනා. පාවුල්ට වගේ ඒ අයට තියෙන්නෙත් ස්වර්ගයේ ජීවත් වෙන බලාපොරොත්තුව. අභිෂේක ලත් අය තමයි “ශුද්ධ ජාතිය” සහ “දෙවිගේ ඊශ්‍රායෙලය.”—1 පේතෘ. 2:9; ගලා. 6:16.

ඉහළ තිබෙන යෙරුසලම ‘නැඟිට ආලෝකය විහිදුවන්නේ’ කොහොමද? එයා ඒක කරන්නේ මේ පොළොවේ ඉන්න අභිෂේක ලත් දරුවෝ මාර්ගයෙන්. අභිෂේක ලත් අය අද්දැකපු දේවල් යෙසායා 60 තියෙන දේවල්වලට සමානයි.

අභිෂේක ලත් අය “නැඟිටින්න” ඕන වුණේ ඇයි? යේසුස්ගේ නියෝජිතයන් මැරුණාට පස්සේ බොරු ඉගැන්වීම් හැම තැනම පැතිරුණා. ඒ නිසා අභිෂේක ලත් අය අන්ධකාරයට වැටුණා. (මතෙ. 13:37-43) එයාලා බොරු ආගම්වල අධිරාජ්‍යය වුණ මහ බැබිලෝනියේ වහල්ලු වුණා. “පවතින මේ සමාජයේ අවසාන” කාල පරිච්ඡේදය වෙන කල්ම එයාලට එහෙම ඉන්න වුණා. ඒ කාලය පටන්ගත්තේ 1914දී. (මතෙ. 13:39, 40) ඊටපස්සේ 1919දී එයාලා වහල්භාවයෙන් නිදහස් වුණා. ඒත් එක්කම එයාලා ශුභාරංචිය දේශනා කරලා ආලෝකය හැම තැනම විහිදුවන්න පටන්ගත්තා. b එදා ඉඳන් අද වෙන කල් යෙසායා 60:3 කතා කරන “රජවරු,” ඒ කියන්නේ දෙවියන්ගේ ඊශ්‍රායෙලයට අයිති ඉතිරි අයත් ඇතුළුව විවිධ ජාතීන්වල අය මේ ආලෝකයට ඇවිත් ඉන්නවා.—එළි. 5:9, 10.

අනාගතේදී අභිෂේක ලත් ක්‍රිස්තියානීන් මීටත් වඩා ශ්‍රේෂ්ඨ විදිහට දෙවියන්ගෙන් ලැබුණ ආලෝකය විහිදුවයි. ඒ කොහොමද? පොළොවේ ගත කරන ජීවිතේ අවසන් කළාම එයාලා “නව යෙරුසලමට” අයිති අය වෙනවා. එයාලා රජවරු සහ පූජකයන් විදිහට සේවේ කරන 1,44,000දෙනාගෙන් හැදිලා තියෙන යේසුස්ගේ මනාලිය වෙනවා.—එළි. 14:1; 21:1, 2, 24; 22:3-5.

යෙසායා 60:1 තියෙන අනාවැකිය ඉටු කරන්න නව යෙරුසලම වැදගත් කාර්යයක් කරනවා. (යෙසා. 60:1, 3, 5, 11, 19, 20; එළි. 21:2, 9-11, 22-26) අතීතයේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළේ යෙරුසලමේ ඉඳලා. නව යෙරුසලම සහ යේසුස් අලුත් මිනිස් සමාජයක් පාලනය කරන්න යනවා. එතකොට නව යෙරුසලම “ස්වර්ගයෙන් බැස එන්නේ” කොහොමද? ඒක කරන්නේ පොළොවේ ඉන්න අයට අවධානය දීලා ආලෝකය පොළොවේ ඉන්න අය මත බබළවලා. දෙවියන්ට ගරුබිය දක්වන සියලු ජාතීන්ට අයිති මිනිස්සු ඒ නුවරෙන් එන “ආලෝකයෙන් ගමන් කරනවා.” එයාලා පාපයෙන්, මරණයෙන් නිදහස් වෙනවා. (එළි. 21:3, 4, 24) ප්‍රතිඵලයක් විදිහට යෙසායා සහ අනිත් අනාගතවක්තෘවරුන් කිව්වා වගේ “සියල්ල නැවත පිහිටුවන්න” යනවා. (ක්‍රියා 3:21) ඒක පටන්ගත්තේ යේසුස් රජ වෙනවාත් එක්කමයි. ඒක අවසන් වෙන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේ.

a යෙසායා 60:1 “සියොන්” නැත්නම් “යෙරුසලම” කියලා කියනවා වෙනුවට ‘නව ලොව පරිවර්තනයේ’ කියන්නේ “ස්ත්‍රිය” කියලයි. ඒකට හේතුව ‘නැඟිටින්න’ සහ “ආලෝකය විහිදුවන්න” වගේ ක්‍රියා පද හෙබ්‍රෙව් භාෂාවෙන් තියෙන්නේ ස්ත්‍රී ලිංගයෙන්. ඒ වගේම “ඔබ” කියලා ආමන්ත්‍රණය කරද්දී ඒක තියෙන්නෙත් ස්ත්‍රී ලිංගයෙන්.

b 1919දී සැබෑ නමස්කාරය යළි පිහිටවපු එක ගැන එසකියෙල් 37:1-14 සහ එළිදරව් 11:7-12 සඳහන් වෙනවා. එසකියෙල් කියන්නේ අභිෂේක ලත් හැමෝම ආයෙත් ක්‍රියාශීලී වෙන එක ගැනයි. මොකද එයාලා සෑහෙන කාලයක් වහල්ලු විදිහට හිටියා. හැබැයි එළිදරව් පොතේ කියන්නේ අභිෂේක ලත් අය අතරින් පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් කීපදෙනෙක් ආයෙත් ක්‍රියාශීලී වුණ විදිහ ගැනයි. එයාලව අසාධාරණ විදිහට සිරගත කරපු නිසා පොඩි කාලෙකට එයාලට සේවේ කරගන්න බැරි වුණා. 1919දී එයාලව “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” විදිහට පත් කළා.—මතෙ. 24:45; w16.03 29-32 පිටු බලන්න.