Skip to content

පටුනට යන්න

අලුත් සභාවට හුරු වෙන එක ලේසි නැද්ද?

අලුත් සභාවට හුරු වෙන එක ලේසි නැද්ද?

ඔයාත් කවදා හරි වෙන සභාවකට මාරු වෙලා තියෙනවාද? සහෝදර චාල්ස් මෙහෙම කියනවා. “අලුත් සභාවට හැඩගැහෙන ගමන් පවුලේ අයව යෙහෝවාට ළං කරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.” ඔයාට අලුත් රස්සාවක්, ඉන්න තැනක්, ළමයින්ට ඉස්කෝලත් හොයාගන්න වෙයි. සමහරවිට දේශගුණය, සංස්කෘතිය, සේවේ යන ප්‍රදේශයත් සම්පූර්ණයෙන්ම වෙනස් ඇති.

නිකොලොස්ටයි, සෙලීන්ටයි තිබ්බේ වෙනමම අභියෝගයක්. ප්‍රංශ බෙතෙල් එකෙන් එයාලට කිව්වා අලුත් සභාවකට යන්න කියලා. එයාලා මෙහෙම කියනවා. “අලුත් සභාවට ගිය මුල නම් පුදුම සතුටක් දැනුණේ. හැබැයි පස්සේ පස්සේ පරණ යාළුවන්ව මතක් වෙලා හිතට ලොකු පාළුවක් දැනුණා. මොකද ඒ වෙද්දී අපි අලුත් සභාවේ අයට එච්චර කිට්ටු වෙලා හිටියේ නෑ.” a මේ වගේ අභියෝග ඔයාටත් තියෙනවා නම් අලුත් සභාවේ වැඩ හොඳට කරගෙන යන්න පුළුවන් කොහොමද? අනිත් අයට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? අලුත් සභාවේ ඉන්න අයටයි, අලුතෙන් එන අයටයි එකිනෙකාව දිරිගන්වන්න පුළුවන් කොහොමද?

අභියෝග පරද්දන්න නම් . . .

යෙහෝවා මතම රැඳිලා ඉන්න

1. යෙහෝවා මත රඳලා ඉන්න. (ගීතා. 37:5) ජපානයේ ඉන්න කසුමිගේ මහත්තයාට එයාගේ රස්සාව නිසා වෙන පැත්තකට මාරුවක් ලැබුණා. ඒ නිසා කසුමිට සිද්ධ වුණා අවුරුදු 20ක් තිස්සේ හිටපු සභාව මාරු කරන්න. එහෙම වෙද්දී කොහොමද කසුමි එයාගේ “ජීවිතේ යෙහෝවාට භාර දුන්නේ?” එයා මෙහෙම කියනවා. “මට දැනුණ බය, තනිකම, කාංසාව ගැන මං යෙහෝවාට අකුරක් නෑර කිව්වා. ඒ හැම වෙලේම මට ඕන ශක්තිය ඔහු මට දුන්නා.”

ඒත් යෙහෝවා මත වැඩි වැඩියෙන් රඳලා ඉන්න පුළුවන් කොහොමද? මෙහෙම හිතන්න. ගහක් ශක්තිමත්ව වැඩෙන්න නම් ඒකට වතුරයි, පොහොරයි ඕනේ. අපේ විශ්වාසෙත් දවසින් දවස වැඩෙන්න නම් ඒ වගේම දෙයක් අපිටත් ඕනේ. ඒ මොනවාද? නිකොලොස්ට විශ්වාසේ ශක්තිමත් කරගන්න උදව් වුණේ ආබ්‍රහම්, යේසුස්, පාවුල් වගේ අය යෙහෝවාගේ කැමැත්ත වෙනුවෙන් කරපු කැප කිරීම් ගැන හිතපු එක. ඒක එයාට උදව් වුණා යෙහෝවා එයාට දිගටම උදව් කරයි කියන විශ්වාසේ තව ශක්තිමත් කරගන්න. වරද්දන්නේ නැතුව බයිබලේ අධ්‍යයනය කරනවා නම් ඕනෑම අභියෝගයක් ජය ගන්න ඔයාට පුළුවන්. ඔයා බයිබලෙන් දැනගත්ත දේවල් අලුත් සභාවේ අයව දිරිගන්වන්නත් ඔයාට උදව් වෙයි.

සන්සන්දනය කරන්න එපා

2. සන්සන්දනය කරන්න එපා. (දේශ. 7:10) ජූල්ස් බෙනින්වල ඉඳලා ඇමරිකාවට පදිංචිය මාරු කළාම එයාට වෙනස්ම සංස්කෘතියකට හුරු වෙන්න වුණා. ඒක එයාට ලේසි වුණේ නැහැ. එයා මෙහෙම කියනවා. “මට තේරුණා හම්බෙන හම්බෙන හැමෝටම මගේ ජීවිත කතාව කියන්න වෙනවා කියලා.” ඒ නිසා එයා සහෝදරයන්ව වැඩිය ආශ්‍රය කරන්න ගියේ නැහැ. හැබැයි සහෝදරයන්ව හොඳට අඳුරගත්තාට පස්සේ එයා හිතපු විදිහ වෙනස් කරගත්තා. එයා මෙහෙම කියනවා. “අපි ලෝකේ කොහේ හිටියත් මිනිස්සු මිනිස්සුමයි. වෙනසකට තියෙන්නේ එයාලා හිතන පතන, කතා කරන, වැඩ කරන විදිහ විතරයි. අපි ඒ වෙනස භාරගන්න ඕනේ.” ඒ නිසා කවදාවත් ඔයා කලින් හිටපු සභාව එක්ක අලුත් සභාව සන්සන්දනය කරන්න එපා. පුරෝගාමි සහෝදරියක් වන ඈන්ලීස් මෙහෙම කියනවා. “මං සභාව මාරු කළේ දාලා ආපු දේවල් ගැන හිතහිත ඉන්න නෙවෙයි, අලුත් දේවල් ගැන ඉගෙනගන්න.”

වැඩිමහල්ලෙනි, ඔයාත් අලුත් සභාවකට මාරු වුණොත් කලින් සභාවත් එක්ක අලුත් සභාව සසඳන්න එපා. සමහරවිට ඔයා අලුත් සභාවට ගියාම දකියි “එයාලා දේවල් කරන විදිහ වෙනස්නේ” කියලා. හැබැයි වෙනස් කියන්නේ වැරදියි කියන එක නෙවෙයි. ඒ නිසා ඔයාගේ යෝජනා දෙන්න කලින් ඇයි ඒ සභාවේ දේවල් ඒ විදිහට කරන්නේ කියලා හොයලා බලන්න. (දේශ. 3:1, 7ආ) ඔයා හිතන විදිහට හිතන්න අලුත් සභාවේ සහෝදරයන්ට බල කරනවා වෙනුවට ඔයාගේ ආදර්ශයෙන්ම එයාලට උගන්නන්න.—2 කොරි. 1:24.

බැහැලා වැඩ කරන්න

3. බැහැලා වැඩ කරන්න. (ෆිලි. 1:27) අලුත් තැනකට මාරු වෙනවා කියන එක ලේසි නැහැ. ඒකට ලොකු කාලයක්, මහන්සියක් ගන්න වෙනවා. හැබැයි පුළුවන් නම් මුල ඉඳන්ම ශාලාවට ගිහිල්ලා රැස්වීම්වලට හවුල් වෙන්න. හිතන්න, අලුත් සභාවේ අය ඔයාව දකින්නෙම නැත්නම්, ඔයාව දකින්නේ ඉඳලා හිටලා නම් කොහොමද එයාලා ඔයාට උදව් කරන්නේ? ලුසින්ඩා එයාගේ දුවලා දෙන්නාත් එක්ක දකුණු අප්‍රිකාවේ ලොකු නගරෙක පදිංචියට ගියා. එයා මෙහෙම කිව්වා. “මගේ යාළුවෝ කිව්වා සහෝදරයෝ එක්ක එකතු වෙලා සභාවේ වැඩ බැහැලා කරන්න කියලා. එයාලත් එක්ක සේවේ යන්න, රැස්වීම්වලදී අදහස් දෙන්න කියලත් කිව්වා. මාත් සහෝදරයන්ට කිව්වා ක්ෂේත්‍ර සේවා රැස්වීම අපේ ගෙදර තියන්න පුළුවන් කියලා.”

සහෝදර සහෝදරියන් හැමෝමත් එක්ක “එකා වගේ” නමස්කාරයේ දේවල්වලට හවුල් වෙද්දී අලුත් සභාවේ අයගේ වගේම ඔයාගේ “විශ්වාසයත්” ශක්තිමත් වෙනවා. කලින් කතා කරපු ඈන්ලීස්ට වැඩිමහල්ලෝ දිරිගැන්නුවා හැමෝම එක්ක සේවේ යන්න කියලා. මොකක්ද ප්‍රතිඵලය? එයා මෙහෙම කියනවා. “මට තේරුණා සභාවේ අයට ළං වෙන්න මේක තමයි හොඳම විදිහ කියලා.” ශාලාවේ පිරිසිදු කිරීම්වලට, නඩත්තු කිරීම්වලට ඔයා හවුල් වෙද්දී සභාවේ අයත් දකියි ඔයා දැන් මේක ඔයාගෙම සභාව කරගෙන කියලා. ඒවාට වැඩි වැඩියෙන් හවුල් වෙන තරමටම සභාවේ අයත් ඔයාව ඉක්මනටම වැලඳගනියි. ඔයා මේ අලුත් පවුලේ කොටසක් වෙලා කියලා ඔයාටත් දැනෙයි.

අලුත් යාළුවෝ හොයාගන්න

4. අලුත් යාළුකම් ඇති කරගන්න. (2 කොරි. 6:11-13) අනිත් අය ගැන සැලකිල්ල දක්වන එක යාළුකම් ඇති කරගන්න කියාපු විදිහක්. ඒ නිසා රැස්වීම්වලට කලින්, රැස්වීමෙන් පස්සේ හැමෝවම හොඳට අඳුරගන්න කාලේ ගන්න. කොහොමහරි මහන්සි වෙලා හැමෝගෙම නම් මතක තියාගන්න බලන්න. ඔයාට අනිත් අයගේ නම් මතකයි නම්, අනිත් අයට ඔයා ළඟට ඇවිත් කතා කරන්න ලේසියි නම් කට්ටිය ඔයාට නිකම්ම ළං වෙයි. ඒක ගජ යාළුවෝ ඇති කරගන්න ලොකු උදව්වක් වෙයි කියලා කිසිම සැකයක් නැහැ.

ඔයා ඇත්තටම කොයි වගේ කෙනෙක්ද කියලා අඳුරගන්න අනිත් අයට අවස්ථාව දෙන්න. ලුසින්ඩා මෙහෙම කියනවා. “මට දැන් සභාවේ ගොඩක් යාළුවෝ ඉන්නවා. මොකද මංම එයාලා ළඟට ගිහිං මගේ ගෙදරට ආරාධනා කළා.”

“එකිනෙකාව පිළිගන්න”

නන්නාඳුනන සභාවකට ඉස් ඉස්සෙල්ලාම අඩිය තියද්දී සමහරුන්ගේ හිතට පොඩි බයක් දැනෙනවා. එහෙනම් අලුත් අය පිළිගන්න අපිට මොනවාද කරන්න පුළුවන්? පාවුල් කිව්වා “ක්‍රිස්තුස් අපව පිළිගත් ලෙසම එකිනෙකාව පිළිගන්න” කියලා. (රෝම 15:7) ඉතින් යේසුස්ව ආදර්ශයට අරන් වැඩිමහල්ලන්ට පුළුවන් අලුතෙන් එන අයව ආදරෙන් පිළිගන්න. (“ වෙනසට හුරු වෙන්න උදව් වෙන්නේ මොනවාද?” කියන කොටුව බලන්න.) හැබැයි වැඩිමහල්ලන්ට විතරක් නෙවෙයි පුංචි දුවලා පුතාලා ඇතුළුව සභාවේ ඉන්න හැමෝටම පුළුවන් අලුතෙන් එන අයට මේ එයාලාගේ පවුල කියලා දැනෙන්න සලස්වන්න.

අලුතෙන් ආපු කෙනෙක්ට ඔයාගේ ගෙදරට ආරාධනා කරන එක හොඳ දෙයක්. ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි එයාට උදව් ඕන පැති හොයලා බලලා ඒවා කරන එක. එක සහෝදරියක් එහෙම කළා. එයාගේ සභාවට අලුතෙන් ආපු සහෝදරියක්ව එයා ටවුම පෙන්නන්න එක්කන් ගියා. බස් එක, කෝච්චිය ගන්න විදිහ එයාට කියලා දුන්නා. ඒ උදව් සභාවට අලුතෙන් ආපු සහෝදරියගේ හිතට තදින්ම වැදුණා. ඒ පැත්තට හුරු වෙන්න ඒකෙන් එයාට ලේසි වුණා.

හොඳින් වැඩෙන්න අවස්ථාවක්

පළඟැටියෙක්ට තටු එන්න කලින් ඌ උගේ පරණ හම කීප සැරයක්ම අයින් කරලා දානවා. අලුත් සභාවට හුරු වෙලා තටු ගහලා පියාඹන්න නම් ඔයාටත් සිද්ධ වෙනවා බයක් දැනෙන හැම හැඟීමක්ම අයින් කරගන්න. කලින් කතා කරපු නිකොලොස් සහ සෙලීන් මෙහෙම කියනවා. “ඕනෑම වෙනසක් හොඳ පුහුණුවක්. අලුත් තැනකට, අලුත් කට්ටියකට හුරු වුණ එකෙන් අපේ ගුණාංග හදාගන්නත් අපිට පුළුවන් වුණා.” කලින් කතා කරපු චාල්සුත් වෙනස නිසා වෙච්ච ප්‍රයෝජන ගැන මෙහෙම කිව්වා. “මේ වෙනස අපේ දරුවන්ට උදව් වුණා අලුත් සභාවේ දලු දාලා වැඩෙන්න. එහෙට ගිහිං මාස කීපයකින් අපේ දුව සති මැද රැස්වීමේ ශිෂ්‍ය කතා දෙන්න පටන්ගත්තා. පුතා බව්තීස්ම නොවූ ප්‍රචාරකයෙක් වුණා.”

ඒත් ඔයාට වෙන තැනකට මාරු වෙන්න බැරි නම්, ප්‍රචාරකයන් අඩු පැතිවලට ගිහින් සේවේ කරන්න බැරි නම් මොකද කරන්නේ? එහෙනම් ඔයා දැන් ඉන්න සභාවේ ඉඳලාම මේ යෝජනා අදාළ කරගන්න උත්සාහ කරන්න. ඔයාට පුළුවන් යෙහෝවා මතම රඳලා සභාවේ වැඩ බැහැලා කරන්න. සභාවේ හැමෝම එක්ක සේවේ යන්න සැලසුම් කරන්න. නැති යාළුකම් ඇති කරගන්න. තියෙන යාළුකම් වැඩි කරගන්න. සභාවට අලුතෙන් ආපු කෙනෙක් එහෙම නැත්නම් උදව් ඕන කෙනෙක් ඉන්නවා නම් එයා වෙනුවෙන් දෙයක් කරන්න. සැබෑ ක්‍රිස්තියානීන්ව අඳුරගන්න තියෙන ලකුණ තමයි ආදරේ. (යොහ. 13:35) ඉතින් ඔයා අනිත් අයට ආදරේ පෙන්නන තරමටම ඒක එයාලට උදව් වෙයි යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න. ඒ වෙනුවෙන් ඔයා වෙන මහන්සිය අපතේ යන්නේ නැහැ. මොකද බයිබලේ කියනවා “එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙනවා” කියලා.—හෙබ්‍රෙ. 13:16.

මොන අභියෝගය තිබ්බත් හුඟක් අය අලුත් සභාවට හුරු වෙලා සතුටින් සේවේ කරනවා. ඔයාටත් පුළුවන් ඒක කරන්න. ඈන්ලීස් මෙහෙම කියනවා. “අලුත් සභාවකට ගිය එක මට උදව් වුණා යාළුවෝ ගොඩට තවත් අය එකතු කරගන්න.” කසුමි කියනවා “මේ වෙනස නිසා වෙන කවදාටත් වඩා වැඩියෙන් මං යෙහෝවාගේ උදව් අද්දැක්කා” කියලා. ජූල්ස් මෙහෙම කියනවා. “මගේ අලුත් යාළුවෝ එක්ක ඉද්දී දැන් මට දැනෙන්නේ නෑ මං අමුතු කෙනෙක් කියලා. දැන් මට මේ සභාව දාලා යන්න හිත දෙන්නේ නෑ.”

a 1994 මැයි 15 ‘මුරටැඹ’ සඟරාවේ “දේව සේවයේදී නිවස මතක් වීමෙන් ඇති වන දුක සමඟ ක්‍රියා කිරීම” කියන ලිපිය බලන්න.