Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

මං දැනගත්තා යෙහෝවා දෙවියන් සමාව දෙන කෙනෙක් කියලා

මං දැනගත්තා යෙහෝවා දෙවියන් සමාව දෙන කෙනෙක් කියලා
  • ඉපදුණ අවුරුද්ද: 1954

  • රට: කැනඩාව

  • අතීතයේදී: සූදුවේ නියැලුණු, වංචාවෙන් ජීවත් වුණ කෙනෙක්

මගේ අතීතය:

අපි පුංචි කාලේ හිටියේ මොන්ට්‍රියල් නගරයේ පරිහානියට පත් වුණ ප්‍රදේශයක. මගේ තාත්තා මැරෙද්දී මට මාස 6යි. පවුලේ බර අම්මාගේ කරපිට පැටවුණා. අපේ පවුලේ දරුවෝ 8දෙනාගෙන් බාලයා මමයි.

මං ලොකු මහත් වෙද්දී මත්ද්‍රව්‍යය ගන්නත් සූදු කෙළින්නත් දරුණු වැඩ කරන්නත් අපරාධකාරයන්ව ආශ්‍රය කරන්නත් පටන්ගත්තා. මම ගණිකාවන්ගේ සහ ගිනිපොලී මුදලාලිලාගේ අත් උදව්කාරයෙක් වෙද්දී මට අවුරුදු 10යි. මං නිතරම බොරුත් කිව්වා. පුළුවන් හැම විදිහකින්ම වංචා කරලා සතුටකුත් ලැබුවා. ඒක මට නැතුවම බැරි දෙයක් වුණා.

වයස අවුරුදු 14දී කපටි විදිහට මිනිසුන්ව රවට්ටන්න දක්ෂයෙක් වුණා. උදාහරණයකට රත්තරන් ආලේප කරපු ඔරලෝසු, වළලු, මුදු තොග පිටින් සල්ලිවලට අරන් ඒවාවල කැරට්-14 කියලා සටහන් කරලා පාරවල්වලත් සාප්පු සංකීර්ණ ළඟත් තියාගෙන ගිනි ගණන්වලට විකුණුවා. ඒ විදිහට මිනිසුන්ගේ ඇස් වහලා ලේසියෙන් හම්බ කරන එකට මගේ හිත ඇදිලා ගියා. සමහර වෙලාවට ඩොලර් 10,000ක් හම්බ කෙරුවේ එක දවසකින්!

වයස අවුරුදු 15දී මාව පුනරුත්ථාපන පාසැලෙන් අස් කෙරුව වෙලාවේ මට යන එන මං නැති වුණා. නිදාගන්න වුණේ පාරවල, උද්‍යානවල නැත්නම් යාළුවන්ගේ ගෙවල්වල.

වංචා කෙරුව හින්දා පොලිස්සිය නිතරම මගේ පස්සේ පැන්නුවා. හොර බඩු විකුණුවේ නැති නිසා කවදාවත් හිරේට ගියේ නැතත් බලපත්‍රයක් නැතුව වංචාවෙන් බඩු විකුණුව නිසා ලොකු ලොකු දඩ කෑවා. මම කිසි කෙනෙක්ට බය වුණේ නැති නිසා ගිනිපොලී මුදලාලිලා සල්ලි එකතු කරන්න මාව පාවිච්චි කෙරුවා. ඒ වැඩේ භයානක එකක් නිසා සමහර වෙලාවට මගේ අතේ තුවක්කුවකුත් තිබුණා. අපරාධවලටත් හවුල් වෙලා තියෙනවා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි:

වයස අවුරුදු 17දී බයිබලය ගැන දැනගන්න මට අවස්ථාව ලැබුණා. එතකොට මං ජීවත් වුණේ මගේ පෙම්වතිය එක්ක. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. හැබැයි බයිබලයේ තියෙන සදාචාර ප්‍රමිති පිළිපදින්න මං කැමති වුණේ නැහැ. ඒ නිසා එයාව අත්හැරලා මං යාළු වෙලා හිටිය වෙන කෙනෙක් ළඟට ගියා.

මගේ දෙවෙනි පෙම්වතියත් සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන්ගත්තා. එයා ජීවිතය වෙනස් කරගෙන කරුණාවන්තව, ඉවසිලිවන්තව වැඩ කරන්න පටන්ගත්තාම මම පුදුම වුණා. සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට එන්න කියලා මට අඬගැහුවාම මම ගියා. විනීතව ඇඳ පැළඳගෙන හිටිය ඒ අය මාව ආදරෙන් පිළිගත්තා. ඒ වගේ ආදරයක් නම් කවදාවත් මට ලැබිලා නැහැ. මගේ පවුලේ අය මාව ඈත් කරපු නිසා පොඩි කාලේ ඉඳලා මට ආදරය ලැබුණේ නැහැ. සාක්ෂිකරුවන් පෙන්නුව ඒ ආදරේට මගේ හිත ඇදිලා ගියා. බයිබලය පාඩම් කරන්න කැමතිද කියලා ඒ අය මගෙන් ඇහුවාම මම කැමති වුණේ හරි සතුටින්.

සමහරවිට අද මං ජීවත් වෙන්නේ එදා බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසයි. ඒ වෙද්දී සූදුව නිසා මං ඩොලර් 50,000කට වඩා ණය වෙලා හිටියා. ඒ නිසා හවුල්කරුවන් දෙන්නෙක් එක්ක ලොකු හොරකමක් කරන්නයි ලෑස්ති වෙලා හිටියේ. ඒකෙන් වැළකෙන්න ලැබුණ එක කොච්චර දෙයක්ද! ඒත් ඒ දෙන්නා නම් හොරකම කෙරුවා. එක් කෙනෙක්ට හිරේ යන්න සිද්ධ වුණා. අනිත් කෙනාව මැරුවා.

බයිබලය ඉගෙනගද්දී මට තේරුණා හුඟක් වෙනස්කම් කරන්න තියෙනවා කියලා. බයිබලයේ 1 කොරින්ති 6:10 කියන්නේ ‘සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත් බේබද්දන්ටවත් නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැහැ’ කියලයි. ඒ පදය කියෙව්වාම මං කොච්චර නරකයිද කියලා තේරුණ නිසා මට ඇඬුණා. ජීවිතේ අලුතින්ම පටන්ගන්න ඕන කියලා මට තේරුණා. (රෝම 12:2) කලහාකාරී දරුණු කෙනෙක් වෙලා හිටිය මම මුළු ජීවිතේම ගත කෙරුවේ බොරුවෙන්.

බයිබලය ඉගෙනගද්දී මං දැනගත්තා යෙහෝවා දෙවියන් දයාවෙන් පිරුණ, සමාව දෙන කෙනෙක් කියලා. (යෙසායා 1:18) මගේ වැරදි හදාගන්න උදව් කරන්න කියලා බැගෑපත් වෙලා දෙවියන්ට මං යාච්ඤා කළා. දෙවියන්ගේ උපකාරයෙන් ටිකෙන් ටික වැරදි හදාගන්න පුළුවන් වුණා. ඒ අතරින් ලොකුම පියවරක් තමයි මායි මගේ පෙම්වතියයි විවාහය ලියාපදිංචි කරපු එක.

මං ජීවතුන් අතර ඉන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසයි

එතකොට මගේ වයස අවුරුදු 24යි. අපිට ළමයි තුන්දෙනෙක් හිටියා. නීතියට පටහැනි නැති රස්සාවක් හොයාගන්න සිද්ධ වුණත් මට හරි හමං අධ්‍යාපනයක් තිබුණේ නැහැ. සහතිකයක් දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. ආපහු බැගෑපත්ව දෙවියන්ට යාච්ඤා කරලා රස්සාවක් හොයාගෙන ගියා. මගේ ජීවිතේ වෙනස් කරගෙන අවංකව සේවය කරනවා කියලා ආයතන ප්‍රධානීන්ට කිව්වේ රස්සාවක් ලැබෙයි කියලා හිතාගෙන. පුළුවන්කම තිබුණත් හුඟදෙනෙක් රස්සාවක් දෙන්න කැමති වුණේ නැහැ. හැබැයි එක් කෙනෙක්ට මගේ අතීතය ගැන ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කිව්වාම එයා මෙහෙම කිව්වා. “මොන එහෙකටද මන්දා මගේ හිත කියනවා ඔයාව රස්සාවට ගන්න කියලා.” මගේ යාච්ඤාවට උත්තරේ ලැබුණා කියලා ඒ වෙලාවේ හොඳටම පැහැදිලි වුණා. ඔය අතරේ මායි මගේ බිරිඳයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද:

මං ජීවතුන් අතර ඉන්නේ බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසයි. මම දැන් ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. යෙහෝවා දෙවියන් මට සමාව දුන්නා කියන විශ්වාසය තියෙන නිසා පිරිසිදු හෘදය සාක්ෂියකුත් තියෙනවා.

පහුගිය අවුරුදු 14 පුරාම මම යෙහෝවා දෙවියන්ට පූර්ණකාලීනව සේවය කෙරුවා. ඒ කාලෙදී බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න අනිත් අයට උදව් කෙරුවා. මෑතකදී මගේ බිරිඳත් පූර්ණකාලීන සේවය පටන්ගත්තා. මාත් එක්ක වැඩ කරපු 22දෙනෙක්ට පහුගිය අවුරුදු 30 ඇතුළත දෙවියන්ට නමස්කාර කරන්න මං උදව් කෙරුවා. දැනුත් මං සාප්පු සංකීර්ණවලට යනවා. හැබැයි මිනිසුන්ව රවට්ටන්න නම් නෙමෙයි. මගේ විශ්වාසය ගැන එහෙදී මුණගැහෙන අයට හුඟක් වෙලාවට මං කියනවා. මට ඕන ඒ අයට කිසිම වංචාකාරයෙක් නැති පාරාදීස පොළොවක් ඉදිරියේදී ඇති වෙනවා කියන බලාපොරොත්තුව දෙන්නයි.—ගීතාවලිය 37:10, 11.