Skip to content

පටුනට යන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යෝසෙප්

“දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”

“දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”

සැඳෑ අඳුර ගලාගෙන එද්දී යෝසෙප් අවට පරිසරයේ සිරි නරඹනවා. රටඉඳි ගස්, පලතුරු ගස්, මලින් පිරුණු පොකුණු වගේම ඈතින් තියෙන පාරාවෝගේ මාලිගාවත් ඔහුට පේනවා. ඒ විතරක් නෙමෙයි ඔහුට ගේ ඇතුළේ සිද්ධ වෙන දේවලුත් යන්තමින් ඇහෙනවා. ඔහුගේ ලොකු පුතා මනස්සේ පුංචි මල්ලි එෆ්‍රායිම්ව හිනස්සද්දී බිරිඳ පොඩි එවුන් කරන දේවල් බලලා හිනා වෙනවා. ඒ සතුටට යෝසෙප්ගේ මූණෙත් හිනාවක් ඇඳෙනවා. ඔහුට දැනෙන්නේ ඔහු හුඟක් ආශීර්වාද ලැබුව කෙනෙක් කියලයි.

යෝසෙප් ඔහුගේ කුලුඳුල් පුතාට මනස්සේ කියලා නම දැම්මා. ඒ නමේ තේරුම අමතක කරන්න සලස්වන්නා කියන එකයි. (උත්පත්ති 41:51) යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු මේ ආශීර්වාද නිසා යෝසෙප්ට පියාවත්, ගෙදරත්, සහෝදරයන්වත් මතක් වෙලා දැනුණ දුක තුනී කරගන්න පුළුවන් වෙන්න ඇති. ඔහුගේ මුළු ජීවිතයම වෙනස් වුණේ ඔහුගේ අයියලා ඔහුට වෛර කළ නිසයි. ඔවුන් ඔහුට පහර දීලා, මරන්න හදලා, අන්තිමේදී වහලෙක් විදිහට විකුණුවා. එදා ඉඳලා ඔහුට එක පිට එක විඳින්න වුණේ හිතාගන්නවත් බැරි දේවල්! අවුරුදු 12ක් විතර වහලෙක් විදිහටත් හිරකරුවෙක් විදිහටත් ඔහුට දුක් විඳින්න සිද්ධ වුණා. හැබැයි ඔහු අන්තිමේට බලවත් ඊජිප්තු අධිරාජ්‍යයේ රජුට පස්සේ උසස්ම කෙනා වුණා. *

යෙහෝවා දෙවියන් කියපු විදිහටම දේවල් සිද්ධ වෙන විදිහ යෝසෙප් ඇස් පනාපිටම දැක්කා. සරුසාර අස්වැන්නක් තිබුණ අවුරුදු හතෙන් වැඩි හරියක් ගෙවිලා ගියා. වැඩිපුර ධාන්‍ය අස්වැන්න ගබඩා කරන කටයුතු අධීක්ෂණය කළේ යෝසෙප්. ඔහුගේ බිරිඳ වන අසෙනත්ටත් දරුවෝ ලැබුණේ ඒ කාලෙදියි. හැබැයි යෝසෙප්ගේ මතකය ගව් ගාණක් ඈත හිටිය බෙන්ජමින් (ඔහුගේ මල්ලි) හා ආදරණීය පියා වෙතට දිව ගියා. ඒ දෙන්නා කරදරයක් නැතුව ඉන්නවද, අයියලා තාමත් දරුණුද, ආපහු පවුලක් හැටියට හැමෝටම එකතු වෙන්න පුළුවන් වෙයිද කියලා ඔහු කල්පනා කරන්න ඇති.

ඊර්ෂ්‍යාව, වෛරය, ද්‍රෝහි වීම නිසා ඔබේ පවුලේ සාමය නැති වෙලා නම් ඔබත් ඉන්නේ යෝසෙප් හිටියා වගේ තත්වයක. ඒත් යෝසෙප් පවුලේ අයට සලකපු විදිහෙන් දෙවියන්ට ඔහු විශ්වාසවන්තව හිටියා කියන එක පැහැදිලි වෙනවා. ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

“යෝසෙප් ළඟට යන්න”

මේ විදිහට යෝසෙප් කඩිසරව වැඩ කරද්දී දන්නෙම නැතුව කාලය ගෙවිලා ගියා. පාරාවෝගේ සිහිනය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් පෙන්නුව විදිහට අස්වැන්න පිරුණු අවුරුදු 7 ගෙවිලා ගියා. ඊටපස්සේ උදා වුණේ සාගත කාලය! ඊජිප්තුව අවට රටවලටත් ඒක පැතිරුණා. හැබැයි බයිබලයේ කියන්නේ ‘ඊජිප්තු දේශය පුරාම ආහාර තිබුණා’ කියලයි. (උත්පත්ති 41:54) යෝසෙප්, යෙහෝවා දෙවියන්ගේ බලයෙන් ඒ ගැන කලින්ම කිව්ව නිසාත් ඔහුට තිබුණ සංවිධානය කිරීමේ හැකියාව නිසාත් මුළු ඊජිප්තුවෙම අය ප්‍රයෝජන ලැබුවා.

යෝසෙප් නිහතමානී වුණ හින්දා හිතාගන්නවත් බැරි විදිහට දෙවියන් ඔහුව යොදාගත්තා

යෝසෙප්ට ණයගැතියි කියලා ඊජිප්තු ජනතාවට හැඟෙන්න ඇති. දේවල් හොඳින් සංවිධානය කරපු එක ගැන ඔහුට ප්‍රශංසා කරන්නත් ඇති. ඒත් ඔහු යෙහෝවා දෙවියන්ට ලැබෙන්න ඕන ප්‍රශංසාව තමන්ට ලබාගන්න කැමති වුණේ නැහැ. අපිත් නිහතමානීව දෙවියන්ට සේවය කරන්න අපේ හැකියාවන් පාවිච්චි කරනවා නම් හිතාගන්නවත් බැරි විදිහට ඔහු අපිව යොදාගනියි.

කල් යද්දී ඊජිප්තු ජනතාවත් සාගතයෙන් පීඩා වින්දා. ඔවුන් පාරාවෝ ළඟට ගිහින් උදව් ඉල්ලුවාම ඔහු ඔවුන්ට කිව්වා “යෝසෙප් ළඟට යන්න. ඔහු ඔබට කියන විදිහට කරන්න” කියලා. එතකොට යෝසෙප් ගබඩා කරලා තිබුණ ධාන්‍ය ඔවුන්ට විකුණුවා.—උත්පත්ති 41:55, 56.

ඒත් අවට රටවලට ඒකවත් ලැබුණේ නැහැ. ගව් ගාණක් ඈත කානාන් දේශයේ හිටිය යෝසෙප්ගේ පවුලේ අයටත් සාගතය දැනෙන්න පටන්ගත්තා. ඊජිප්තුවේ ධාන්‍ය තියෙනවා කියලා යාකොබ්ට ආරංචි වෙලා පුතාලට කිව්වා ඒවා අරගෙන එන්න කියලා.—උත්පත්ති 42:1, 2.

යාකොබ් බාල පුතා වන බෙන්ජමින්ව තමන් ළඟ තියාගෙන අනිත් 10දෙනාව යැව්වා. යාකොබ්ට මතක් වුණා අයියලාව බලන්න යෝසෙප්ව තනියම යැව්ව වෙලාවේ සිද්ධ වුණ දේ. එදායින් පස්සේ ඔහු යෝසෙප්ව දැක්කේ නැහැ. තාත්තා යෝසෙප්ට තිබුණ ආදරය පෙන්වන්න දුන්න ඇඳුම විතරයි අයියලා ආපහු ගෙනාවේ. ඔවුන් ඒකේ ලේ තවරලා, ඉරලා, වනසතෙක් යොසෙප්ව මැරුවා කියලා පෙන්වලා තාත්තාව රැවැට්ටුවා.—උත්පත්ති 37:31-35.

‘යෝසෙප්ට මතක් වුණා’

දුර කතර ගෙවාගෙන යාකොබ්ගේ පුතාලා ඊජිප්තුවට ආවා. ධාන්‍ය ගන්න ආවා කියලා කිව්වාම ෂාපෙනත්-පනේයා කියන උසස් නිලධාරියා ළඟට ඔවුන්ව යැව්වා. (උත්පත්ති 41:45) ඔවුන් ඔහුව දැක්කාම ඔහු යෝසෙප් කියලා හඳුනගත්තාද? කොහොමටවත් නැහැ. ඔවුන්ට ඔහුගේ උපකාර අවශ්‍ය වුණ නිසා ඔහුව දැක්කේ හිත දිනාගන්න ඕන උසස් නිලයක් දැරුව පාලකයෙක් විදිහටයි. ඒ නිසා ඔවුන් පාලකයන් ඉදිරියේ සාමාන්‍යයෙන් කරන විදිහට ‘හිස නමා ඔහුට ආචාර කළා.’—උත්පත්ති 42:5, 6.

ඒත් යෝසෙප්? ඔහු අයියලාව දැක්ක ගමන් හඳුනගත්තා. ඔවුන් ඔහුට හිස නමා ආචාර කරද්දී ඔහුගේ සිතුවිලි අතීතයට දිව ගියා. බයිබලයේ කියන්නේ “ඒ මොහොතේදී, තම සහෝදරයන් ගැන දුටු සිහින යෝසෙප්ට මතක් විය” කියලයි. යෞවන කාලයේදී යෙහෝවා දෙවියන් ඔහුට දකින්න සැලැස්සුවේ ඔහුගේ අයියලා හිස නමා ආචාර කරන විදිහයි. ඒ දේම තමයි සිද්ධ වුණේ. (උත්පත්ති 37:2, 5-9; 42:7, 9) යෝසෙප් මොනවා කරන්න ඇද්ද? ඔහු ඔවුන්ව වැලඳගත්තාද? නැත්නම් පළිගන්න හිතුවාද?

හැඟීම්වලට වහල් වෙන්න හොඳ නැහැ කියලා යෝසෙප් දැනගෙන හිටියා. තත්වය යහපත් අතට හැරෙව්වේ යෙහෝවා දෙවියන්. මොකද මේ සිද්ධීන් දෙවියන්ගේ අරමුණට සම්බන්ධයි. ඔහු පොරොන්දු වුණේ යාකොබ්ගේ පරම්පරාව බලවත් ජාතියක් කරනවා කියලයි. (උත්පත්ති 35:11, 12) ඒත් යෝසෙප්ගේ අයියලා නපුරු, ආත්මාර්ථකාමී, අණක් ගුණක් නැති අය විදිහටම හිටියා නම් ඒ අරමුණට බාධා වෙන්න ඉඩ තිබුණා. අනිත් අතට, යෝසෙප් හැඟීම්වලට වහල් වුණා නම් පියාගේ නිවසේ තියෙන සන්සුන් තත්වය නැති වෙලා පියාටත් බෙන්ජමින්ටත් අනතුරක් වෙන්න ඉඩ තිබුණා. ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නවාද කියලාවත් ඔහු දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා යෝසෙප් තමාව හඳුන්වලා නොදෙන්න තීරණය කළා. එහෙම කළේ ඔවුන් කොයි වගේ අයද කියලා දැනගන්නයි. තත්වය අනුව කරන්න ඕන දේ යෙහෝවා දෙවියන් පෙන්වයි කියලත් ඔහු දැනගෙන හිටියා.

සමහරවිට ඔබ ඒ වගේ තත්වයකට මුහුණ දෙන එකක් නැහැ. ඒත් පවුලේ අය අතර බෙදීම්, විරසක වීම් ඇති වෙන එක අද සාමාන්‍ය දෙයක්. අපිත් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නොත් හැඟීම්වලට වහල් වෙලා වැඩ කරන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ වගේ තත්වයකදී යොසෙප්ගේ ආදර්ශය අනුගමනය කරලා දෙවියන් කැමති විදිහට ක්‍රියා කරන එක ඥානවන්ත දෙයක්. (හිතෝපදේශ 14:12) පවුලේ අය එක්ක සාමයෙන් ඉන්න එක වැදගත් තමයි. ඒත් දෙවියන් හා ඔහුගේ පුතා වන යේසුස් එක්ක තියෙන සම්බන්ධය රැකගන්න එක ඊටත් වඩා වැදගත් කියන එක මතක තියාගන්න.—මතෙව් 10:37.

‘නුඹලා කියන කතාව ඇත්තද?’

යෝසෙප් ඔහුගේ අයියලාගේ හදවතේ තත්වය දැනගන්න ඔවුන්ව පරීක්ෂා කළා. පරිවර්තකයෙක්ව යොදාගෙන ඔවුන්ට සැරෙන් කතා කරලා ඔවුන් වෙන රටකින් ආවේ ඔත්තු බලන්නයි කියලා ඔහු චෝදනා කළා. ඒ නිසා තමන් නිර්දෝෂයි කියලා ඔප්පු කරන්න ඔවුන් පවුලේ විස්තර කියන්න පටන්ගත්තා. ඔය අතරේ ඔවුන්ගේ බාලම මල්ලි ගෙදර ඉන්නවා කියන දේත් ඔවුන්ගේ කටින් පිට වුණා. ඒ වෙලාවේ යෝසෙප් තමාට ඇති වුණ ප්‍රීතිය හංගගන්න උත්සාහ කළා. ඒත් ඇත්තටම බාල මල්ලි ජීවතුන් අතර ඉන්නවාද කියලා දැනගන්න ඕන නිසා ඔහු කිව්වා “නුඹලා කියන දේ ඇත්ත” නම් ඔහුව දකින්න ඕන කියලා. බාල සහෝදරයාව අරගෙන එනකම් එක් කෙනෙක්ව හිරේ තියාගෙන අනිත් අයව ගෙදර යවන්න යෝසෙප් කැමති වුණා.—උත්පත්ති 42:9-20.

යෝසෙප්ගේ අයියලා තමන් කතා කරන දේ යෝසෙප්ට තේරෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඔවුන් අවුරුදු 20කට කලින් කරපු දරුණු දේවල් ගැනමෙහෙම කතා වුණා. “අපේ සහෝදරයාට අපි කළේ ලොකු අසාධාරණයක්. අනුකම්පා කරන්න කියා ඔහු අඬඅඬා අපෙන් ඉල්ලුවත් අපි ගණන් ගත්තෙවත් නැහැ. අපි කළ වරදට ගණන් දෙන්න ඕනේ. අපි මේ වගේ දුක් විඳින්නේ ඒ නිසයි.” ඔවුන් කතා කරපු දේ යෝසෙප්ට තේරුණා. ඔහු මදක් ඈතට ගිහින් ඔවුන්ට නොපෙනෙන්න ඇඬුවා. (උත්පත්ති 42:21-24) අයියලා ඔවුන් කරපු දුෂ්ට දේවල් ගැන දුක් වෙනවා දැක්කත් ඒක ඇත්ත පසුතැවිල්ලක්ද කියලා දැනගන්න යෝසෙප්ට ඕන වුණා. ඒ නිසා ඔහු ඔවුන්ව තවදුරටත් පරීක්ෂා කළා.

ඔහු සිමියොන්ව හිරකාරයෙක් හැටියට තියාගෙන අනිත් අයව යැව්වා. යවද්දී ඔවුන්ගේ ධාන්‍ය මලුවල හොරෙන් සල්ලි හැංගෙව්වා. ඔවුන් ගෙදර ගිහින් බෙන්ජමින්ව ඊජිප්තුවට ගෙනියන්න ඉඩ දෙන්න කියලා පෙරැත්ත කළාම යාකොබ් ඒකට ඉඩ දුන්නා. ඔවුන් ඊජිප්තුවට ඇවිත් යෝසෙප්ගේ නිවස බාර සේවකයාට කිව්වා ධාන්‍ය මලුවල සල්ලි තිබුණා කියලා. ඒ සල්ලි ආපහු ගෙවන්න ඉදිරිපත් වුණා. යෝසෙප් ඒ ක්‍රියාව අගය කළා. හැබැයි ඔහුට ඕන වුණා අයියලා ඇත්තටම අවංකද කියලා තවදුරටත් දැනගන්න. යෝසෙප් ඔවුන්ට රසවත් කෑම වේලක් දෙන්න සැලැස්සුවා. ඒ අතර බෙන්ජමින්ව දැකලා ඇති වුණ සතුට යෝසෙප් හංගගත්තේ අමාරුවෙන්. ඊටපස්සේ ඔවුන්ට ආපහු ධාන්‍ය දීලා ගෙදර යැව්වා. ඒත් බෙන්ජමින්ගේ මල්ලට රිදී කුසලානයක් දැම්මෙව්වා.—උත්පත්ති 42:26–44:2.

යෝසෙප් ආපහු ඔවුන්ව පරීක්ෂා කළා. කුසලානය හොරකම් කළා කියලා චෝදනා කරලා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. කුසලානය තිබුණේ බෙන්ජමින්ගේ මල්ලේ වුණත් ඔවුන් හැමෝවම යෝසෙප් ඉදිරියට අරගෙන ආවා. ඒක හොඳ අවස්ථාවක් වුණා අයියලාගේ සැබෑ තත්වය දැනගන්න. හැමෝම වෙනුවෙන් කතා කරන්න යූදා ඉදිරිපත් වුණා. ඔහු බැගෑපත් වෙලා අනේ අපිට කරුණාව පෙන්වන්න, අපි 11දෙනාම ඔබේ දාසයන් වෙන්නම් කියලා කිව්වා. ඊටපස්සේ යෝසෙප් කිව්වා බෙන්ජමින් දාසයෙක් හැටියට ඉඳියි අනිත් අයට ගෙදර යන්න පුළුවන් කියලා.—උත්පත්ති 44:2-17.

යූදා බැගෑපත් වෙලා මෙහෙම කිව්වා. “ඔහුගේ මවට උපන් තවත් පුතෙක් හිටියා. නමුත් ඔහු මැරුණ නිසා දැන් බාලයා විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඔහුගේ පියා ඔහුට ගොඩක් ආදරෙයි.” ඒ වචනවලින් යෝසෙප්ගේ හිත උණු වුණා. යාකොබ්ගේ ආදරණීය බිරිඳගේ වැඩිමල් පුතා යෝසෙප්. බෙන්ජමින් ඉපදෙද්දී රාකෙල් මැරුණා. පියාට වගේම යෝසෙප්ටත් රාකෙල් ගැන සුන්දර මතකයන් තිබුණා. බෙන්ජමින් එක කුසේ උපන් මල්ලි නිසා යෝසෙප් ඔහුට හුඟක් ඇලුම් කළා.—උත්පත්ති 35:18-20; 44:20.

යූදා යෝසෙප්ට බැගෑපත් වෙමින් අනේ බෙන්ජමින්ව නම් දාසයෙක් හැටියට තියාගන්න එපා, මාව ඒ වෙනුවට තියාගන්න කියලා කිව්වා. ඔහුගේ හදවතේ ඇති වුණ වේදනාව වචනවලට පෙරළුවේ මේ විදිහටයි. “අනේ, දරුවා නැතුව නම් අපේ පියා ළඟට යන්න කියන්න එපා. මම කොහොමද මගේ පියා මැරෙන එක මගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නේ?” (උත්පත්ති 44:18-34) ඒ වෙලාවේ යෝසෙප් දැක්කේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණ කෙනෙක්ව. ඔහු පසුතැවිලි වුණා කියලා විතරක් නෙමෙයි දයාවන්ත, කරුණාවන්ත, අනිත් අය වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තියන කෙනෙක් කියලා යෝසෙප් දැක්කා.

තමාට කරපු දේවල් ගැන ඇත්තටම අයියලා පසුතැවෙනවා කියන එක යෝසෙප් දැනගත්තා

හිර කරගෙන හිටිය හැඟීම් තවදුරටත් හංගගෙන ඉන්න යෝසෙප්ට බැරි වුණා. ඔහු සේවකයන්ව පිටත් කරලා කෑගහලා ඇඬුවා. ඒ හඬ පාරාවෝගේ මාලිගාවටත් ඇහුණා. ඊටපස්සේ ඔහු “මම යෝසෙප්” කියලා සහෝදරයන්ට හෙළි කළා. තිගැස්සිලා හිටිය සහෝදරයන්ව බදාගෙන අඬලා ඔවුන් කරපු හැම දේකටම සමාව දුන්නා කියලා යෝසෙප් පෙන්නුවා. (උත්පත්ති 45:1-15) ඒ වෙලාවේ යෝසෙප් ක්‍රියා කළේ සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න යෙහෝවා දෙවියන් වගෙයි. (ගීතාවලිය 86:5) අපිත් එහෙමද කරන්නේ?

“මගේ ඇස් දෙකෙන්ම ඔබව දැක්කානේ”

යෝසෙප්ගේ නිවසේ සිද්ධ වුණ දේවල් දැනගන්න ලැබුණාම පාරාවෝ යෝසෙප්ට කිව්වා ඔබේ පවුලේ ඉන්න හැමෝවම ඊජිප්තුවට ගෙන්වගන්න කියලා. ඊටපස්සේ ඔහු පියාවයි පවුලේ අයවයි ගෙන්වගත්තා. ආපහු පවුලේ අය එක්ක එකතු වෙන්න යෝසෙප්ට පුළුවන් වුණා. යාකොබ් කඳුළු පිරි දෙනෙතින් මෙහෙම කිව්වා. “මගේ ඇස් දෙකෙන්ම ඔබව දැක්කානේ. දැන් මම මැරුණත් කමක් නැහැ.”—උත්පත්ති 45:16-28; 46:29, 30.

ඊටපස්සේ යාකොබ් ඊජිප්තුවේ අවුරුදු 17ක් ජීවත් වුණා. ඒ නිසා ඔහුගේ පුතාලා 12දෙනාට දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාද ගැන කියන්න ඔහුට පුළුවන් වුණා. හැබැයි 11වෙනි පුතා වන යෝසෙප්ට සාමාන්‍යයෙන් කුලුඳුලෙක්ට ලැබෙන දෙගුණයක ප්‍රමාණය ලබා දුන්නා. යෝසෙප්ගෙන් ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දෙකක් එන්න නියමිතව තිබුණා. හුඟක් පසුතැවිලි වුණ හතරවෙනි පුතා, ඒ කියන්නේ යූදා ගැන කියන්න පුළුවන් මොකක්ද? ඔහුට ලොකු ආශීර්වාදයක් ලැබුණා. ගැලවුම්කරු පැමිණෙන්න නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්.—උත්පත්ති 48 සහ 49 පරිච්ඡේද.

වයස අවුරුදු 147දී යාකොබ් මිය ගියා. ඒ වෙද්දී යෝසෙප් බලවත් කෙනෙක් වෙලා හිටිය නිසා තමන්ගෙන් පළිගනියි කියන බිය අයියලාට ඇති වුණා. ඒත් යෝසෙප් ඔවුන්ගේ බිය සැක දුරු කළා. පවුලෙන් ඈත් වෙලා ඊජිප්තුවට යන්න තමාට සැලැස්සුවේ දෙවියන් නිසා ඒ ගැන බය වෙන්න එපා කියලා ඔවුන්ව සැනසුවා. ඊටපස්සේ ඔහු මේ විදිහට කිව්වා. “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ.” (උත්පත්ති 15:13; 45:7, 8; 50:15-21) යුක්තිය ඉටු කිරීමේ අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට කියලා යෝසෙප් දැනගෙන හිටියා. එහෙමනම් දෙවියන් සමාව දුන්න අයට දඬුවම් කරන්න යෝසෙප්ට පුළුවන්ද?—හෙබ්‍රෙව් 10:30.

සමාව දෙන එක ඔබට අමාරු දෙයක්ද? එහෙමනම් හිතාමතාම ඔබට විරුද්ධව වැරදි කරන අයට සමාව දෙන්න කොයි තරම් අමාරු වෙයිද? ඒත් ඇත්තටම පසුතැවිලි වන අයට අපි සමාව දෙනවා නම් ඔවුන්ගෙත් අපෙත් පෑරුණු හිත් සුව කරගන්න පුළුවන්. එහෙම කරනවා නම් අපි යෝසෙප්ගේ විශ්වාසයත් දයාවන්ත පියාණන් වන යෙහෝවා දෙවියන්ගේ ආදර්ශයත් අනුගමනය කරන අය වෙනවා.

^ 4 ඡේ. 2014 අගෝස්තු 1, 2014 නොවැම්බර් 1 සහ 2015 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවල “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්” කියන ලිපි බලන්න.