Skip to content

පටුනට යන්න

වර්තමාන ඊශ්‍රායෙලය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

වර්තමාන ඊශ්‍රායෙලය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

යුධ ගිනි ඇවිළෙන පලස්තීනය ගැන බොහෝ අය ඉතා විමසිල්ලෙන් සිටිනවා. රොකට් ප්‍රහාර, බෝම්බ පිපිරීම් සහ ත්‍රස්තවාදී ප්‍රහාර ගැන පලස්තීනයෙන් නිතර නිතර වාර්තා වෙනවා. එවැනි පුවත් නිසා ඇතැම් අය භීතියට පත් වීම පුදුමයක් නොවෙයි. ඊට අමතරව කොයි මොහොතේ හෝ න්‍යෂ්ටික අවි භාවිත කරයි කියා මිනිසුන් සිතනවා.

මීට වසර 62කට පමණ ඉහතදීත් එනම් 1948 මැයි මාසයේදීත් බොහෝ අය පලස්තීනය ගැන අවධානයෙන් පසු වුණා. බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ පලස්තීනයට නිදහස හිමි වුණේ ඒ වසරේදීයි. වර්ෂ 1947දී එක්සත් ජාතීන්ගේ සංවිධානය, ස්වාධීන යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සිය අනුමැතිය ප්‍රකාශ කර තිබුණා. නමුත් අරාබි ජාතිකයන් ඊට විරුද්ධ වූ අතර එමගින් සිවිල් යුද්ධ ඇති විය හැකියි කියා ඔවුන් අනතුරු ඇඟෙව්වා.

වර්ෂ 1948 මැයි 14වන සිකුරාදා සවස හතරට පමණ යම් විශේෂ නිවේදනයකට සවන් දීම සඳහා ටෙල්-අවීව් කෞතුකාගාරයෙහි 350දෙනෙකු රැස් වී සිටියා. හොර රහසින් කළ ආරාධනාවන් පිට ඔවුන් පැමිණියේ ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් කරන බවට වූ ප්‍රකාශයට සවන් දීමටයි. එදින යම් සතුරු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබූ නිසා ආරක්ෂාවද තර කර තිබුණා.

ඊශ්‍රායෙල් ජාතික කවුන්සලයේ නායකයා වූ ඩේවිඩ් බෙන්-ගුර්යොන් ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීම ගැන සඳහන් ප්‍රකාශය කියෙව්වා. එහි සඳහන් වුණේ මෙයයි. “ජාතික කවුන්සලයේ සාමාජිකයන් ලෙසත් එරෙට්ස්-ඊශ්‍රායෙලයට අයත් යුදෙව්වන්ගේ නියෝජිතයන් ලෙසත් අපගේ අයිතිය සහ එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව එරෙට්ස්-ඊශ්‍රායෙලයේ පිහිටි යුදෙව් ජනපදය ඊශ්‍රායෙල් රාජ්‍යය ලෙස ප්‍රකාශයට පත් කරන බව අපි දන්වා සිටිමු.”

අනාවැකියක ඉටු වීමක්ද?

ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම බයිබල් අනාවැකියක ඉටු වීමක් කියා ඇතැම් රෙපරමාදු පූජකයන් කියා සිටියා. උදාහරණයකට ජොන් හෙගී නම් පූජකයා පැවසූ දෙයක් එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “‘ජාතියක් එක මොහොතකින් බිහි වෙයිද’ කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් බවට පත් කිරීම ගැනයි. (යෙසායා 66:8) විසිවන සියවසේ ඉටු වී තිබෙන ප්‍රබලම අනාවැකිය එයයි. ඇත්තෙන්ම ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි ජීවමානව සිටින බවට එය සියලුදෙනාටම සාක්ෂියක්.”—Jerusalem Countdown.

නමුත් එය සත්‍යයක්ද? යෙසායා පැවසුවේ වර්තමාන ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් බවට පත් වීම ගැනද? වර්ෂ 1948 මැයි 14වනදා ඊශ්‍රායෙල් රාජ්‍යය බිහි වීම අනාවැකියක ඉටු වීමක්ද? දැන් අපි ඒ ප්‍රශ්න පිළිබඳව සලකා බලමු.

අනාගතවක්තෘ යෙසායා පැවසූ අනාවැකිය මෙයයි. “එවැනි දෙයක් ගැන ඇසුවේ කවුද? එවැනි දෙයක් දුටුවේ කවුද? දේශයක් එක දවසකින් බිහි වෙයිද? නැතහොත් ජාතියක් එක මොහොතකින් බිහි වෙයිද? සියොන් දියණිය ප්‍රසව වේදනා විඳි සැණින්ම ඇගේ පුත්‍රයන්ව බිහි කළාය. ‘මා යමක් පටන්ගත් පසු එය අතරමඟ නතර කරනවාද? මවක දරුවෙකු බිහි කරද්දී මා එය වළක්වනවාද’ කියා ඔබේ දෙවි වන යෙහෝවා අසන්නේය.” (යෙසායා 66:8, 9) එම අනාවැකියේ ජාතියක් එක මොහොතකින් බිහි වෙනවා කියා සඳහන් වෙනවා. එය කොතරම් වේගයෙන් සිදු වෙනවාද කියනවා නම් එම අනාවැකියේ එය විස්තර කර තිබෙන්නේ එක දවසින් සිදු වන දෙයක් ලෙසයි. නමුත් එවැනි දෙයක් සිදු වීමට සලස්වන්නේ කවුද? එම අනාවැකියේම සඳහන් වන ලෙස එය කරන්නේ යෙහෝවා දෙවි විසිනුයි.

කොහොමවුණත් වර්තමාන ඊශ්‍රායෙලය දෙවිගේ පාලනයට යටත් රාජ්‍යයක් බව කොයි ලෙසකින්වත් දැකගන්න නැහැ. අනික් අතට 1948දී ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් බවට පත් වීමට හේතුව යෙහෝවා දෙවි කියා කිසිම කෙනෙක් කියා සිටියේද නැහැ. අඩුම තරමින් “දෙවි” කියන වචනයවත් ඔවුන්ගේ ප්‍රකාශයේ සඳහන් වුණේ නැහැ. එක් පොතක ඒ පිළිබඳව මෙවැනි දෙයක් සඳහන් වුණා. “පස්වරු එකට ජාතික කවුන්සලයේ සාමාජිකයන් එකතු වී සිටි අවස්ථාව වන විටත් නිදහස් ඊශ්‍රායෙල් රාජ්‍යය පිළිබඳ ප්‍රකාශයේ සඳහන් වූ වචන සම්බන්ධයෙන් එකඟතාවක් තිබුණේ නැහැ. ඇතැම් අය කියා සිටියේ ‘ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි’ යන යෙදුම එම ප්‍රකාශයේ සඳහන් විය යුතු බවයි. තවත් අය ඊට විරුද්ධ වුණා. මෙවැනි මත ගැටුම් නිසා ‘දෙවි’ යන වචනය වෙනුවට ‘පර්වතය’ යන වචනය භාවිත කිරීමට ඩේවිඩ් බෙන්-ගුර්යොන් තීරණය කළා.”

වර්තමාන ඊශ්‍රායෙලය නිදහස් රාජ්‍යයක් බවට පත් වී තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම සහ යුදෙව්වන්ගේ අයිතිය නිසා කියා ඊශ්‍රායෙල් ජාතිකයන් පවසනවා. නමුත් ඔවුන් ඒ සම්බන්ධයෙන් දෙවිට ප්‍රශංසාවක් ලබා දෙන්නේ නැහැ. එසේනම් තමාට ගෞරව නොකරන ජාතියක් බිහි කිරීමට යෙහෝවා දෙවි මැදිහත් වෙයි කියා සිතීම සාධාරණද?

එදා සහ අද

ක්‍රිස්තු පූර්ව 537දී නිදහස ලැබූ ඊශ්‍රායෙල් ජාතිය සහ වර්තමාන ඊශ්‍රායෙල් රාජ්‍යය අතර කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. දශක හතක් පුරා බැබිලෝනියේ වහලුන් ලෙස සිටිමින් අසරණ වූ ඊශ්‍රායෙල් ජාතිය එදා තම දේශය වෙත නැවත පැමිණියේ එක දවසකින් ‘බිහි වූ’ අලුත් ජාතියක් ලෙසයි. බැබිලෝනිය අත් පත් කරගත් පර්සියාවේ මහ සයිරස් රජු යුදෙව්වන්ට නැවතත් තම මව්බිම් කරා යෑමට නියෝග කිරීමත් සමඟ අනාගතවක්තෘ යෙසායා පැවසූ අනාවැකිය ඉටු වුණා.—එස්රා 1:2.

ක්‍රිස්තු වර්ෂ 537දී යුදෙව්වන්ව නිදහස් කිරීම සඳහා තමන්ට මඟ පෙන්වූයේ යෙහෝවා දෙවි කියා මහ සයිරස් රජු තේරුම්ගෙන සිටියා. එමෙන්ම යුදෙව්වන්ද ඒ බව දැන සිටියා. එමනිසා ඔවුන් තම මව්බිමට ගිය පසු දේවමාලිගාව නැවත ඉදි කර සැබෑ නමස්කාරය යළි ස්ථාපිත කළා. කොහොමවුණත් වර්තමාන ඊශ්‍රායෙල් රාජ්‍යය නිදහස් රාජ්‍යයක් බවට පත් වූ විට එවැනි කිසිවක් කළේ නැහැ.

දෙවි තෝරාගත් ජාතියක්ද?

ක්‍රිස්තු වර්ෂ 33දී ඊශ්‍රායෙල් ජාතිය යෙහෝවා දෙවිගේ පුත්‍රයා වන යේසුස්ව ප්‍රතික්ෂේප කර ඔහුව මරණයට පත් කළ නිසා ඔවුන්ට දෙවිගේ අනුමැතිය අහිමි වුණා. එතැන් සිට ඊශ්‍රායෙල් ජාතිය දෙවිගේම ජාතිය වූයේ නැහැ. සිදු වීමට නියමිතව තිබූ ඒ දේ ගැන යේසුස් මෙවැනි දෙයක් පවසා තිබුණා. ‘යෙරුසලම! යෙරුසලම! අනාගතවක්තෘවරුන්ව මරා දැමූ, තමන් වෙතට එවූ අයට ගල් ගැසූ නුවර! බලන්න! ඔබට ඉතුරු වන්නේ පාළු වූ සියලුදෙනා අත්හැර දැමූ දේවමාලිගාවක් පමණයි.’ (මතෙව් 23:37, 38) ක්‍රිස්තු වර්ෂ 70දී රෝමවරුන් යෙරුසලම් නගරය සහ දේවමාලිගාව විනාශ කර දැමීමත් සමඟ යේසුස් පැවසූ ඒ වදන් ඉටු වුණා. නමුත් ඊශ්‍රායෙල් ජාතියට දෙවිගේ අනුමැතිය අහිමි වුණා නම් දෙවි පවසා තිබූ ලෙස ඔවුන් දෙවිගේ “විශේෂ සෙනඟ” බවට පත් වෙන්නෙත් “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක්” වෙන්නෙත් කෙසේද?—නික්මයාම 19:5, 6.

යුදෙව් ජාතිකයෙක් මෙන්ම යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් දෙවිගේ මඟ පෙන්වීමෙන් පැවසූ මේ වදන්වලින් ඒ ප්‍රශ්නයට පිළිතුර සොයාගත හැකියි. ඔහු මෙසේ වාර්තා කරනවා. ‘ඔබ, තෝරාගත් ජනතාවක්, රාජකීය පූජක පන්තියක්, ශුද්ධ ජාතියක් සහ දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක් වන්නහුය. කලකට පෙර ඔබ ජාතියක් ලෙස සංවිධානය වී නොසිටියත් ඔබ දැන් දෙවි තෝරාගත් සෙනඟ වන්නහුය. ඔබ සිටියේ දයාව නොලැබූ පිරිසක් ලෙසය. නමුත් දැන් ඔබ දයාව ලැබී ඇති අය වන්නහුය.’—1 පේතෘස් 2:7-10.

ඊශ්‍රායෙල් ජාතිය වෙනුවට දෙවි අලුත් ජාතියක් තෝරාගෙන තිබෙන බව ඒ වදන්වලින් පැහැදිලි වෙනවා. ඔවුන් දෙවිට අයිති ශුද්ධ ජාතියක් වී තිබෙන්නේ ඔවුන් උපත ලැබූ රට හෝ වෙනත් බාහිර සාධක නිසා නොවෙයි. ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “වැදගත් වන්නේ කෙනෙකු චර්මච්ඡේදනය වී සිටිනවාද නැද්ද යන්න නොව දෙවි යමෙකුව අලුතින් ජනිත කළාද නැද්ද යන්නයි. එම ප්‍රමිතියට අනුව ජීවත් වන සියලුදෙනාට එනම්, දෙවිගේ ඊශ්‍රායෙලයට සමාදානයත් දයාවත් ලැබේවා!”—ගලාති 6:15, 16.

දෙවි විසින් බිහි කර තිබෙන මෙම අලුත් ජාතිය වන “දෙවිගේ ඊශ්‍රායෙලයට” අයත් වන්නේ ‘කීකරු මෙන්ම යේසුස් ක්‍රිස්තුස්ගේ රුධිරය ඉසිනු ලැබ’ සිටින අයයි. (1 පේතෘස් 1:1, 2) දෙවිගේ ඊශ්‍රායෙලය ලෙස හඳුන්වන එම අලුත් ජාතියට අයිති අය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “කෙනෙකු සැබෑ යුදෙව්වෙකු වන්නේ ඔහුගේ යම් බාහිර සුදුසුකම් නිසා නොවෙයි. ඔහුගේ චර්මච්ඡේදනයත් ශාරීරිකව කරන බාහිර එකක් නොවෙයි. ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය. ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි. එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.”—රෝම 2:28, 29.

ඉහත වදන් සැලකිල්ලට ගැනීමෙන් බයිබලයේ සඳහන් එක් උපහැරණයක් තේරුම්ගැනීමට අපට හැකියාව ලැබෙනවා. එම උපහැරණයේ යුදෙව්වන්ව සමාන කර තිබෙන්නේ ඔලීව ගසකින් කපා ඉවත් කරන ලද අතුවලටයි. එසේ ඔලීව ගසේ අතු කපා ඉවත් කර තිබෙන්නේ ‘වල් ඔලීව ගසකින් ගත් අතු’ ඊට බද්ධ කිරීම සඳහායි. එම ‘වල් ඔලීව ගසෙන් ගත් අතුවලින්’ නියෝජනය වන්නේ යුදෙව් ජාතියට අයත් නොවන අයවයි. (රෝම 11:17-21) එම උපහැරණයේ අවසාන කොටසේ මෙසේ සඳහන් වෙනවා. ‘කැඳවනු ලබන වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ගේ සංඛ්‍යාව සම්පූර්ණ වන තුරු ඊශ්‍රායෙල්වරුන්ගෙන් කොටසක් තම සිත් දැඩි කරගෙන සිටියි. එලෙස මුළු ඊශ්‍රායෙලයම ගලවනු ලබයි.’—රෝම 11:25, 26.

ඉහත බයිබල් ඡේදයේ සඳහන් “මුළු ඊශ්‍රායෙලයම” යන යෙදුමෙන් යොමු දැක්වෙන්නේ දෙවිගේ බලයෙන් තෝරාගෙන තිබෙන දෙවිගේ ඊශ්‍රායෙලය ලෙස හැඳින්වෙන අලුත් ජාතියයි. යුදෙව්වන් යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා සංකේතාත්මක අර්ථයකින් ඔවුන් පල නොදරන ඔලීව අතු බවට පත් වුණා. එමනිසා ඒ අතු කපා ඉවත් කර පල දරන ඔලීව අතු බද්ධ කිරීමට දෙවි පියවර ගත්තා. එක් අවස්ථාවකදී යේසුස්ද තමාවම මිදි වැලකට සමාන කරමින් පල නොදරන අතු ඉවත් කිරීම පිළිබඳව උපහැරණයක් පැවසුවා. එය බයිබලයේ සඳහන් වී තිබෙන්නේ මෙලෙසයි. “සැබෑ මිදිවැල මමයි. මගේ පියාණන් එහි වැවිලිකරුයි. පල නොදරන සෑම අත්තක්ම මට සම්බන්ධ වී තිබුණත් ඔහු ඒවා ඉවත් කරනවා. නමුත් පල දරන සෑම අත්තකින්ම වැඩි පලදාවක් ලබාගැනීමට ඔහු ඒවා පවිත්‍ර කරනවා.”—යොහන් 15:1, 2.

වර්තමාන ඊශ්‍රායෙල් රාජ්‍යය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් බයිබලයේ අනාවැකි සඳහන් වී නැහැ. කොහොමවුණත් දෙවිගේ ඊශ්‍රායෙල් ලෙස හඳුන්වන අලුත් ජාතියක් බිහි වීම පිළිබඳව බයිබලයේ සඳහන් වී තිබෙනවා. දෙවිගේ අනුමැතිය තිබෙන ඒ අලුත් ජාතිය සමඟ ඔබ ඇසුරු කරනවා නම් ඔබට සදාකාලයටම මහඟු ආශීර්වාද අද්දැකීමට හැකියි.—උත්පත්ති 22:15-18; ගලාති 3:8, 9.