Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?

ඔබත් රස්සාව නිසා හෙම්බත් වෙලාද?

අනිල්ට හොඳ පඩියක් වගේම හොඳ පිළිගැනීමක් තියෙන අලුත් රස්සාවක් ලැබුණා. ඒත් දැන් ඔහුට රෑ වෙන කල් වැඩ කරන්නත් සති අන්තයේ වැඩ කරන්නත් වෙලා. ඒ ගැන ඔහු මෙහෙම කියනවා. “මට හුස්ම ගන්න බැරි තරම් වැඩ. හැම වගකීමක්ම වැටුණේ මගේ කරපිට. මේ විදිහට ගියොත් නං මං මැරෙයි.” අනිල් රස්සාව නිසා හෙම්බත් වෙලයි හිටියේ.

රස්සාව නිසා හෙම්බත් වෙනවා කියන්නේ නිකම්ම දැනෙන මහන්සිය නෙමෙයි. ඒක වැඩ නිසා ඇති වන පීඩනයටත් වඩා දරුණුයි. හෙම්බත් වුණාම කළකිරීමක් වගේම වැඩ කරන්න ශක්තියක් නැහැ කියලත් හිතෙනවා. එතකොට වැඩවලට හිත යොමු කරන්න බැහැ. වැඩ කරන්න පෙලඹීමක් ඇති වෙන්නෙත් නැහැ. මානසිකව හා ශාරීරිකව අසනීප වෙනත් එය හේතු වෙනවා කියලා හොයාගෙන තියෙනවා.

රැකියාව නිසා මිනිස්සු හෙම්බත් වෙන්නේ ඇයි? හුඟක් වෙලාවට හේතුව වැඩ වැඩිකමයි. දැන් තියෙන ආර්ථික පීඩනය නිසා ආයතන ප්‍රධානීන් වැඩි කාලයක් වැඩ කරන්න කියලා සේවකයන්ට බල කරනවා. සමහර වෙලාවට එහෙම කරන්න වෙන්නේ අඩු පඩියට. දැන් ෆෝන්වලින්, කම්පියුටර්වලින් පුද්ගලයන්ව කොහේ හිටියත් සම්බන්ධ කරගන්න පුළුවන් නිසා වැඩ ඇරිලා ගෙදර ගියත් වැඩවලින් නිදහස් වෙන්න බැහැ. රස්සාව නැති වෙයි කියන බය, වැඩ ගැන තීරණ ගන්න නිදහසක් නැතිකම හෝ යම් ආසාධාරණකම්වලට මුහුණ දීම වැනි දේවල් නිසාත් සමහර අය හෙම්බත් වෙනවා. තවත් අය හෙම්බත් වෙන්නේ කරන්න වැඩ ගොඩක් තියෙද්දී මුලින් කරන්න ඕන මොනවද කියල තීරණය කරගන්න බැරුවයි. එහෙම නැත්නම් රැකියා ස්ථානයේ අය එක්ක ඇති වෙන ගැටුම් නිසයි.

සමහර අය රැකියාව නිසා හෙම්බත් වෙන්නේ විහින්මයි. ඒ අය රැකියාවේ උසස්වීම් ලබාගන්න, වැඩි ආදායමක් ලබාගන්න ඕන නිසා මැරීගෙන වැඩ කරනවා. තමන්ට කරන්න පුළුවන් සීමාව ඉක්මවලා වැඩ කරන නිසා අන්තිමේදී හෙම්බත් වෙනවා.

ඔබත් ඉන්නේ රැකියාව නිසා හෙම්බත් වෙලා නම් මොනවද කරන්න පුළුවන්. සමහර දේවල් අපිට වෙනස් කරන්න බැහැ. ඒත් වෙනස් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ මොනවද කියලා අපි බලමු.

 1. වැදගත් දේට මුල් තැන දෙන්න.

හුඟක් අය පවුලේ අයත් එක්ක තියෙන බැඳීම සහ නිරෝගී සෞඛ්‍යය වැදගත් දේවල් හැටියට සලකනවා. ඔබ රස්සාව නිසා හෙම්බත් වුණොත් මුලින්ම හානි වෙන්නේ ඒ වගේ දේවල්වලටයි.

මුල් තැන දෙන්න ඕන දේවල් මොනවද කියලා හිතලා බැලුවොත් නිවැරදි තීරණ ගන්න ඔබට පුළුවන්. උදාහරණයකට, රස්සාව නිසා ඔබ ඉන්නේ හෙම්බත් වෙලා. ඒත් ඔබ මෙහෙම හිතනවා. ‘සල්ලි ඕන නිසා අඩුවෙන් වැඩ කරලත් බැහැ. අඩු පඩියක රස්සාවක් කරන්නත් බැහැ.’ එහෙම හිතන එක හරිද? ජීවත් වෙන්න සල්ලි ඕන තමයි. එත් ඔබට වියදම් පිරිමහගන්න ඇත්තටම කොච්චර මුදලක් ඕනද කියලා හිතන්න. මොකද වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගියොත් පවුල් බැඳීම් සහ සෞඛ්‍යය වැනි ජීවිතේ වටිනා දේවල්වලට හානි වෙන්න පුළුවන්.

අනිත් අයගේ බලපෑමට හසුවෙන්න එපා. ඔබේ ආයතනයේ ප්‍රධානියා සහ ඔබ මුල් තැන දෙන දේවල් අතර වෙනසක් තියෙන්න පුළුවන්. සමහර අයට ජීවිතේ වැදගත්ම දේ රැකියාව. ඔබත් ඒ දේම කරන්න ඕනේ නැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”ලූක් 12:15

2. ජීවිතය සරල කරගන්න.

ඔබට වැදගත් වන දේවල්වලට වැඩිපුර කාලය දෙන්න නම්, රස්සාවට වැය කරන කාලය අඩු කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමත් නැත්නම් වැඩ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්ද කියලා ආයතනයේ ප්‍රධානියාගෙන් අහන්න. බැරි නම් වෙන රැකියාවක් හොයාගන්න ඔබට පුළුවන්ද කියලා බලන්න. ඒ මොන දේ කළත් ආදායමට අනුව වියදම හදාගන්නත් ඔබ ජීවත් වෙන විදහ වෙනස් කරගන්නත් ඔබට සිදු වෙයි. හැබැයි ඒක කරන්න බැරි දෙයක්වත් හිතන තරම් අමාරු දෙයක්වත් නෙමෙයි.

ගොඩක් අය හිතන්නේ හොඳ ආදායමක් තියෙනවා නම් දේපළ තියෙනවා නම් තමයි සතුට තියෙන්නේ කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. සරල ජීවිතයක් ගත කරද්දී ලොකු තෘප්තියක් වගේම වැඩි නිදහසකුත් ලැබෙනවා. ජීවිතය සරල කරගන්න හිතනවා නම් වියදම් අඩු කරගන්නත් මුදල් ඉතුරු කරන්නත් පුරුදු වෙන්න. ණය නොවී ඉන්න. නැත්නම් ණය වෙන එක අඩු කරගන්න. ඒ ගැන පවුලේ අයත් එක්ක කතා කරලා එයාලගේ සහයෝගයත් ලබාගන්න.

බයිබල් ප්‍රතිපත්තිය: “අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”1 තිමෝති 6:8

 3. ඔබේ සීමාව දැනගන්න.

කරන්න බැරි තරම් වැඩ තොගයක් තියෙනවා නම් හෝ දිගින් දිගටම ඔබට බලපාන ගැටලුවක් රැකියා ස්ථානයේ තියෙනවා නම් ඒ ගැන ආයතනයේ ප්‍රධානියාට කියන්න. ඊට විසඳුමක් ඔබ ළඟ තියෙනවා නම් ඒ ගැනත් කියන්න. ඔබ වැඩ කරන්න කැමතියි කියලත් පවරන වැඩ කැපවීමෙන් කරනවා කියලත් කියන්න. ඒත් ඔබේ සීමාව මොකක්ද කියලා පැහැදිලි කරන්න.

දුර දිග බලලා වැඩ කරන්න. සාධාරණ වෙන්න. ඔබ අඩුවෙන් වැඩ කරනවා නම් ඔබට ලැබෙන දීමනාත් අඩු වෙයි. සමහර විට ඔබේ රැකියාවත් නැති වෙයි. ඒ නිසා ඒ වගේ දේවල්වලට සූදානම් වෙලා ඉන්න. ඔබ රැකියාව වෙනස් කරන්න හිතනවා නම් අස් වෙන්න කලින්ම වෙන රැකියාවක් හොයාගන්න බලන්න. මොකද රස්සාවක් නැති අයට වඩා දැනටමත් රස්සාවක් කරන අයව තමන්ගේ ආයතනයට ගන්න හුඟක් අය කැමතියි.

වැඩ අඩු කරගන්න ආයතනයේ ප්‍රධානියා එක්ක යම් එකඟතාවකට ආවත් ආයෙත් වැඩියෙන් වැඩ කරන්න පීඩනයක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට මොනවද කරන්න පුළුවන්? ඔබේ වචනේ වෙනස් කරන්න එපා. ඔබ ඒ විදිහට වැඩ කරද්දී ප්‍රධානියත් ඔහු දුන්න පොරොන්දුවට එකඟව වැඩ කරයි.

බයිබල් ප්‍රතිපත්තිය: “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.”මතෙව් 5:37

 4. ඔබ ගැනත් හිතන්න.

රැකියාවේ ලොකු ප්‍රශ්න නැති වුණාට වෙනත් දේවල් නිසා ඔබට පීඩනයක් දැනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පෑහෙන්න අමාරු අයත් එක්ක වැඩ කරන්න හෝ අකමැති තත්වයන්වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා විවේක ගන්න, විනෝද වෙන්න කාලය ගන්න. ඒකට ලොකු වියදමක් දරන්න ඕනෙම නැහැ.

ඔබත් එක්ක එකට වැඩ කරන්නේ නැති අයවත් මිතුරන් හැටියට ආශ්‍රය කරන්න. ඔබට සතුටක් ලැබෙන වෙනත් දේවල් කරන්නත් කාලය ගන්න. ඒ ඇයි කියලා පොතක මේ විදිහට සඳහන් වෙනවා. “ඔබේ රැකියාවට වඩා ඔබ කියන පුද්ගලයා වටිනවා.” (Your Money or Your Life) කෙනෙක් හිතනවා නම් පිළිගැනීමක් හා සතුටක් ලැබෙන්නේ රැකියාවෙන් විතරයි කියලා ඒ කෙනාගේ ජීවිතේ මුල් තැන ගන්නේ රැකියාව. ඒ වගේ කෙනෙක් වැඩ අඩු කරගන්න කැමති වෙන එකක් නැහැ.

බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී බොහෝ වේලාවක් වැඩ කරමින් සුළඟ පසුපස හඹා යනවාට වඩා සුළු විවේකයක් ගැනීම හොඳය.දේශනාකාරයා 4:6

රස්සාව නිසා ඔබ ඉන්නේ හෙම්බත් වෙලා නම් ඒකෙන් මිදෙන්න යමක් කරන්න පුළුවන්. ලිපිය මුලදී සඳහන් කළ අනිල් මෙහෙම කියනවා. “මම කලින් රස්සාව කළ තැන ප්‍රධානියාව හම්බ වෙලා මට රස්සාවක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ වගේම අඩු පඩියකට වැඩ කරන්නත් මං කැමති වුණා. මගේ අලුත් රස්සාවට යන්න කලින් මහ ඉහළින් ඒ ගැන කතා කෙරුව නිසා පරණ යාළුවන්ට මුහුණ දෙන්න මට ලැජ්ජා හිතුණා. ඒත් මට දැන් ලොකු සැනසීමක් දැනෙනවා. පවුලේ අය එක්ක ඉන්නත් ජීවිතයේ වැදගත් දේවල්වලට කාලය දෙන්නත් දැන් මට පුළුවන්.”