Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

කතා නොකර හිටියම ප්‍රශ්න විසඳෙයිද?

කතා නොකර හිටියම ප්‍රශ්න විසඳෙයිද?

ප්‍රශ්නය

ජීවිතේ ඇති තුරා ආදරේ කරන්න පොරොන්දු වුණ දෙන්නෙක් පැය ගණන් දවස් ගණන් කතා නොකර තරහා වෙලා ඉන්නෙ කොහොමද? දෙන්නා හිතන්නෙ ‘කතා නොකෙරුවාට රණ්ඩුව නැවතුණානෙ’ කියලා. එහෙම හිතුවට මොකද දෙන්නම ඉන්නෙ දුකෙන්. ප්‍රශ්නෙ විසඳිලත් නෑ.

ඇයි එහෙම වෙන්නේ?

එකට එක කරන්න. සමහර යුවළයන් කතා නොකර ඉන්නෙ එකිනෙකාගෙන් පළිගන්න. උදාහරණෙකට සැමියා යාළුවෙක්ට කෑමට එන්න කියනවා බිරිඳගෙන් අහන්නැතුව. මේකට බිරිඳගේ හිත රිදිලා ‘ඔයා මං ගැන ටිකක්වත් හිතුවද’ කියලා සැරෙන් අහනවා. එතකොට ‘ඕක මොකක්ද? ඔයා පොඩි දේත් ලොකු කරගන්නවනෙ’ කියලා සැමියා කියනවා. මේ වගේ වෙලාවක බිරිඳ කරන්නේ තරහ වෙලා කතා නොකර ඉන්න එකයි. ඒකෙන් එයා කියන්න හදන්නේ ‘ඔයා මාව රිද්දනවා නං මාත් ඔයාව රිද්දනවා’ කියලයි.

තමන් කැමති දේ කරගන්න. උදාහරණෙකට ජෝඩුව ට්‍රිප් එකක් යන්න සැලසුම් කරනවා. බිරිඳ කැමතියි එයාගේ අම්මවයි තාත්තවයි එක්කං යන්න. ඒකට සැමියා කැමති නෑ. ‘හැම දේකටම අම්මා, අම්මා! අපි දෙන්නට නැද්ද නිදහසක්’ කියලා සැමියා කියනවා. ඊටපස්සෙ සැමියා, තමන්ගෙ කැමැත්තට බිරිඳ එකඟ වෙනකං එයත් එක්ක කතා නොකර ඉන්නවා.

වාදයක් නිසා ඇති වෙන කේන්තිය නිවාගන්න ටිකක් නිහඬව ඉන්න එකේ වරදක් නෑ. “නිහඬව සිටීමට කාලයක්” තියෙනවා කියලා බයිබලෙත් කියනවා. (දේශනාකාරයා 3:7) ඒත් කතා නොකර ඉන්නෙ පළිගන්න හරි තමන්ට ඕන දේ කරගන්න හරි නම් ඒක වැරදියි. ඒකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ දිග්ගැස්සිලා දෙන්නට දෙන්නා අතර තියෙන ගෞරවය නැති වෙන එක විතරයි. ඒ වගේ දෙයක් නොවෙන්න නම් . . .

මොනවද කරන්න පුළුවන්?

මුලින්ම තේරුම්ගන්න ප්‍රශ්නවලට විසඳුම, කතා නොකර ඉන්න එක නෙමෙයි කියලා. කතා නොකර ඉද්දී අනිත් කෙනාට රිද්දලා පොඩි සතුටක් ලබන්න පුළුවන්. තමන්ට ඕන දේ කොහොමහරි කරගන්නත් පුළුවන් වෙයි. ඒත් හැමදාටම ආදරේ කරන්න පොරොන්දු වුණ කෙනාට ඒ විදිහට සලකන එක හරිද කියලා චුට්ටක් හිතලා බලන්න. ප්‍රශ්න විසඳගන්න ඊට වඩා හොඳ ක්‍රම තියෙනවා. මෙන්න ඉන් ක්‍රම කිහිපයක්.

අවබෝධයෙන් වැඩ කරන්න. ප්‍රේමණීය කෙනෙක් “ඉක්මනින් කෝප වන්නේ නැත” කියලා බයිබලේ කියනවා. (1 කොරින්ති 13:4, 5) ‘කියන දේ කනකට ගන්නෑ.’ ‘හැමදාම පරක්කු වෙනවා.’ මේ වගේ කේන්තියෙන් කියන දේවල් වැඩිය හිතට ගන්න එපා. හැබැයි ඒ වගේ වෙලාවට එහෙම කියන්නෙ ඇයි කියලා ටිකක් හිතලා බලන්න. උදාහරණෙකට ‘කියන දේ කනකට ගන්නෑ’ කියලා කියන්න ඇත්තෙ ‘එයා කියන කිසිම දෙයක් ඔයා සත පහකටවත් ගණන් ගන්නෑ කියලා එයාට හිතෙන හින්දා’ වෙන්නැති.—හිතෝපදේශ 14:29 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සැමියා හෝ බිරිඳ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කෙනෙක් විදිහට දකින්න එපා. එයා ඔයාගේ කණ්ඩායමේ කෙනෙක් විදිහට හිතන්න

කෑ ගහන්න එපා. වාදයක් දිගින් දිගට ගියොත් ලොකු ප්‍රශ්නයකට පෙරළෙන්න පුළුවන්. වාදයක් ඇති වුණොත් මේ විදිහට කරන්න කියලා එක පොතක උපදෙස් දීලා තිබුණා. (Fighting for Your Marriage) “කෑ නොගහා සැමියා හරි බිරිඳ හරි එහෙම කිව්වේ ඇයි කියලා තේරුම්ගන්න. එතකොට ගැටලුව දරුණු වෙන එක නවත්වගන්න පුළුවන්.”—හිතෝපදේශ 26:20 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

‘මම’ නෙමේ ‘අපි’ කියලා හිතන්න. බයිබලේ කියන්නෙ “සියලුදෙනා තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි” කියලා. (1 කොරින්ති 10:24) සැමියා හෝ බිරිඳ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ කෙනෙක් විදිහට දකින්න එපා. එයා ඔයාගේ කණ්ඩායමේ කෙනෙක් විදිහට හිතන්න. එතකොට සහයෝගෙන් ප්‍රශ්න විසඳගන්න පුළුවන්. වාදවිවාදත් අඩුයි. අමනාප වෙලා කතා නොකර ඉන්නෙත් නෑ.—දේශනාකාරයා 7:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

කතා නොකර ඉන්න එක බයිබලේ ඇති ප්‍රතිපත්තිවලටත් විරුද්ධයි. “එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි” කියලා බයිබලේ කියනවා. (එෆීස 5:33) ඒ නිසා ප්‍රශ්නයක් ඇති වුණාම කතා නොකර ඉන්නෑ කියලා දෙන්නා කලින්ම තීරණයකට එන්න.