Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?

රට ගියත් පදිංචියට සැබෑ වෙයිද සිහින?

සැපවත් ජීවිතයක් සොයා

පවුලේ අයට කන්න බොන්න දෙන එක ජෝජ්ට ලේසි වුණේ නෑ. අසල්වැසියොත් හිටියේ ලෙඩින් වගේම එදා වේලවත් හොයාගන්න බැරුවයි. ළඟපාතක ධනවත් රටක් තිබුණා. ‘එහෙට ගිහිං රස්සාවක් හොයාගෙන පවුලේ අයවත් එහාට ගන්නවා’ කියලා ජෝජ් හිතුවා.

පැට්‍රීෂියාගේ රටේ හරිහමං රස්සාවකට තියා ඉගෙනගන්නවත් අවස්ථා තිබුන්නෑ. ඒ නිසා එයා පෙම්වතා එක්ක නයිජීරියාවේ ඉඳන් ඇල්ජීරියාව හරහා ස්පාඤ්ඤයට යන්න තීරණය කළා. සහරා කාන්තාරය තරණය කරන්න පවා වුණ ඒ ගමන කොච්චර දුෂ්කර එකක් වෙයිද කියලා එයාලා හිතලවත් තිබුන්නෑ. “මට බබෙක් හම්බෙන්නයි හිටියේ. මට ඕන වුණේ කොහොමහරි දුකක් නැති අනාගතයක් එයාට දෙන්න” කියලා පැට්‍රීෂියා කිව්වා.

පිලිපීනයේ ජීවත් වූ රේචල් යුරෝපයට ගිහිල්ලා ජීවිතේ අළුතින් පටන්ගන්න හීන මැව්වා. එයාගේ රස්සාව නැති වුණ වෙලේ පිටරට ගියොත් ඕන තරම් ගෘහ සේවය සඳහා රස්සා තියෙනවා කියලා නෑයොත් කිව්වා. ණය වෙලා රට යන්න සල්ලි හොයාගත්ත රේචල් සැමියගෙන් හා දුවගෙන් සමුගත්තේ “මං ඉක්මනටම ඔයාලවත් එහෙට ගන්නවා” කියලා පොරොන්දු වෙමින්.

ජෝජ්, පැට්‍රීෂියා, රේචල් වගේ මිලියන 200කටත් වැඩි ගණනක් මෑත දශකවලදී පිටරට පදිංචියට ගිහින් කියලා ගණන් බලා තියෙනවා. යුද්ධ, ස්වාභාවික විපත්, වාර්ගික හෝ ආගමික ගැටුම් වගේ හේතු නිසා සමහරු පදිංචිය මාරු කළත් හුඟදෙනෙක් එහෙම කරන්නේ ආර්ථික ප්‍රශ්න නිසයි. අලුත් රටකට ගියාම ඒ අය මුහුණ දීලා තියෙන ප්‍රශ්න මොනවද? බලාපොරොත්තු වුණු සැපවත් ජීවිතය හැමෝටම ලැබෙනවද? අම්මා හරි තාත්තා හරි අත මිට සරු කරගන්න පිටරට ගියොත් ඒක දරුවන්ට බලපාන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර ඊළඟ ලිපිවලින් බලමු.

පදිංචිය මාරු කිරීමේදී මුහුණ දෙන අභියෝග

පිටරටකට පදිංචිය මාරු කරද්දී කෙනෙක් මුහුණ දෙන පළවෙනි අභියෝගය තමයි ගමන. මුල් ලිපියේ සඳහන් කළ ජෝජ් කිලෝමීටර් ගාණක් ගියේ හරිහමං කෑමක්වත් නැතුව. ඒ ගමන ගැන ජෝජ් කිව්වේ “ඒ වගේ භයානක ගමනක් නම් මං කවදාවත් ගිහින් නෑ” කියලයි. හුඟක් වෙලාවට පදිංචිය මාරු කරන අයට තමන්ගේ ගමනාන්තයට යන්න ලැබෙන්නෑ.

පැට්‍රීෂියාට ඕන වුණේ ස්පාඤ්ඤයට යන්න. එයාට සහරා කාන්තාරය හරහා යන්න වුණේ වහලක්වත් නැති ලොරියක නැඟලයි. ඒ ගැන ඇය කිව්වේ “නයිජීරියාවේ ඉඳලා ඇල්ජීරියාවට යන්න සතියක්ම ගියා. ඒ මදිවට ලොරියේ 25 දෙනෙක්වම පටවලා හිටියා. පාර දෙපැත්තේ මළමිනි වැටිලා තියෙනවා අපි දැක්කා. සමහර ලොරිකාරයෝ කිසි හිතක් පපුවක් නැතුව මඟීන්ව මඟ දාලා ගිහින් තිබුණ හින්දා ඒ අය හාමතින් ඉබාගාතේ ඇවිදිනවා අපි දැක්කා.”

රේචල්ට නම් යුරෝපයට යන්න පුළුවන් වුණා. එයා යන කොටත් එයාගේ රස්සාවට සේරම ලෑස්ති කරලයි තිබුණේ. හැබැයි එයාගේ අවුරුදු දෙකක් වයසැති චූටි දුව නැතුව මේ තරම් පාළුවක් දැනෙයි කියලා එයා හිතලා තිබුන්නෑ. “අම්මා කෙනෙක් දරුවෙක් හුරතල් කරනවා දකින හැම වෙලාවකම මගේ පපුව පලා ගෙන යන තරම් වේදනාවක් දැණුනා” කියලයි රේචල් කිව්වේ.

අලුත් රටකට හුරු වෙන්න ජෝජ්ට ගොඩක් අමාරු වුණා. ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න පුළුවන් වුණෙත් එහෙට ගිහින් මාස ගාණක් ගියාට පස්සෙයි. “ගෙදර මතක් වෙච්ච, බලාපොරොත්තු කඩ වෙච්ච ගොඩාක් දවස්වලට මං නිදා ගත්තේ අඬ අඬා” කියලා ජෝජ් කිව්වා.

ඇල්ජීරියාවේ මාස ගාණක් හිටියට පස්සේ පැට්‍රීෂියා මොරෙක්කෝවේ වෙරළට ළඟා වුණා. ඒ ගැන එයා කිව්වේ “මගේ දුවව හම්බ වුණේ එහෙදි. මෙහෙම පදිංචිය මාරු කරලා එන ගෑණුන්ව පැහැරගෙන ගිහින් ගණිකා මඩම්වලට දාන අයගෙන් හැංගිලා ජීවත් වෙන එක මට ලේසි වුණේ නෑ. අන්තිමට බෝට්ටුවෙන් ස්පාඤ්ඤයට පැනගන්න ඕන සල්ලි ටික හොයාගත්තත් අපිට යන්න තිබුණ ගමන අමාරු මදිවට ඒ අබලන් බෝට්ටුවේ හුඟදෙනෙක්ව පටෝලත් තිබුණා. බෝට්ටුවට පිරෙන වතුර අයින් කරන්න වුණේ අපේ සපත්තුවලින්. කොහොමහරි ස්පාඤ්ඤයේ වෙරළට ආවම මට ගොඩට ඇවිදගන්නවත් පණක් තිබුන්නෑ.”

පිටරට පදිංචියට යන අය මුහුණ දෙන තවත් අභියෝග තියෙනවා. අලුත් භාෂාවකට, සංස්කෘතියකට හුරු වෙන්න, ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕන නීතික ලියවිලි හදාගන්න යන වියදම් සහ දුෂ්කරතා ඒවායින් සමහරක්. රටේ ජීවත් වෙන්න නීතික අවසරය නැති අවස්ථාවලදී හොඳ රස්සාවක් හෝ හොඳ ගෙයක් හොයාගන්න නැත්නම් අධ්‍යාපන හෝ වෛද්‍ය පහසුකම් ලබාගන්න ලේසි නෑ. රියදුරු බලපත්‍රයක් ගන්න එක හෝ බැංකු ගිණුමක් අරින එක ලේසි නෑ. හොරෙන් ඉන්න පදිංචිකරුවන්ගේ ශ්‍රමය සූරා කන එකත් සාමාන්‍ය දෙයක්.

තවත් දෙයක් තමයි මුදල් ගැන අපි හිතන විදිහ. හැම සිහිනයක්ම සැබෑ කරන්න මුදල්වලට පුළුවන්ද? බයිබලයේ කියන්නේ මෙහෙමයි. “පොහොසත් වීමට වෙහෙස නොවන්න. ඔබේම නුවණෙහි රඳා නොසිටින්න. සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද? ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.” (හිතෝපදේශ 23:4, 5) පවුලේ එකමුතුකම, සෙනෙහස, රැකවරණය වගේ ජීවිතේ වටිනාම දේවල් සල්ලිවලට ගන්න පුළුවන්ද? මුදලට ඇති ආශාව නිසා දෙමව්පියන් ‘තමන්ගේ අය කෙරෙහි සෙනෙහස’ පෙන්වීමට අසමත් වෙනවා නම් ඒක කොච්චර දුකට හේතුවක්ද!—2 තිමෝති 3:1-3.

දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කරලා තියෙන්නේ ඔහු ගැන දැනගැනීමේ අවශ්‍යතාවය ඇතුවයි. (මතෙව් 5:3) ඒක හොඳින් තේරුම්ගන්න දෙමව්පියන්, දෙවියන් ගැනත් ඔහුගේ අරමුණු සහ ප්‍රමිති ගැනත් දරුවන්ට ඉගැන්වීමට කරන්න පුළුවන් හැම දේම කරනවා.—එෆීස 6:4.

පවුල සල්ලිවලට වඩා වටිනවා!

පිටරටකට පදිංචියට යන අයගේ අද්දැකීම් එකිනෙකට වෙනස් වුණත් කලින් ලිපිවල බලපු ජෝජ්, රේචල් හා පැට්‍රීෂියා වගේ කාටත් මුහුණ දෙන්න වෙන්නේ එක වගේ ප්‍රශ්නවලට. දෙමාපියෙක් නැත්නම් විවාහක කෙනෙක් රට ගියාම එයාගේ පවුලේ අයට ඒක ලොකු දුකක් වගේම ආයෙත් පවුලක් විදියට සතුටින් ඉන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනවා.

උදාහරණෙකට ජෝජ්ට පවුලේ අය ගාවට යන්න අවුරුදු හතරක්ම ඉන්න වුණා. තමන්ගෙන් වෙන් වෙලා හිටිය දුවව බලන්න ආයෙත් පිලිපීනයට යන්න රේචල්ට පුළුවන් වුණේ අවුරුදු පහකට පස්සෙ. තමන්ගේ දුවවත් වඩාගෙන ස්පාඤ්ඤයට ආපු පැට්‍රීෂියා කිව්වේ “මට පවුලක් කියලා වෙන කවුරුත් නෑ. මට ඉන්නේ මගේ චූටි දූ විතරයි. මං එයාව හොඳට බලාගන්නවා” කියලයි.

පදිංචියට පිටරට යන අය කාලයක් පවුලේ අයගෙන් වෙන් වෙලා හිටියත්, එයාලට තනිකමක් දැණුනත්, ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දුන්නත් කොහොමහරි ඒ රටේම ඉන්න උත්සාහ කරනවා. පිටරටකට යන්න ගොඩක් වියදම් කරන නිසා එහෙ ඉන්න බැරි වුණත් ආයෙත් තමන්ගෙ රටට ආවොත් වෙන්නේ ලැජ්ජාවක් කියලා හිතලා හුඟක් අය ඒ රටේම ඉන්නවා.

ලැජ්ජාව ගැන හිතන්නැතුව ආයෙත් තමන්ගේ රටට ආපු කෙනෙක් තමයි පිලිපීනයේ හිටිය ඇලන්. ස්පාඤ්ඤයේ එයාට හොඳ රස්සාවක් හම්බ වුණත් මාස 18කට පස්සේ එයා ආයෙත් ගෙදර ආවා. ඒ ගැන ඇලන් මෙහෙම කිව්වා. “මගේ බිරිඳයි දුවයි නැති පාළුව මට දරාගන්න බැරි වුණා. ආයෙත් පවුල පිටින් පදිංචියට යනවා මිසක් තනියෙං නම් යන්නෑ. පස්සෙ අපි පිටරට පදිංචියට ගියේ පවුල පිටින්මයි. මොකද සල්ලිවලට වඩා වටින්නේ මගේ පවුලනේ.”

සල්ලිවලට වඩා වටින දෙයක් තියෙනවා කියලා පැට්‍රීෂියාටත් තේරුණා. ඒ ගැන ඇය මෙහෙම කිව්වා. “මම ස්පාඤ්ඤයට එනකොට බයිබලයේ අලුත් ගිවිසුම කියන කොටසත් අරගෙනමයි ආවේ. මං හිතුවා ඒ පොතෙන් මට ආරක්ෂාවක් ලැබෙයි කියලා. එහෙදි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හම්බුණා. කලින් මට ගොඩක් වැඩ තිබුණ හින්දා සාක්ෂිකරුවන් එක්ක කතා කරන්න උනන්දු වුණේ නෑ. හැබැයි මේ වතාවේ එයාලගේ විශ්වාසයන් බොරු කියලා ඔප්පු කරන්න ඕන වුණා. ඉතිං මං එයාලත් එක්ක සාකච්ඡා කළා. හැබැයි අන්තිමට මං අහපු හැම ප්‍රශ්නෙකටම එයාලා බයිබලෙන්ම උත්තර දුන්නා.”

දිගුකාලීන සතුටයි අනාගතයට නියම බලාපොරොත්තුවකුයි ලැබෙන්නේ පදිංචිය මාරු කරන එකෙන්වත් සල්ලි ගොඩක් හම්බ කරන එකෙන්වත් නෙමේ දෙවියන් ගැනත් ඔහුගේ අරමුණු ගැනත් හොඳ අවබෝධයක් ලබාගැනීමෙන් විතරයි කියලා පැට්‍රීෂියා තේරුම්ගත්තා. (යොහන් 17:3) සැබෑ දෙවියන්ට නමක් තියෙනවා කියලත් එයා ඉගෙනගත්තා. ඒ නම තමයි යෙහෝවා. (ගීතාවලිය 83:18) අනාගතේදී දෙවිගේ රාජ්‍යයේ රජ වන යේසුස් දුප්පත්කම සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියලත් පැට්‍රීෂියා ඉගෙනගත්තා. (දානියෙල් 7:13, 14) ඒ ගැන බයිබලයේ ගීතාවලිය 72:12, 14 කියන්නේ ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව [යේසුස්] ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද ඔහු ඔවුන්ව මුදවාගන්නේය’ කියලයි.

පැට්‍රීෂියා වගේ බයිබලය අධ්‍යනය කරන්න යම් කාලයක් වෙන් කරන්න ඔබත් කැමතිද? එතකොට ජීවිතයේ වැදගත්ම දේවල් මොනවද කියලා තේරුම්ගන්න ඔබට පුළුවන් වෙයි. නැණවත් තීරණ ගන්නත් ප්‍රශ්න එද්දී බලාපොරොත්තු සුන් කරගන්නැතුව සතුටින් ඒවට මුහුණ දෙන්නත් ඔබට පුළුවන් වෙයි.—හිතෝපදේශ 2:6-9, 20, 21.