Skip to content

යොවුන් සිතේ ගැටලු

මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?

මෙසේජස් යවන්න කලින් හිතන්න ඕනේ ඇයි?
  • :-) ටෙක්ස් මෙසේජස්වලින් යාළුවන්ගේ සැප දුක් දැනගන්න පුළුවන්.

  • :-( හිතන්නේ බලන්නේ නැතුව මෙසේජස් යැව්වොත් යාළුකම් නැති වෙන්නත් නම කැත වෙන්නත් පුළුවන්.

 ඕනම කෙනෙක්ට මෙසේජස් යැව්වට කමක් නැද්ද?

 ඕනම තැනක ඉන්න ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් ටෙක්ස් මෙසේජස් යවන්න පුළුවන් නිසා අද යෞවන යෞවනියන්ට මෙසේජස් යවන එක නැතුවම බැරි දෙයක් වෙලා. හැබැයි සමහර දෙමාපියන් නම් ටෙක්ස් මෙසේජස් යවන්න දරුවන්ට අවසර දීලා නැහැ.

 “මායි නංගියි පිරිමි ළමයි එක්ක කතා කරනවට අපේ තාත්තා එච්චර කැමති නැහැ. කතා කරන්න අවසර තියෙන්නේ කට්ටිය සාලේ ඉන්න වෙලාවක සාලේ තියෙන ලෑන්ඩ් ලයින් එකෙන් විතරයි.”—ලනෝර්.

 මතක තියාගන්න: ඔයා හැම කෙනෙක්ටම ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නොත් අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

 “හොයන්නේ බලන්නේ නැතුව හැමෝටම නොම්බරේ දුන්නම නරක මෙසේජස්, නරක පින්තූර එන්න තියෙන ඉඩකඩ වැඩියි.”ස්කොට්.

 “පිරිමි ළමයෙක් නිතරම ගෑනු ළමයෙක්ට මෙසේජස් යවනවා නම් එයාට හිත ඇදිලා යන්න තියෙන චාන්ස් එක වැඩියි.”ස්ටීවන්.

 බයිබලේ දෙන උපදෙස: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.” (හිතෝපදේශ 22:3) දුරදිග බලලා වැඩ කළොත් ප්‍රශ්න මඟහරින්න ඔයාට පුළුවන්.

 ඇත්ත සිදුවීමක්: “පිරිමි ළමයෙක්ව මං හොඳ යාළුවෙක් විදිහට ආශ්‍රය කළා. අපි නිතරම මෙසේජ් කළා. මං එයාව ආශ්‍රය කළේ යාළුවෙක් විදිහට විතරයි. ඒත් දවසක් එයා කිව්වා එයා මට කැමතියි කියලා. මං එයත් එක්ක නිතරම වගේ එහේ මෙහේ ගිය එක, මෙසේජස් යවපු එක වැරදියි කියලා එතකොට තමයි මට තේරුණේ.”මෙලින්ඩා.

 හිතන්න: මෙලින්ඩාට ඒ පිරිමි ළමයාව කලින් වගේ යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න දැන් පුළුවන්ද?

 කරන්න තිබුණේ මෙහෙමයි: මෙලින්ඩා මුල ඉඳලාම මොන වගේ දේවල් ගැන සැලකිලිමත් වුණා නම්ද එයාලට දිගටම යාළුවෝ වගේ ඉන්න තිබුණේ?

 ඕනම දෙයක් මෙසේජ් එකකින් යැව්වට කමක් නැද්ද?

 මෙසේජස් යවද්දී හුඟක් අයට අමතක වෙන දෙයක් තමයි ඒවා කියවන කෙනා වරදවා තේරුම්ගන්න පුළුවන් කියන එක.

 මතක තියාගන්න: මෙසේජස් වරදවා තේරුම්ගන්න තියෙන ඉඩකඩ වැඩියි.

 “මෙසේජස් එක්ක පොඩි පොඩි මූණවල් යවන්න පුළුවන් වුණාට කෙනෙක්ගේ හැඟීම් ඇත්තටම තේරුම්ගන්න ඒවයින් බැහැ. ඒ නිසා මෙසේජ් එකකින් කියන දේ තව කෙනෙක් වැරදියට තේරුම්ගන්න පුළුවන්.”බ්‍රියානා.

 “පිරිමි ළමයිට එක එක මෙසේජස් යවලා සමහර ගෑනු ළමයි නම කැත කරගෙන තියෙනවා.”ලෝරා.

 බයිබලේ දෙන උපදෙස: “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.” (හිතෝපදේශ 15:28) ඒ නිසා ඔයා මෙසේජ් එකක් ටයිප් කරලා යවන්න කලින් ඒක ආපහු සැරයක් කියවලා බලන්න.

 ඕනම වෙලාවක මෙසේජ් කළාට කමක් නැද්ද?

 මෙසේජස් යවන්න හොඳ මොන වගේ වෙලාවලදීද හොඳ නැත්තේ මොන වගේ වෙලාවලදීද කියලා ඔයාම හිතලා බලලා තීරණය කරන්න.

 මතක තියාගන්න: හැම තිස්සේම මෙසේජස් යවයව හිටියොත් ඔයා හොඳ පුරුදු දන්නේ නැති කෙනෙක් කියලා අනිත් අය හිතයි. යාළුවන්ටත් ඔයාව එපා වෙයි.

 “මෙසේජස් යවන්න පටන්ගත්තම ඉන්න තැනත් අමතක වෙනවා. සමහර වෙලාවට කා එක්ක හරි කතා කරකර ඉද්දී නැත්නම් කට්ටිය එක්ක කෑම කකා ඉද්දී මම මෙසේජස් යවනවා.”ඇලිසන්.

 “වාහනයක් එළවන ගමන් මෙසේජ් කරන එක හරිම භයානකයි. ලොකු අනතුරක් වෙන්න තත්පර ගාණක් ඇති.”ඈන්.

 බයිබලේ දෙන උපදෙස: “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. . . . නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.” (දේශනාකාරයා 3:1, 7) ඒ දේ ටෙක්ස් මෙසේජස්වලටත් අදාළ වෙනවා. මෙසේජස් යවන්න කාලයකුත් යවන්නේ නැතුව ඉන්න කාලයකුත් තියෙනවා.

 හිතන්න පැති

ඕනම කෙනෙක්ට මෙසේජස් යැව්වට කමක් නැද්ද?

  •  ;-)මෙසේජස් යවන එක ගැන දෙමාපියන් දෙන උපදෙස් පිළිපදින්න.—කොලොස්සි 3:20.

  •  ;-)ඔයාගේ ෆෝන් නම්බර් එක හැමෝටම දෙන්න එපා. ඔයා එච්චර දන්නේ නැති කෙනෙක් ඔයාගේ නම්බර් එක ඉල්ලුවොත් ඒක දෙන්න කැමති නැහැ කියලා එයාගේ හිත රිදෙන්නේ නැති විදිහට කියන්න. පොඩි වයසේ ඉඳලා ඔයාගේ පෞද්ගලික තොරතුරු හැමෝටම කියන්නේ නැතුව ඉන්න පුරුදු වෙන එක වැඩිහිටියෙක් වුණාමත් ඔයාට ප්‍රයෝජනවත්.

  •  ;-)අනිත් අයගේ හැඟීම් අවුස්සන විදිහේ මෙසේජස් යවන්න එපා. ඔයා යවන මෙසේජස් නිසා කෙනෙක්ට ඔයා ගැන හැඟීම් ඇති වුණොත් ඒකෙන් වෙන්නේ දෙන්නගෙම හිත් රිදෙන එක විතරයි.

 “මං ෆෝන් එක පාවිච්චි කරන්නේ හොඳට හිතලා බලලා කියලා අම්මලා දන්නවා. ඒ නිසා මං ෆෝන් එකෙන් කතා කරන, මෙසේජස් යවන අය ගැන එයාලා සැක කරන්නේ නැහැ.”බ්‍රියානා.

ඕනම දෙයක් මෙසේජ් එකකින් යැව්වට කමක් නැද්ද?

  •  ;-)මෙසේජ් එකක් ටයිප් කරන්න කලින් මේ ගැන හිතන්න. ‘මේක මෙසේජ් එකකින් කියන එකද හොඳම දේ?’ සමහර වෙලාවට මෙසේජ් එකක් යවනවට වඩා කෝල් එකක් දීලා හරි මුණගැහිලා හරි කතා කරන එක තමයි හොඳ.

  •  ;-)කෙනෙක්ට මූණට කියන්න බැරි දෙයක් මෙසේජ් එකකින් කියන්න එපා. ඒ ගැන අවුරුදු 23ක් වයස සේරා මෙහෙම කියනවා. “දෙයක් කෙළින් කියන්න බැහැ කියන්නේ ඒක මෙසේජ් එකකින් කියන්නත් බැහැ කියන එකයි.”

 “කවුරු හරි ඔයාට නරක පින්තූර එව්වොත් ඒ ගැන අම්මලට කියන්න. ඒක ඔයාට ආරක්ෂාවක් වගේම දෙමාපියන්ට ඔයා ගැන තියෙන විශ්වාසෙත් තව වැඩි වෙනවා.”සැවාන්.

ඕනම වෙලාවක මෙසේජ් කළාට කමක් නැද්ද?

  •  ;-)ඔයා මොන වගේ වෙලාවලදීද ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා කලින්ම තීරණය කරන්න. ඔලිවියා ඒ ගැන මෙහෙම කියනවා. “කෑම ගන්න කොට පාඩම් වැඩ කරන කොට මං මගේ ෆෝන් එක ළඟ තියාගන්නේ නැහැ. ඒ වගේම අපේ රැස්වීම්වලට ගියාම මං ෆෝන් එක ඕෆ් කරනවා. එතකොට මට ඒක බලන්නවත් හිතෙන්නේ නැහැ.”

  •  ;-)අනිත් අය ගැන හිතන්න. (ෆිලිප්පි 2:4) කා එක්ක හරි කතා කරකර ඉද්දී මෙසේජස් යවන්න එපා.

 “මම යාළුවෝ එක්ක ඉද්දී මෙසේජ් එකක් යවන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි. ඒ වගේම මම හොඳට දන්න කෙනෙක්ට ඇරෙන්න වෙන කාටවත් මගේ නොම්බරේ දෙන්නෙත් නැහැ.”යානෙලි.