Skip to content

යොවුන් සිතේ ගැටලු

ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?

ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?

 ඔයාට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

 පහළ තියෙන්නේ යෞවනයන් දෙන්නෙක්ගේ අද්දැකීම්:

 හැමදාම ජෙනිෆ ඉන්නේ දුකෙන්. කිසිම හේතුවක් නැතුව එයා හැම දවසකම වගේ අඬනවා. කාවවත් ආශ්‍රය කරන්න එයා කැමති නැහැ. කෑම කන්නවත් එයාට කිසිම ආසාවක් නැහැ. නින්ද යන්නේ නැහැ. කිසිම දේකට අවධානය දෙන්නත් බැහැ. ‘මොකක්ද මට මේ වෙන්නේ? කලින් මට මේ වගේ දැනුණේ නැහැනේ’ කියලා ජෙනිෆ කල්පනා කෙරුවා.

 මාක් පංතියේ වැඩවලට දක්ෂ ළමයෙක්. ක්‍රීඩාවටත් හරිම උනන්දුයි. ඒත් දැන් ඔහේ පැත්තකට වෙලා ඉන්නවා. එයාගේ ලකුණුත් එන්න එන්නම අඩුයි. ඉස්කොලේ යන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාගේ යාළුවන්ටත් තේරෙන්නේ නැහැ මාක්ට මොකක්ද මේ වෙන්නේ කියලා. එයාගේ අම්මලාටත් හරිම දුකයි දරුවාට වෙච්ච දේ ගැන. මේක නිකම් ඉඳලා හිටලා ඇති වෙන තත්වයක්ද? නැත්නම් මාක්ට මොකක් හරි අසනීපයක්ද?

 ඔයාත් ජෙනිෆ නැත්නම් මාක් මුහුණ දෙන තත්වයට මුහුණ දීලා තියෙනවාද? උත්තරේ ඔව් නම් මොනවාද ඒකට කරන්න පුළුවන්? සමහරවිට ඔයා මේ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා.

  1.   තනියෙම තත්වෙන් ගොඩ එන්න උත්සාහ කරනවා

  2.   විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක මේ ගැන කතා කරනවා

 ඔයාගේ ප්‍රශ්නෙ ගැන කාත් එක්කවත් කතා කරන්න ආස නැත්නම් පළවෙනි ක්‍රමය හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒත් බයිබලයේ මෙහෙම කියනවා. ‘එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. ඔවුන්ගෙන් එක් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා ඔහුව නැඟිටුවයි. එහෙත් තනිව සිටින කෙනෙකු වැටුණොත් ඔහුට කුමක් සිදු වෙයිද?’—දේශනාකාරයා 4:9, 10.

 මෙහෙම හිතන්න. ඔයා නොදන්න පළාතක අතරමං වෙලා. රෑ වෙන්නත් ළඟයි. ඒ පැත්තේ මිනිස්සුත් හරිම දරුණුයි. ඔයා මොකද කරන්නේ? තනියෙම පාර හොයා ගන්න උත්සාහ කරනවාද? නැත්නම් විශ්වාසවන්ත කෙනෙක්ගෙන් පාර අහනවාද?

 මානසික අවපීඩනය නිසා දුකෙන් ඉන්න එකත් හරියට නොදන්න පළාතක අතරමං වෙලා ඉන්නවා වගේ. ඔයාට ඇති වෙන දුක්බර හැඟීම් තියෙන්නේ කෙටි කාලයකට නම් තනියෙම ඔයාට ඒ තත්වෙට මුහුණ දෙන්න පුළුවන් වෙයි. ඒත් ඒ හැඟීම් කාලයක් පුරා තියෙනවා නම් තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න එක තමයි හොඳම දේ.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.’—හිතෝපදේශ 18:1.

 දෙවෙනි ක්‍රමය ඒ කියන්නේ විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක ඔයාට හැඟෙන දේ ගැන කතා කරන එකේ හුඟක් ප්‍රයෝජන තියෙනවා. මොකද එයාලා ඔයාගේ වයසේ ඉන්නකොට අද ඔයා අද්දකින දේ සමහරවිට අද්දැකලා ඇති.

 ඒත් ‘අම්මලාට බැහැ මගේ තත්වේ තේරුම්ගන්න’ කියලා ඔයාට හිතෙයි. ඇත්ත, එයාලා තරුණ කාලේ මුහුණ දීපු දේවල් ඔයා මුහුණ දෙන තත්වෙට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් එයාලා ඔයාගේ වයසේ ඉද්දී ඔයාගේ හිතට ආවා වගේ සිතුවිලි එයාලාගේ හිත්වලටත් එන්න ඇති. ඒ නිසා ඔයාට උදව් කරන්න සමහරවිට එයාලට පුළුවන් වෙයි.

  බයිබල් ප්‍රතිපත්තිය: “වයසින් මුහුකුරා ගිය අය ප්‍රඥාව අත් කරගෙන සිටිනවා නොවේද? බොහෝ කල් ජීවත් වූ විට තේරුම්ගැනීමේ හැකියාව තියුණු වන්නේ නැද්ද?”—යෝබ් 12:12.

 ඔයා අම්මලා එක්ක හරි විශ්වාසවන්ත වැඩිහිටි කෙනෙක් එක්ක හරි කතා කරනවා නම් හොඳ මඟ පෙන්වීම් එයාලාගෙන් ලැබෙයි.

මානසික අවපීඩනය නිසා දුකෙන් ඉන්න එකත් හරියට නොදන්න පළාතක අතරමං වෙලා ඉන්නවා වගේ. කාගෙන් හරි උදව් ලබාගන්න එක තමයි හොඳම දේ.

 බෙහෙත් ගන්න ඕන තරම් තත්වය දරුණුයිද?

 හැමදාම වගේ ඔයා ඉන්නේ දුකෙන් නම් ඔයාට තියෙන්නේ දරුණු මානසික අවපීඩන තත්වයක්. ඒකට වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න වෙයි.

 සාමාන්‍යයෙන් යොවුන් වයසේ ඉන්න ළමයි මූඩ් ගහනවා. ඒත් ඒක වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ඒත් මානසික අවපීඩන තත්වය නිසා ඇති වෙන දුක්බර සිතුවිලි දවස් ගණන්, සති ගණන් තියෙන්න පුළුවන්. ඔයා ඒ වගේ තත්වයකට මුහුණ දෙනවා නම් අම්මලා එක්ක කතා කරලා වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න එක හොඳයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් පලක් නැහැ.”—මතෙව් 9:12.

 වෛද්‍යවරයා කිව්වොත් ඔයාට තියෙන මානසික අවපීඩනයට බෙහෙත් ගන්න වෙයි කියලා ඒ ගැන ලැජ්ජ වෙන්න එපා. දැන් ගොඩක් තරුණ ළමයින්ට මානසික අවපීඩනය තියෙනවා. ඒක සනීප කරන්න බැරි ලෙඩක් නෙමෙයි. යාළුවන් ඔයාව කොන් කරයි කියලා බය වෙන්න එපා.

 යෝජනාවක්: දවසින් දෙකෙන් මේ තත්වය මඟහැරිලා යයි කියලා හිතන්න එපා. සමහර දවස්වලට ඔයා සතුටින් ඉඳියි. තවත් දවස්වලට පරණ තත්වෙටම වැටෙන්නත් ඉඩ තියෙනවා කියලා මතක තියාගන්න. a

 මානසික සුවය සඳහා කරන්න පුළුවන් දේ

 ඔයාගේ මානසික අවපීඩනයට බෙහෙත් ගත්තත් නැතත් ඔයාගේ හිතට දැනෙන දුක අඩු කරගන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ටිකක් ව්‍යායාම් කරන්න. පෝෂ්‍යදායි කෑම කන්න. රෑ වෙන කල් ඇහැරිලා ඉන්නේ නැතුව වෙලාවට නිදාගන්න. (දේශනාකාරයා 4:6; 1 තිමෝති 4:8, ‘නව අනුවාදය’) ඒ වගේම ඔයාගේ හිතට දැනෙන සිතුවිලි, ඔයාගේ මානසික සුවය සඳහා කරන්න පුළුවන් දේවල්, ආයෙත් පරණ තත්වයට වැටුණ දවස් සහ සතුටින් හිටිය දවස් ගැන පොතක ලියන්න.

 ඔයාට තියෙන්නේ බෙහෙත් ගන්න ඕන තරම් දරුණු මානසික තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා අද්දකින වේදනාකාරී තත්වයක් නිසා ටික කාලයක් ඔයා පීඩනයකින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ මොන දේ වුණත් මේ දේවල් අමතක කරන්න එපා. වැඩිහිටි කෙනෙකුගෙන් උදව් ඉල්ලන්න. මානසික සුවය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගැන සැලකිලිමත් වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ හිතට දැනෙන දුක නිවාගෙන මානසික අවපීඩනයෙන් ගොඩ එන්න.

 බයිබලයෙන් ලැබෙන සහනය

  •  “යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි. තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.”—ගීතාවලිය 34:18.

  •  “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ගීතාවලිය 55:22.

  •  “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. ‘භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි’ කියා ඔබට පැවසුවේ මමය.”—යෙසායා 41:13.

  •  “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න.”—මතෙව් 6:34.

  •  “ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන.”—ෆිලිප්පි 4:6, 7.

a ඔයාගේ ජීවිතේ නැති කරගන්න හිතෙනවා නම් ඉක්මනින්ම ඒ ගැන විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක කතා කරන්න. “ජීවිතය නැති කරගැනීමද විසඳුම?” කියන 2014 අප්‍රියෙල් ‘පිබිදෙව්!’ සඟරාවේ 6වෙනි පිටුවේ තොරතුරුත් කියවලා බලන්න.