Skip to content

පටුනට යන්න

දෙවිව සැඟවීමට විද්‍යාවට හැකිද?

දෙවිව සැඟවීමට විද්‍යාවට හැකිද?

දෙවිව සැඟවීමට විද්‍යාවට හැකිද?

එංගලන්තයේ වෙසෙන දර්ශනවාදියෙකු වන ඇන්ටනි ෆ්ලූ වසර 50ක් පුරා ප්‍රසිද්ධ වී සිටියේ දෙවි කෙනෙකුව විශ්වාස නොකරන කෙනෙක් ලෙසයි. වර්ෂ 1950දී ඔහු ලියූ “දේවධර්මය සහ බොරුව” යන ලිපිය “20වන සියවසේ වැඩියෙන්ම අළෙවි වූ ලිපිය බවට පත් වුණා.” ඊට අමතරව 1986දී ඇන්ටනි ප්‍රචලිත වුණේ “දෙවි කෙනෙකුව විශ්වාස කිරීම, තදින්ම විවේචනය කළ කෙනෙක්” හැටියටයි. නමුත් බොහෝදෙනෙකුව මවිතයට පත් කරමින් 2004දී ඔහු තම අදහස වෙනස් කරගත්තා.

ඔහු තම අදහස වෙනස් කරගැනීමට මූලික හේතුව වුණේ විද්‍යාවයි. විශ්වය, භෞතික නීති සහ ජීවය ගැන වැඩි වැඩියෙන් අධ්‍යයනය කරන විට ඒ සියල්ල පිටුපස යම් බුද්ධිමත් කෙනෙකු සිටිය යුතු බව ඔහු නිගමනය කළා. ඔහු පැමිණි නිගමනය සාධාරණද?

භෞතික නීති ඇති වුණේ කෙසේද?

භෞතික විද්‍යාඥ පෝල් ඩේවීස් පැවසුවේ වර්ෂාව වැනි භෞතික දේවල් සිදු වන ආකාරය ගැන අසන ඕනෑම ප්‍රශ්නයකට විද්‍යාවෙන් පිළිතුරු දිය හැකි බවයි. “නමුත් ‘භෞතික නීති ඇති වුණේ කෙසේද’ වැනි බැරෑරුම් ප්‍රශ්නවලදී තත්වය ඊට වඩා වෙනස්. විද්‍යාවෙන් කොතරම් දේවල් සොයාගෙන තිබුණත් මෙවැනි ප්‍රශ්නවලට තවමත් පිළිතුරු සොයාගෙන නැහැ” කියාද ඔහු පැවසුවා.

වර්ෂ 2007දී ෆ්ලූ මෙවැනි දෙයක් ලිව්වා. “භෞතික නීති තිබීම පුදුමයක්. ඊටත් වඩා පුදුමයක් වන්නේ ඒවා ඉතාමත් නිවැරදිව ක්‍රියාත්මක වීමයි. ඒ වගේම ඒවා වෙනස් නොවන අතර නීති ක්‍රියාත්මක වන්නේද එකිනෙකට සම්බන්ධවයි. මතු වන ප්‍රශ්නය වන්නේ භෞතික නීති ඇති වුණේ කෙසේද යන්නයි. මේවා පිටුපස බුද්ධිමත් කෙනෙකු සිටිය යුතු බව විද්‍යාඥ අයින්ස්ටයින්ද පැවසුවා. එමෙන්ම නිව්ටන්, අයින්ස්ටයින් සහ හයිසන්බර්ග් වැනි බොහෝ විද්‍යාඥයන් පවසන්නේ ඒවා බුද්ධිමත් දෙවි කෙනෙකුගේ නිර්මාණයන් බවයි.”

සියල්ල ආරම්භ කළේ බුද්ධිමත් කෙනෙකු බව සුප්‍රකට විද්‍යාඥයන් බොහෝදෙනෙක් පවා පිළිගන්නවා. අනික් අතට, විශ්වය, භෞතික නීති හා ජීවය අහම්බෙන් ඇති වුණා කියා පැවසීම සෑහීමට පත් විය හැකි පිළිතුරක් නොවෙයි. අපි ඕනෑම කෙනෙකු දන්නා දෙයක් වන්නේ සංකීර්ණ නිර්මාණයක් පිටුපස බුද්ධිමත් නිර්මාතෘ කෙනෙකු සිටින බවයි.

ඔබේ තේරීම කුමක්ද?

විද්‍යාවෙන් සම්පූර්ණයෙන්ම ඔප්පු කරන්න බැරි දේවල් තිබෙනවා. දෙවි කෙනෙකු සිටිනවාද නැද්ද යන කාරණය ඉන් එකක්. දෙවි කෙනෙකු නැහැ කියා ඔබ සිතනවා නම් සියල්ල අහම්බෙන් ඇති වුණා කියා විශ්වාස කිරීමට ඔබට සිදු වෙනවා. එසේ නැත්නම් සියල්ල පිටුපස බුද්ධිමත් නිර්මාතෘවරයෙකු සිටින බව විශ්වාස කිරීමට ඔබට සිදු වෙනවා. ‘අදේවවාදීන් අතරින් සමහර අය උත්සාහ කරන්නේ දෙවි කෙනෙකුව පිළිගැනීම කිසිම පදනමක් නැති අන්ධ විශ්වාසයක් බව පෙන්වන්නයි. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි’ කියා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ගණිතඥයෙකු වන මහාචාර්යය ජෝන් ලෙනොක්ස් පැවසුවා. එසේනම් නිවැරදි දේ කුමක්ද? දෙවි කෙනෙකු සිටිනවාද, නැද්ද? ඊට පිළිතුරු වශයෙන් ජීවයේ ආරම්භය ගැන ටිකක් සලකා බලමු.

පරිණාමවාදීන් පවා ජීවය ආරම්භ වුණේ කෙසේද යන ප්‍රශ්නයට තවම පිළිතුරක් සොයාගෙන නැහැ. රිචඩ් ඩෝකින්ස්, දෙවි කෙනෙකු නැහැ කියා පවසන අය අතරින් විප්ලවයක් ඇති කිරීමෙහි පෙරමුණ ගෙන සිටින කෙනෙක්. ඔහු පවසන්නේ විශ්වයේ තිබෙන ගණන් කළ නොහැකි ග්‍රහ වස්තු දෙස බලන කල ඉන් එකක ජීවය ඉබේම හටගත්තා කියා විශ්වාස කිරීම අසීරු දෙයක් නොවන බවයි. නමුත් බොහෝ විද්‍යාඥයන් ඊටඑකඟ වන්නේ නැහැ. මහාචාර්ය ජෝන් බැරෝ පැවසුවේ මෙයයි. “ක්‍රමක්‍රමයෙන් පරිණාමය වෙලා බුද්ධිමත් ජීවීන් ඇති වුණා කියලා ඔප්පු කරන්න බැහැ. ජීවය ඉබේම ඇති වෙන්න තියෙන ප්‍රවණතාවට වඩා වැඩි ප්‍රවණතාවක් තියෙන්නේ ඇති නොවෙන්නයි. කාබන් වැනි රසායනික මූලද්‍රව්‍ය කාලයක් පුරා තිබීමෙන් ජීවය ඇති වුණා කියලා පැවසීම පණ්ඩිත කතාවක් විතරයි.”

ජීවය කියන්නේ නිකන්ම රසායනික ද්‍රව්‍යයන් කිහිපයක එකතුවක් නොවෙයි. එය ඇති වීමටත් එහි පැවැත්මටත් සංකීර්ණ දත්ත අවශ්‍යයි. මේ දත්ත සියල්ල රඳවා තිබෙන්නේ DNA තුළයි. එසේනම් DNA අණුවට දත්ත ලැබුණේ කෙසේද? සංකීර්ණ පරිගණක වැඩසටහනක්, ගණිත වගුවක්, විශ්වකෝෂයක ඇති තොරතුරු හෝ අඩුම තරමින් සරල කෑම වට්ටෝරුවක්වත් ඉබේ ඇති විය හැකිද? බැහැ. සරල වුණත් දත්ත රැසක් සකස් කිරීමට නම් බුද්ධිමත් කෙනෙකු සිටිය යුතුයි. මෙහිදී අප මතක තබාගත යුතු වැදගත් කරුණ වන්නේ DNA අණුවක තිබෙන දත්ත මේ සියල්ලට වඩා ඉතා සංකීර්ණ වගේම කාර්යක්ෂම බවයි.

අහඹු සිදුවීම් විද්‍යාවට එකඟද?

අදේවවාදීන්ගේ මතය ගැන පෝල් ඩේවීස් විස්තර කළේ මෙසේයි. “විශ්වය පුදුමාකාර විදිහට අහම්බෙන් ඇති වී තිබෙනවා. ඉන්පසු ජීවයත් ඉබේම හටගත්තා. එහෙම වුණේ නැත්නම් අද අපි මෙහේ නැහැ. කොහොමවුණත් මේ කිසිම දෙයකට සැලැස්මක්වත් අරමුණක්වත් නැහැ. එහෙම තිබුණත් අපිට ඒක තේරුම්ගන්නත් බැහැ. ඒ නිසා මේ ගැන හිතන එකෙන්වත් හොයන එකෙන්වත් කිසිම පලක් නැහැ.”

අණුක ජීව විද්‍යාඥ මයිකල් ඩෙන්ටන් පැවසුවේ පරිණාමවාදය කිසිම සාක්ෂියක් නැතුව ගොඩනැඟූ මතයක් මිස ඊට කිසිම විද්‍යාත්මක පදනමක් නැති බවයි. ඔහු තවදුරටත් පැවසුවේ ඩාවින් ඉදිරිපත් කළ මතය මහා ප්‍රබන්ධ කතාවක් පමණක් කියායි.—Evolution: A Theory in Crisis.

ඇත්තෙන්ම අහඹු සිදුවීම් විද්‍යාවට එකඟ නැහැ. එය මෙසේ තේරුම්ගනිමු. පුරාවිද්‍යාඥයෙකුට ගලක් සම්බවුණා කියා සිතන්න. එහි ප්‍රමාණය සහ හැඩය දෙස බලමින් එය අහම්බෙන් ඇති වුණා කියා ඔහු නිගමනය කරන්න පුළුවන්. නමුත් ඔහුට ගලින් නෙළූ පිළිමයක් හමු වුණා කියා සිතන්න. එය අහම්බෙන් ඇති වුණා කියා ඔහු නිගමනය කරයිද? නැහැ. එය කවුරුන් හෝ නිර්මාණය කළා කියා ඔහු අනිවාර්යයෙන්ම තීරණය කරයි. එම තර්කයම බයිබලයේද යොදාගෙන තිබෙන්නේ මෙසේයි. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙව් 3:4) එවැනි තර්කයක් සාධාරණයි කියා ඔබ සිතන්නේ නැද්ද?

“විශ්වය ගැන වැඩි වැඩියෙන් දැනගන්නා විට අරමුණක් ඇතුව සියල්ල නිර්මාණය කළ දෙවි කෙනෙකු සිටින බවට ලැබෙන සාක්ෂි වැඩියි” කියා මහාචාර්යය ලෙනොක්ස් පැවසුවා.

බොහෝ අය දෙවි කෙනෙකුව විශ්වාස නොකිරීමට ඇති එක් හේතුවක් වන්නේ දෙවියන්ගේ නාමයෙන් කර තිබෙන දුෂ්ට ක්‍රියායි. ඒ නිසා සමහර අය සිතන්නේ කිසිම ආගමක් නැත්නම් මේ ලෝකය අදට වඩා සුන්දර ස්ථානයක් වෙනවා කියායි. නමුත් ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද?