Skip to content

පටුනට යන්න

අනගි දායාදයක් වන මීතෙන් වායුව

අනගි දායාදයක් වන මීතෙන් වායුව

අනගි දායාදයක් වන මීතෙන් වායුව

ලෝකයේ බල ශක්ති අවශ්‍යතාවෙන් සියයට 20කටත් වඩා සපුරන්නේ ස්වාභාවික සම්පතක් වන මීතෙන් වායුවයි. මෙය ලබාගන්නේ කෙසේද? එමෙන්ම යම් දිනක එය නැති වී යයිද?

මීතෙන් වායුව සෑදුණු ආකාරය විද්‍යාඥයන් විස්තර කරන්නේ මෙසේයි. ඈත අතීතයේදී සත්ව හා ශාක කොටස් දිරාපත් වෙමින් ඒවා තැන්පත් වූ අතර ඒ මත පස් හා ගල් තට්ටු ගොඩගැසුණා. මෙම දිරාපත් වූ සත්ව හා ශාක කොටස්වලට පස් තට්ටුවලින් ආ පීඩනයත් පොළොව යටින් ආ උෂ්ණත්වයත් නිසා ඒවා ෆොසිල ඉන්ධන බවට පත් වුණා. ෆොසිල ඉන්ධනවලට අයත් වන්නේ ගල් අඟුරු, බොර තෙල් සහ මීතෙන් වායුවයි. මෙසේ සෑදුණු මීතෙන් වායුව ටිකෙන් ටික ඉහළට පැමිණ තද ගල් තට්ටුවක් යට සිර වී නතර වුණා. සමහර තැන්වල මෙම වායුව ඝනමීටර් මිලියන ගණන් තැන්පත් වී තිබෙනවා. එවැනි ස්ථාන සොයාගන්නේ කෙසේද?

සොයාගන්නා ආකාරය

මීතෙන් වායුව සොයාගැනීමට චන්ද්‍රිකා හා පරිගණක තාක්ෂණය මෙන්ම වෙනත් ක්‍රමද භාවිත කරනවා. භූ විද්‍යාඥයන් යොදාගන්නා එක් ක්‍රමයක් වන්නේ ශබ්ද තරංග භාවිත කිරීමයි. විශේෂ රථයක් මගින් භූමියේ කම්පනයක් ඇති කරනවා. ඉන් ඇති වන ශබ්ද තරංග භූමියට කිඳාබැස නැවතත් මතුපිටට පැමිණෙන අතර පරිගණක තාක්ෂණය යොදාගනිමින් විද්‍යාඥයන් එම තරංග සටහන් කරගන්නවා. පසුව එම තොරතුරු භාවිත කරමින් පොළොව යට පිහිටීමේ ත්‍රිමාන රූප සකස් කරගන්නවා. එමගින් වායුව රැඳී තිබෙන ස්ථාන දැනගැනීමට ඔවුන්ට හැකියි.

මුහුදු පතුළේ තිබෙන මීතෙන් වායුව සොයාගැනීමට යොදාගන්නේද මෙම තාක්ෂණයමයි. නමුත් මෙහිදී ශබ්ද තරංග යැවීම සඳහා භාවිත කරන උපකරණ සවි කර තිබෙන්නේ නැවකටයි.

මීතෙන් වායුව පිටතට ගැනීමට අධික වියදමක් දැරිය යුතු නිසා එය විශාල වශයෙන් පිහිටි ස්ථාන නිශ්චය කරගැනීම අත්‍යවශ්‍යයි. වායු පීඩනය මැනිය හැකි ක්‍රම තිබුණත් කොතරම් වායු ප්‍රමාණයක් තිබෙනවාද කියා දැනගැනීම නම් අපහසුයි. ඒ සඳහා භාවිත කරන එක් ක්‍රමයක් වන්නේ මුලින් තිබෙන වායු පීඩනය මැන වායුවෙන් යම් ප්‍රමාණයක් පිටතට ඇදගැනීම සහ පසුව නැවතත් වායු පීඩනය මැනගැනීමයි. මිනුම් දෙක අතර විශාල වෙනසක් තිබෙනවා නම් ඉන් අදහස් කරන්නේ එම ස්ථානයේ මීතෙන් වායුව තිබෙන්නේ සුළු ප්‍රමාණයක් බවයි. අනික් අතට මිනුම් දෙක අතර තිබෙන්නේ සුළු වෙනසක් නම් එම ස්ථානයේ විශාල වායු ප්‍රමාණයක් තිබෙන බව නිගමනය කරනවා.

භාවිතයට සූදානම් කිරීම

පිටතට ගත් මීතෙන් වායුව පිරිපහදු කිරීම සඳහා අදාළ ස්ථාන කරා යවනවා. එහිදී කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ ජලය ඉවත් කරනවා. ඉන්පසුව දහනය නොවන නයිට්‍රජන් ඉවත් කිරීමටත්, හීලියම්, බියුටේන්, ඊතේන් හා ප්‍රොපේන් යන මූලද්‍රව්‍යයන් වෙන් කරගැනීමටත් මීතෙන් වායුව අඩු උෂ්ණත්වයකට ලක් කරනවා. අවසානයේදී ලැබෙන්නේ අවර්ණ, කිසිම සුවඳක් නැති මීතෙන් වායුවයි. එය වහා ඇවිලෙනසුලුයි.

පිරිසිදු කළ මීතෙන් වායුව නිවෙස්වල භාවිත කිරීමට පෙර එයට සැර දුගඳක් ඇති ද්‍රව්‍යයක් එක් කරනවා. එසේ කරන්නේ හදිසියේ කාන්දු වීමක් සිදු වුණොත් ඒ ස්ථානය හඳුනාගෙන විය හැකි හානිය වැළැක්වීමටයි. කොහොමවුණත් ගල් අඟුරු හා තෙල් වැනි ෆොසිල ඉන්ධන තරම් මෙය පරිසරයට අහිතකර නැහැ.

ප්‍රවාහණය කිරීම සඳහා පිරිසිදු කළ මීතෙන් වායුවේ උෂ්ණත්වය පහළ දමනවා. එසේ කිරීමෙන් එය දියරයක් බවට පත් වෙන අතර එහි තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් වායුද වෙන් වෙනවා. මෙම වායු දෙක භාවිත කරමින් තවත් ඉන්ධනයක් වන LP ගෑස් නිෂ්පාදනය කරනවා. මෙය නිවෙස්වලට පමණක් නොව වාහනවලටත් භාවිත වෙනවා. ඊට අමතරව බියුටේන් හා ප්‍රොපේන් වායු ප්ලාස්ටික්, සමහර ද්‍රාවකයන්, සමහර කෘතිම කෙඳි වර්ග වැනි දේවල් නිෂ්පාදනය කිරීමටත් භාවිත කරනවා.

සීමිත සම්පතක්

අනිකුත් ෆොසිල ඉන්ධන මෙන්ම මෙම වායුවත් හිඟ වෙමින් පවතිනවා. විද්‍යාඥයන් ගණන් බලා තිබෙන ආකාරයට මෙම ඉන්ධනය දැනට පොළොව යට ඉතිරි වී තිබෙන්නේ සියයට 45ක් පමණයි. ඒ අනුව එම ප්‍රමාණය පරිහරණයට ගත හැකි වන්නේ තව වසර 60ක කාලයකට පමණයි. නමුත් දිනෙන් දින ඉන්ධන ඉල්ලුම වැඩි වන නිසා එපමණ කාලයක් එය ලබා දිය හැකිද කියා සැක මතු වී තිබෙනවා.

සමහර රටවල සිදු වන දියුණුව දෙස බලන විට ස්වභාවික සම්පත් අසීමිත ලෙස තිබෙනවා කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ෆොසිල ඉන්ධනවලට අමතරව න්‍යෂ්ටික බලය, සූර්ය බල ශක්තිය සහ සුළං ආධාරයෙන් බල ශක්තිය ලබාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් දිනෙන් දින ඉන්ධනවලට සහ බල ශක්තියට තිබෙන ඉල්ලුම වැඩි වන නිසා මේවායින් එම ඉල්ලුම සපුරාලිය හැකි වෙයිද? ඒ වගේම මේවා පරිසරයට හානියක් වෙයිද? මේ සියල්ලට කාලය විසින් පිළිතුරු දෙයි.

[14වන පිටුවේ රූප සටහන⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

මීතෙන් වායුව නිවෙස්වල භාවිත කිරීමට පෙර පිරිපහදු කිරීම සඳහා යවනවා

[රූප සටහන]

වායු ළිඳ

පිරිපහදු මධ්‍යස්ථානය

බෙදාහරින ආයතනය

[13වන පිටුවේ පින්තූරය]

විශේෂ රථයක් මගින් භූමියේ කම්පනයක් ඇති කර එම ශබ්ද තරංග භූමිය තුළට යවයි

[13වන පිටුවේ පින්තූරය]

භූ විද්‍යාඥයන් මතුපිටට එන එම තරංග භාවිත කරමින් ත්‍රිමාන රූප සකස් කරයි

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © Lloyd Sutton/​Alamy; bottom: © Chris Pearsall/​Alamy