Skip to content

පටුනට යන්න

ඕස්ට්‍රේලියාවෙන් එන පුංචි රසවතෙක්

ඕස්ට්‍රේලියාවෙන් එන පුංචි රසවතෙක්

ඕස්ට්‍රේලියාවෙන් එන පුංචි රසවතෙක්

ක්වීන්ස්ලන්තයේ වැසි වනාන්තරවලින් අලුත් ශාක විශේෂයක් සොයාගත්තා. සමහර අය පැවසුවේ එහි ගෙඩිවල මදය විෂ බවයි. නමුත් උද්භිද විද්‍යාඥ වෝල්ට හිල් බලා සිටියදී ඔහුගේ සහයකයා එම ගෙඩියක මදය කෑවත් ඔහුට කිසිවක් සිදු වුණේ නැහැ. එය ප්‍රණීත ආහාරයක් බව ඔහු දැනගත්තා. පසුව විද්‍යාඥයාත් කෑවා. ඔහුත් නිගමනය කළේ එය රසවත් ආහාරයක් බවයි. ඒ නිසා ඔහු ලොව පුරා සිටින තම මිතුරන්ටත් සෙසු විද්‍යාඥයන්ටත් යැව්වා. *

මේ පුංචි රසවතාව හඳුන්වන්නේ මැකඩේමියා ලෙසයි. ඕස්ට්‍රේලියාවට ආවේණික වූ එය, අද වන විට ලෝක ප්‍රසිද්ධයි. එක් සඟරාවක එය මේ ආකාරයට විස්තර කර තිබෙනවා. “කජු වැනි ආහාර අතරින් මැකඩේමියාවලට විශේෂ තැනක් හිමි වෙනවා. ඊට හේතුව මැකඩේමියා මදවල ඇති ප්‍රණීත රසය, ස්වභාවය හා වර්ණයයි.”—Chronica Horticulturae.

අපහසු කාර්යයක්

මැකඩේමියා ශාකය වැඩෙන්නේ ඕස්ට්‍රේලියාවේ නැඟෙනහිර මුහුදු තීරයෙයි. මැකඩේමියා විශේෂ නවයක් තිබෙන අතර ආහාරයට ගත හැක්කේ ඉන් විශේෂ දෙකක් පමණයි. මැකඩේමියා ගෙඩිවල කෙඳි සහිත ලෙල්ලක්ද ලා දුඹුරු පැහැති තද කටුවක්ද තිබෙනවා. කඩල ඇටයක් තරම් වූ ක්‍රීම් පැහැති මදය තිබෙන්නේ එම කටුව ඇතුළෙයි. ආහාරයට ගන්නේ මෙම මදයයි.

කටුව තද නිසා කඩන්න හුඟක් අමාරුයි. * ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් මේ කටුව කැඩීමට ගල් භාවිත කළ අතර තවත් අය භාවිත කළේ මිටියයි කිණිහිරයයි. උදාහරණයකට වතු හිමියෙකු වූ ජෝන් වෝල්රන්, මැකඩේමියා මදය ලබාගැනීම සඳහා වසර 50ක්ම භාවිත කළේ මෙම ක්‍රමයයි. පසු කාලවලදී මේ සඳහා යන්ත්‍ර භාවිත කළත් ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. ඊට හේතුව යන්ත්‍ර මගින් මදයට හානි වීමයි. නමුත් අද වන විට ඒ සඳහා සාර්ථක යන්ත්‍ර නිර්මාණය කර තිබෙනවා.

මුල් කාලයේදී මැකඩේමියා ශාක බෝ කරගැනීමත් ගැටලුවක් වුණා. හොඳ බීජ පැළ කළත් ඒවායින් හොඳ පලදාවක් ලැබුණේ නැහැ. ඒ වගේම බද්ධ කිරීමත් අසාර්ථක වුණා. මේ හේතු නිසා ව්‍යාපාරයක් ලෙස මැකඩේමියා වගා කිරීම ඇණහිටියා. කෙසේවෙතත් පසු කාලයේදී හවායි දූපත්වල වගාකරුවෝ මේ සියල්ලටම විසඳුමක් සොයාගත්තා. වැඩි කාලයක් යෑමට පෙර ලොව පුරා බෙදාහැරිය මැකඩේමියාවලින් සියයට 90ක්ම බෙදාහැරියේ ඔවුනුයි.

ඕස්ට්‍රේලියාවේ වගාකරුවෝ නැවත වරක් 1960 ගණන්වල ව්‍යාපාරයක් ලෙස මැකඩේමියා ශාක වගා කිරීමට පටන්ගත්තා. දැන් ලොව පුරා යවන මැකඩේමියාවලින් සියයට 50ක්ම සපයන්නේ ඕස්ට්‍රේලියාවයි. ඊට අමතරව අප්‍රිකාවේ, ආසියාවේ සහ මධ්‍යම ඇමරිකාවෙත් මේවා වගා කරනවා.

මැකඩේමියා වගා කරන ආකාරය

දැන් අපි නිව් සවුත් වේල්ස්හි මැකඩේමියා වත්තක සංචාරය කරමු. එහි අයිතිකරු වන ඇන්ඩෘ, පිබිදෙව්! ලේඛකට පැවසුවේ මෙයයි. “මුලින්ම අපි විවිධ මැකඩේමියා ශාක වර්ග තෝරාගෙන, එක පේළියක එක වර්ගයකුත් අනික් පේළියේ තවත් වර්ගයකුත් සිටින ආකාරයට පැළ කරනවා. එසේ කිරීමෙන් පරාගනය සාර්ථක වෙනවා.” ඕස්ට්‍රේලියාවේ වගා කරන මැකඩේමියා ශාකවලින් සියයට 80ක් පමණ මුල් වතාවට වගා කළේ හවායි දූපත්වලයි. නමුත් දැන් කැලෑවේ වැඩෙන මැකඩේමියා ශාකවලින් වඩාත් හොඳින් පල දරන ශාක බිහි කිරීමට ඕස්ට්‍රේලියාවට හැකි වී තිබෙනවා.

වත්තේ ගස් පලින් බර වෙලා තියෙන්නේ හරියට ගඩුගුඩා පොකුරු එල්ලෙනවා වගෙයි. සාමාන්‍යයෙන් ගෙඩි පැහෙන්න මාස හයක් විතර යනවා. ඊටපස්සේ ගෙඩි ටික බිමට වැටෙනවා. බිම වැටිලා තියෙන සමහර ගෙඩිවල හිල් තියෙනවා අපි දැක්කා. එතකොට ඇන්ඩෘ කිව්වා “මේවා මීයන්ගේ වැඩ. කට්ට කොච්චර හයිය වුණත් උන් විනාඩියකට ගෙඩි හත අටක් කාලා දානවා. වල් ඌරනුත් මේවට හරි කැමතියි” කියලා. බොහෝ වගාකරුවන් මේ ගෙඩි අහුලාගැනීමට ඒ සඳහාම නිර්මාණය කළ විශේෂ යන්ත්‍රයක් භාවිත කරනවා. එකතු කළ මැකඩේමියා ගෙඩි තෝරලා ලෙලි ඉවත් කරලා කර්මාන්ත ශාලාවට යවනවා. එහිදී ඒවායේ මදය අරන් වර්ග කර අපනයනය කරනවා.

රසයෙන් ගුණයෙන් අනූනයි

අපේ සංචාරය අවසානයේදී අපටත් රසවත් මැකඩේමියා අහුරක රස බලන්න ලැබුණා. ඒවා කොච්චර රසද කියනවා නම් එක පාරක් කෑවොත් ආපහු කන්න හිතෙනවා. මෙතරම් රස මැකඩේමියාවල ගුණය ගැන කියන්න පුළුවන් කුමක්ද? මැකඩේමියා මදයේ තිබෙන තෙල් ප්‍රමාණය බොහෝදුරට සියයට 72ක ඉක්මවනවා. විවිධ ඇට වර්ගවලින් තෙල් ලබාගත්තත් වැඩිම තෙල් ප්‍රමාණයක් ලබාගත හැකි වන්නේ මැකඩේමියා මදවලිනුයි. නමුත් මෙම තෙල් ශරීරයට අහිතකර නැහැ. මෑතකදී කළ පර්යේෂණවලින් හෙළි වුණේ මැකඩේමියා මද නිසි ප්‍රමාණයෙන් ආහාරයට ගන්නවා නම් ශරීරයේ තිබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන්ම අධි රුධිර පීඩනය අඩු කරගත හැකි බවයි.

අද දින මැකඩේමියා මද දමා සෑදූ චොක්ලට්, බිස්කට් සහ අයිස් ක්‍රීම් වර්ග වෙළඳපොළේ තිබෙනවා. සමහර අය මැකඩේමියා මද අමුවෙන්ද තවත් අය රටකජු වගේ බැදලා කන්නද කැමතියි. කොහොම කෑමට ගත්තත් රසයෙන් ගුණයෙන් අනූන මැකඩේමියාවලට බොහෝදෙනා ප්‍රිය කරනවා.

[පාදසටහන්වල]

^ 2 ඡේ. ඊට වසර ගණනාවකට පෙර, ගවේෂකයන් වූ කනිංහැම් (1828) සහ ලයිකාට් (1843) මැකඩේමියා ගෙඩි සොයාගෙන තිබුණත් ඒ ගැන විස්තරයක් කර තිබුණේ නැහැ. වර්ෂ 1857දී උද්භිද විද්‍යාඥ ෆර්ඩිනන්ඩ් ෆොන් මුලර් මෙම ශාකයට මැකඩේමියා යන නම තැබුවේ ඔහුගේ මිත්‍රයෙකු වන වෛද්‍ය ජෝන් මැකඩම් සිහි කිරීම සඳහායි.

^ 6 ඡේ. මෙම කටුව කොතරම් තදයිද කියනවා නම් එය කුඩු කර වැලිකඩදාසි වැනි දේවල් සෑදීමට භාවිත කරනවා.

[23වන පිටුවේ කොටුව]

කටුවලින් ඉන්ධන

මැකඩේමියා ගෙඩියේ තිබෙන තද කටුව, පොල් කටු අඟුරු වගේ භාවිත කරනවා. ඕස්ට්‍රේලියාවේ එක් තාප බලාගාරයක් ඉන්ධන ලෙස භාවිත කරන්නේ මැකඩේමියා කටුයි. එහි නිපදවන විදුලි බලය කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනයට ගන්නා අතර ඒ අවට ප්‍රදේශවලටත් බෙදාහරිනවා. අනාගතයේදී වතු හිමියන් සපයන මැකඩේමියා කටු ප්‍රමාණය වැඩි වන විට නිපදවිය හැකි විදුලි බල ප්‍රමාණයද වැඩි වෙයි.

[23වන පිටුවේ පින්තූර]

ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම අලුත් මැකඩේමියා පැළ දහස් ගණනක් සිටුවයි

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos pages 22 and 23: Australian Macadamia Society