Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

දරුවන් කැදැල්ලෙන් ගිය දාට

දරුවන් කැදැල්ලෙන් ගිය දාට

ප්‍රශ්නය

විවාහක යුවළක් එයාලගේ ජීවිතේ අභියෝගාත්මකම කාලයකට මුහුණ දෙන්නේ දරුවන් උස් මහත් වෙලා ගෙදරින් ගියාට පස්සෙයි. ඒ කාලෙදී ඒ දෙන්නාට ලොකු තනිකමක්, පාළුවක් දැනෙනවා. දෙන්නා අතරේ තියෙන බැඳීම අඩු වෙලා කියලත් හිතෙනවා. පවුල් උපදේශකයෙක් වන ගැරී මෙහෙම කියනවා. * “දරුවන් ගෙදර නැති නිසා දෙමාපියන්ට කතා කරන්න තියෙන දේවල් අඩුයි. ඒ වගේ හුඟක් යුවළයන්ට නැති වුණු බැඳීම ආයෙත් ඇති කරගෙන ආදරෙන් දේවල් කරන්න මං උදව් කරලා තියෙනවා.”

ඔයාගේ පවුලේ තත්වයත් ඒ වගේද? එහෙමනම් ඔය දෙන්නාට පුළුවන් මුලින් තිබුණු ආදරය, බැඳීම ආයෙත් ඇති කරගන්න. ඒත් ඊට කලින් දෙන්නා අතරේ මෙච්චර දුරස්කමක් ඇති වුණේ මොන වගේ දේවල් නිසාද කියලා අපි බලමු.

ඇයි එහෙම වෙන්නේ?

අවුරුදු ගාණක්ම දෙමාපියන්ගේ මුළු ලෝකෙම වුණේ දරුවන්. ගොඩක් දෙමාපියන් ඒ දෙන්නාගේ ඕනෑ එපාකම්වලට වඩා මුල් තැන දෙන්නේ දරුවන්ගේ ඕනෑ එපාකම්වලට. ඒ නිසා සැමියා, බිරිඳ කියන චරිත අමතක කරලා අම්මායි, තාත්තායි කියන චරිතවල එයාලා ජීවත් වෙනවා. දරුවෝ උස් මහත් වෙලා ගෙදරින් ගියාට පස්සෙත් ඒක වෙනස් කරගන්න එයාලට අමාරුයි. වයස 59ක බිරිඳක් කියපු මේ දේ බලන්න. “දරුවෝ ඉද්දී එයාලත් එක්ක එකතු වෙලා මටයි මගේ මහත්තයාටයි අඩු තරමින් දේවල් එකට කරන්න අවස්ථාව ලැබුණා. ඒත් දරුවෝ ගෙදරින් ගියාට පස්සේ තිබුණු ඒ බැඳීමත් නැති වුණා. අපි දෙන්නාට දෙන්නා රුස්සන්නේ නැතුව ගියා. දවසක් මං එයාට කිව්වා ඔයා නිසා මට හරි කරදරයි කියලා.”

ජීවිතේ පෙරළුණු අලුත් පිටුවට හැඩගැහෙන්න හුඟක් යුවළයන්ට අමාරුයි. “අලුත බැඳපු දෙන්නෙක්ට එකිනෙකාට හැඩගැහෙන්න කාලයක් යනවා. දරුවන් ගෙදරින් ගියාට පස්සේ යුවළක් මුහුණ දෙන්නෙත් ඒ වගේ කාලෙකට” කියලා එක පොතක සඳහන් වෙනවා. (Empty Nesting) ඉස්සර වගේ එකතු වෙලා කරන්න දේවල් දැන් අඩු නිසා සැමියා සැමියාගේ ලෝකෙත් බිරිඳ බිරිඳගේ ලෝකෙත් තනි වෙනවා. යුවළක් විදිහට එකට වැඩ කරනවාට වඩා එක ගෙදරක ඉන්න බෝඩිංකාරයෝ වගෙයි එයාලා ඉන්නේ.

ඒත් ඒ උගුලට වැටෙන්නේ නැතුව ඔය දෙන්නාගේ අලුත් ජීවිතය රසවත් කරගන්න ඔයාලට පුළුවන්. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ඒකට උදව් වෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

කරන්න පුළුවන් දේ

යථාර්ථයට මුහුණ දෙන්න. කරදඬු උස් මහත් වුණාට පස්සේ දරුවෙක් එයාටම කියලා ජීවිතයක් හදාගන්න එක සාමාන්‍ය දෙයක්. ‘මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වෙනවා’ කියලා බයිබලයේ කියලා තියෙනවා. (උත්පත්ති 2:24) දෙමාපියන් විදිහට ඔයාලගේ වගකීම වුණේ දරුවන්ව හොඳ වැඩිහිටියන් වෙන්න පුහුණු කරන එකයි. එහෙම බලද්දී දරුවා එයාටම කියලා ජීවිතයක් හදාගෙන ගෙදරින් ගියා කියන්නේ දෙමාපියන් විදිහට ඔයාලගේ වගකීම හොඳින් කළා කියන එකයි. ඒ ගැන හිතලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්.—බයිබල් ප්‍රතිපත්තිය: මාක් 10:7.

ඇත්ත. දරුවෝ වැඩිහිටියන් වුණත් එයාලා හැමදාමත් ඔයාලගේ දරුවෝ. ඒත් එහෙම කියලා එයාලගේ පස්සෙන් ඉඳන් හැම දේම හොයලා බලන්න එපා. ඒ වෙනුවට ඔයාලගෙන් උපදෙසක් මඟ පෙන්වීමක් ඉල්ලුවොත් ඒක එයාලට දෙන්න. එහෙම කරද්දී දරුවන් එක්ක හොඳ බැඳීමක් තියාගන්නත් විශේෂයෙන්ම ඔයාගේ සැමියා, බිරිඳ වෙනුවෙන් වැඩිපුර අවධානයක් දෙන්න කාලය හොයාගන්නත් ඔයාට පුළුවන්. *බයිබල් ප්‍රතිපත්තිය: මතෙව් 19:6.

හිතේ තියෙන දේ හංගන්නේ නැතුව කියන්න. අලුත් වෙනස ගැන ඔයාට දැනෙන්නේ කොහොමද කියලා ඔයාගේ සැමියාට, බිරිඳට කියන්න. එයාට හැඟෙන විදිහ ගැන කියද්දීත් හොඳට ඇහුම්කන් දෙන්න. ඉවසීමෙන් එයාව තේරුම්ගන්න බලන්න. ඔය දෙන්නාගේ බැඳීම තව ශක්තිමත් වෙන්න යම් කාලයක් යයි. ඒත් ඒ වෙනුවෙන් ගන්න උත්සාහය අපතේ යන්නේ නැහැ.—බයිබල් ප්‍රතිපත්තිය: 1 කොරින්ති 13:4.

එකට කරන්න පුළුවන් අලුත් දේවල් හොයාගන්න. ජීවිතයේ අලුත් ඉලක්ක ඇති කරගෙන දෙන්නාම එකතු වෙලා ඒවා ජය ගන්න. දෙන්නාම ආස කරන දේවල් එකතු වෙලා කරන්න. කාලයක් තිස්සේ දරුවන්ව උස් මහත් කරලා ඔය දෙන්නාට හුඟක් අද්දැකීම් තියෙනවා. ඒ අද්දැකීම්වලින් අනිත් අයට උදව් කරන්න.—බයිබල් ප්‍රතිපත්තිය: යෝබ් 12:12.

මුලින් තිබ්බ ආදරේ මතක් කරගන්න. සැමියාට, බිරිඳට හිත ඇදිලා යන්න හේතු වුණු ගුණාංග ගැන ආයෙත් හිතන්න. ඉඳලා හිටලා අතීත සිද්ධීන් ගැන කතා කරන්න. කාලෙන් කාලෙට ආපු කුණාටු වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු විදිහ ගැන කල්පනා කරන්න. ඒ විදිහට ඔයාලගේ ජීවිතේ ඇති වුණු ඒ අලුත් වෙනසට මුහුණ දෙනවා නම් ඔයාලගේ විවාහ ජීවිතය තවත් හොඳ අතට හරවගන්න පුළුවන් වෙයි. බැඳපු අලුත වගේ ආදරෙන් ඉන්නත් ඔයාලට පුළුවන් වෙයි.

^ 4 ඡේ. Emotional Infidelity කියන පොතෙන්.

^ 12 ඡේ. දරුවෝ තාමත් ඉන්නේ ඔයාලා එක්ක වුණත් ඔය දෙන්නා “එක් කෙනෙක්” කියලා අමතක කරන්න එපා. (මාක් 10:8) තමන්ගේ අම්මායි තාත්තායි අතර හොඳ බැඳීමක් තියෙනවා දකිද්දී දරුවන්ට ලොකු සුරක්ෂිතකමක් දැනෙනවා.