Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ශාක ලෝකයේ දීප්තිමත්ම නිල

ශාක ලෝකයේ දීප්තිමත්ම නිල

පොලියා බෙරි වැවෙන්නේ අප්‍රිකාවේ. ඒ ගෙඩිවල තියෙන නිල් පැහැය තමයි ශාක ලෝකයේ තියෙන දීප්තිමත්ම නිල. ඒත් පුදුමේ තමයි ඒ ගෙඩියේ එක නිල් වර්ණකයක්වත් නැති එක. කොහොමද එහෙම වෙන්නේ?

මේ ගැන හිතන්න: ඒ බෙරි ගෙඩියේ පොත්තේ තියෙන සෛල බිත්තියේ සියුම් තන්තු තියෙනවා. ඒ තන්තු හැදිලා තියෙන්නේ පේළියට තියපු ගිනිකූරු තට්ටු කිහිපයක් එක උඩ එක සර්පිලාකාර හැඩයට තියලා තියෙනවා වගෙයි. ඔප කරපු ලෝහයකින් එන දීප්තිමත් නිලක් ඒකට ලැබිලා තියෙන්නේ තන්තු පිහිටලා තියෙන ඒ හැඩය නිසා මිසක් වර්ණක නිසා නෙමෙයි. සෛල බිත්තියේ තියෙන සෛල වැඩි හරියක් පේන්නේ නිල් පාටට වුණත් විවිධ පැතිවලින් බලද්දී කොළ, රෝස, කහ වගේ පාටත් දැකගන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ තට්ටු නැත්නම් ස්ථරවල ඝනත්වයේ සියුම් වෙනස්කම් තියෙන නිසයි. ඈතින් බලද්දී එච්චර ලස්සන නිලක් පේන්න තිබුණත් ඒ ගෙඩිය දිහා කිට්ටුවෙන් බලද්දී පේන්නේ බොඳ වුණු පාට කිහිපයක්.

පොලියා බෙරි ගෙඩියේ කිසිම වර්ණකයක් නැති නිසා ඒක නටුවෙන් ගිලිහුණාට පස්සෙත් ඒ නිල් පැහැයේ වෙනසක් වෙන්නේ නැහැ. සියවසකටත් වඩා පැරණි වුණත් පැහැයේ කිසිම වෙනසක් වෙලා නැති පොලියා බෙරි හොයාගෙන තියෙනවා. පොලියා ගෙඩියේ මදයක් නැහැ. තියෙන්නේ ඇට විතරයි. ඒත් ඒ ගෙඩියේ පාට නිසා කුරුල්ලන්ට ඒක අතහැරලා යන්න හිත දෙන්නේ නැහැ කියලා පර්යේෂකයන් කියනවා.

වර්ණක නැතුව වුණත් ලස්සන පාටක් විහිදුවන්න මේ ගෙඩියට තියෙන හැකියාව යොදාගෙන අවපැහැගැන්වෙන්නේ නැති සායම් වර්ග, ව්‍යාජ විදිහට පිටපත් කරන්න බැරි කඩදාසි වගේ තවත් ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

ඔයාගේ නිගමනය මොකක්ද? මේ තරම් දීප්තිමත් නිලක් පොලියා බෙරිවලට ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක කාගේ හරි නිර්මාණයක්ද?