Skip to content

පටුනට යන්න

අපි දුක් විඳින්නේ, වයසට යන්නේ, මැරෙන්නේ ඇයි?

අපි දුක් විඳින්නේ, වයසට යන්නේ, මැරෙන්නේ ඇයි?

අපේ නිර්මාතෘ අපිව සලකන්නේ ඔහුගේ දරුවෝ වගේ. අපි දුක් විඳිනවාට ඔහු පොඩ්ඩක්වත් කැමති නැහැ. එහෙනම් ඇයි මිනිස්සු මෙච්චර දුක් විඳින්නේ?

මුල් දෙමාපියන් කරපු වරද නිසා

“එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.”—රෝම 5:12.

දෙවියන් මුල්ම යුවළ වුණ ආදම් සහ ඒවව නිර්මාණය කළේ කිසිම අඩුවක් නැතුව. ඔහු ඒ දෙන්නාට ඒදන් කියන ලස්සන උයනේ ජීවත් වෙන්න අවස්ථාව දුන්නා. උයනේ තිබ්බ ගස්වලින් කන්න එයාලට අවසර තිබුණත් එක ගහකින් විතරක් කන්න එපා කියලා දෙවියන් එයාලට කිව්වා. හැබැයි ආදම් සහ ඒව දෙවියන් කන්න එපා කියපු ගහෙන් කාලා දෙවියන්ට අකීකරු වුණා. දෙවියන් ඒක සැලකුවේ පාපයක් විදිහට. (උත්පත්ති 2:15-17; 3:1-19) ඒ නිසා දෙවියන් එයාලව ඒ ලස්සන උයනෙන් එළවලා දැම්මා. එදා ඉඳන් එයාලට ගොඩක් දුක් විඳින්න වුණා. කාලයක් ගියාට පස්සේ එයාලට දරුවෝ ලැබුණා. එයාලා වින්ද දුක දරුවන්ටත් උරුම වුණා. ඒ හැමෝම වයසට ගිහින් මැරුණා. (උත්පත්ති 3:23; 5:5) අපිත් අද ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ අපේ මුල් දෙමාපියන් කරපු ඒ වරද නිසයි.

සාතන් සහ භූතයන් නිසා

“මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්.”—1 යොහන් 5:19.

එතන “දුෂ්ටයා” කියලා කියන්නේ සාතන්ට. සාතන් කියන්නේ දෙවියන්ට විරුද්ධව කැරලිගහපු දේවදූතයෙක්. (යොහන් 8:44; එළිදරව් 12:9) කාලයත් එක්කම තව දේවදූතයෝ හුඟදෙනෙක් සාතන්ට එකතු වුණා. එයාලව හඳුන්වන්නේ භූතයෝ කියලා. සාතන්ටයි භූතයන්ටයි ඕනෙ කොහොමහරි මිනිසුන්ව නොමඟ යවලා නිර්මාතෘගෙන් ඈත් කරන්න. ඒ විතරක් නෙමෙයි ගොඩක් නරක දේවල් කරන්නත් එයාලා මිනිසුන්ව පොලඹවනවා. (ගීතාවලිය 106:35-38; 1 තිමෝති 4:1) මිනිසුන්ට දුක් විඳින්න සලස්වලා සාතන් සහ භූතයෝ ලොකු සතුටක් ලබනවා.

අපේම වැරදි නිසා

“කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

මිනිස්සු දුක් විඳින්නේ පාපය උරුම කරගත්ත නිසා, සාතන්ගේ බලපෑම නිසා විතරක්ම නෙමෙයි. එයාලගෙම වැරදි නිසාත් එයාලා දුක් විඳිනවා. එහෙම කියන්නේ ඇයි? වැරදි දේවල් කරද්දී, මෝඩ තීරණ ගද්දී එයාලා නෙළාගන්නේ නරක ප්‍රතිඵල. අනිත් අතට හොඳ දේවල් කළාම එයාලා හොඳ ප්‍රතිඵල නෙළාගන්නවා. උදාහරණෙකට පවුලේ මූලිකයෙක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරද්දී, හැම දේකදීම අවංක වෙද්දී, පවුලේ අයව ආදරෙන් බලාගද්දී පවුලේ හැමෝම ඉන්නේ සතුටින්. හැබැයි සූදුවට, බීමට ඇබ්බැහි වුණ කෙනෙක්, කම්මැළි කෙනෙක් එයාගේ පවුලේ හැමෝවම හිඟමනට ඇදලා දානවා. අපේ නිර්මාතෘ කැමතියි අපි හොඳ දේවල් කරලා “මහත් සමාදානයක්” අද්දකිනවා දකින්න. (ගීතාවලිය 119:165) ඒ නිසයි අපි හැම තිස්සේම ඔහුට ඇහුම්කන් දෙන්න ඕනේ.

අපි ඉන්නේ “අවසාන කාලයේ” නිසා

‘අවසාන කාලයේදී මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, දෙමාපියන්ට අකීකරු වන, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන අය වනු ඇත.’—2 තිමෝති 3:1-5.

අද ඉන්න හුඟදෙනෙක් ඒ වගේ නේද? ශුද්ධ ලියවිල්ලේ කලින්ම කියලා තිබුණු ඒ අනාවැකියෙන් පැහැදිලියි අපි ඉන්නේ “අවසාන කාලයේ” කියලා. ඒ විතරක් නෙමෙයි මේ කාලේ යුද්ධ, ආහාර හිඟකම්, දරුණු භූමිකම්පා, වසංගත ඇති වෙනවා කියලත් ශුද්ධ ලියවිල්ලේ කලින්ම කියලා තිබුණා. (මතෙව් 24:3, 7, 8; ලූක් 21:10, 11) ඒ දේවල් නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. දහස් ගාණකගේ ජීවිත නැති වෙලා තියෙනවා.