Skip to content

පටුනට යන්න

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්

අපේ නිර්මාතෘ නිකම්ම බලවත් කෙනෙක් විතරක් නෙවෙයි. ඔහුට හිත් ඇදගන්න ගුණාංග හුඟක් තියෙනවා. ඔහු කැමති අපි ඔහු ගැන දැනගෙන ඔහුගේ යාළුවෙක් වෙනවාට. (යොහන් 17:3; යාකොබ් 4:8) ඒ නිසයි ඔහු කවුද කියලා අපිට හෙළි කරලා තියෙන්නේ.

අපේ නිර්මාතෘට නමක් තියෙනවා

“යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවටම මහෝත්තම දෙවි බව සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.”—ගීතාවලිය 83:18.

එකම සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ කියනවා. ඔහු තමයි විශ්වය ඇතුළු හැම දෙයක්ම නිර්මාණය කළේ. ඒ නිසා අපේ නමස්කාරය ලබන්න වටින්නේ ඔහු විතරයි.—එළිදරව් 4:11.

යෙහෝවා ආදරණීය දෙවි කෙනෙක්

“දෙවි ප්‍රේමයයි.”—1 යොහන් 4:8.

යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා ඔහු බයිබලෙන්, නිර්මාණය කරලා තියෙන දේවල්වලින් අපිට හෙළි කරලා තියෙනවා. ආදරේ තමයි ඔහුගේ ප්‍රධානම ගුණාංගය. ඔහු හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලා. යෙහෝවා ගැන අපි දැනගන්න තරමට ඔහු ගැන අපේ හිතේ තියෙන ආදරෙත් තව වැඩි වෙනවා.

යෙහෝවා සමාව දෙන දෙවි කෙනෙක්

‘ඔබ සමාව දීමට කැමති දෙවි කෙනෙක්.’—නෙහෙමියා 9:17.

අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා කියලා යෙහෝවා දෙවියන් දන්නවා. ඒ නිසා අපිට ‘සමාව දෙන්න ඔහු කැමැත්තෙන් ඉන්නවා.’ අපි අපේ අතින් වුණ වැරදිවලට සමාව ඉල්ලද්දී ඒවා හදාගන්න මහන්සි වෙද්දී ඔහු අපිට සමාව දෙනවා. කලින් කරපු වැරදි මතක තියාගෙන ඔහු අපිට දඬුවම් කරන්නේ නැහැ.—ගීතාවලිය 103:12, 13.

යෙහෝවා අපිට ඇහුම්කන් දෙන දෙවි කෙනෙක්

‘යෙහෝවා දෙවි තමාට හඬගසන සියල්ලන්ට සමීපව සිටියි. උපකාරය ඉල්ලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙයි.’—ගීතාවලිය 145:18, 19.

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න විශේෂ පූජාවන්, පිළිම වගේ දේවල් ඕනෙ නැහැ. අපි ඔහුට යාච්ඤා කරද්දී ඔහු අපිට ඇහුම්කන් දෙන්නේ හරියට ආදරණීය තාත්තා කෙනෙක් එයාගේ දරුවාට ඇහුම්කන් දෙනවා වගේ.