Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

තියෙන දෙයින් සෑහීමට පත් වීම සහ ත්‍යාගශීලී වීම

අද ඉන්න ගොඩක් අය හිතන්නේ ජීවිතේ සතුට, සාර්ථකත්වය රඳා පවතින්නේ සල්ලි මත කියලා. ඒ නිසා ඒගොල්ලෝ සල්ලි හම්බ කරන්න රැයක් දවාලක් නැතුව මැරීගෙන වැඩ කරනවා. ඒත් සල්ලි හොඳට තිබුණා කියලා කෙනෙක් ඇත්තටම සතුටින් ඉන්නවා කියලා කියන්න පුළුවන්ද? අපි ඒ ගැන ටිකක් හොයලා බලමු.

එක සඟරාවක මෙහෙම කියනවා. “වැඩිපුර සල්ලි තිබුණා කියලා හිතේ සතුට වැඩි වෙන්නේ නැහැ. අපේ මූලික අවශ්‍යතා සපුරාගන්න අවශ්‍ය මුදල් තියෙනවා නම් ඒ ඇති.” (Journal of Happiness Studies) එහෙමනම් සල්ලි හම්බ කරන එක වැරදිද? නැහැ. ජීවත් වෙන්න සල්ලි ඕනේ. ඒත් “කෙනෙක් සල්ලි මත්තෙම නැහෙන්න ගියොත් එයාට තියෙන සතුටත් නැති වෙන්න පුළුවන්” කියලා තව සඟරාවක කියනවා. (Monitor on Psychology) ඒ වගේ අදහසක් මීට අවුරුදු 2,000කට විතර කලින් බයිබලයෙත් සඳහන් කරලා තියෙනවා. එතන කියන්නේ මෙහෙමයි. ‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැක ඇත.’ (1 තිමෝති 6:9, 10) මුදල් පස්සේ යන කෙනෙක් අද්දකින වේදනාකාරී දේවල් මොනවාද?

ධන සම්පත් නැති වෙයි කියන බය නිසා හිතට කිසිම සැනසීමක් නැහැ. “සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහොමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය. එහෙත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.”—දේශනාකාරයා 5:12.

බලාපොරොත්තු වුණ සතුට ලැබුණේ නැති වුණාම කලකිරෙනවා. ධන සම්පත්වලට තියෙන ආසාව කවදාවත් නැති වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ ‘රිදීවලට ඇලුම් වන්නා රිදී ලැබුණත් ධනයට ඇලුම් වන්නා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි’ කියලා. (දේශනාකාරයා 5:10) සල්ලි පස්සේ යන කෙනෙක්ට පවුලේ අය, යාළුවෝ වෙනුවෙන් දෙන්න කාලයක් නැහැ. ජීවිතේට නියම සතුටක් ගේන ඒ වගේ වටිනා දේවල් එයා සල්ලි නිසා නැති කරගන්නවා.

වත්කම්වල වටිනාකම අඩු වෙද්දී නැත්නම් පාඩු ලබද්දී කනස්සල්ල ඇති වෙනවා. ‘පොහොසත් වීමට වෙහෙස නොවන්න. සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද? ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.’—හිතෝපදේශ 23:4, 5.

නියම සතුට ලබන්න නම් . . .

තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න. ‘අප මෙලොවට කිසිවක් ගෙනාවේ නැත. එයින් කිසිවක් ගෙන යෑමටත් නුපුළුවන. අපට කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් ඒ දේවලින් සෑහීමට පත් වෙමු.’ (1 තිමෝති 6:7, 8) තියෙන දෙයින් සෑහීමට පත් වෙන කෙනෙක් නැති දේවල් ගැන ළත වෙන්නේවත් අනිත් අයට තියෙන දේවලට ඊර්ෂ්‍යා කරන්නේවත් නැහැ. එහෙම කෙනෙක් අනවශ්‍ය කනස්සල්ලෙන්, මානසික පීඩනයෙන් නිදහස්!

ත්‍යාගශීලී වෙන්න. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා.” (ක්‍රියා 20:35) ත්‍යාගශීලී කෙනෙක් නිතරම අනිත් අය වෙනුවෙන් දේවල් කරලා ලබන්නේ ලොකු සතුටක්! ඒ වගේ කෙනෙක්ට අනිත් අයගේ ආදරය, ගෞරවය ලැබෙනවා. හොඳ යාළුවන් ඇති කරගන්නත් පුළුවන් වෙනවා. ත්‍යාගශීලී කෙනෙක්ට අනිත් අයත් කැමැත්තෙන්ම උදව් කරනවා.—ලූක් 6:38.

සල්ලිවලට වඩා අනිත් අය ගැන හිතන කෙනෙක් වෙන්න. අනිත් අයත් එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න එක සල්ලිවලට වඩා වටින්නේ නැද්ද? බයිබලයෙත් කියන්නේ ‘වෛරයෙන් යුතුව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය’ කියලා. (හිතෝපදේශ 15:17) කොච්චර සල්ලි තිබුණත් බැඳීම් සල්ලිවලට ගන්න බැහැ.

දකුණු ඇමරිකාවේ ජීවත් වෙන සබීනාගේ අද්දැකීම බලන්න. මහත්තයා එයාව දාලා ගියාට පස්සේ දරුවෝ දෙන්නා බලාගන්න සබීනාට රැකියා දෙකක් කරන්න වුණා. වැඩට යන්න එයා හැමදාම පාන්දර හතරට නැඟිට්ටා. කාර්යබහුල ජීවිතයක් ගත කළත් එයා බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා.

එහෙම කළා කියලා එයාගේ ප්‍රශ්න නැති වුණේ නැහැ. ඒත් එයා හිටියේ සතුටින්. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්” කියන දේ එයා අද්දැක්කා. (මතෙව් 5:3) හොඳ යාළුවන් හොයාගන්න එයාට පුළුවන් වුණා. දෙවියන් ගැන එයා ඉගෙනගත්ත දේවල් අනිත් අයට කියලා දෙන එකෙනුත් එයා ලොකු සතුටක් ලැබුවා.

බයිබලයේ කියනවා කෙනෙක් ‘ප්‍රඥාවන්තයෙක් කියා ඔප්පු වන්නේ ඔහුගේ ක්‍රියාවලින්’ කියලා. (මතෙව් 11:19) ඒ නිසා තියෙන දෙයින් සෑහීමට පත් වෙමු. ත්‍යාගශීලී වෙමු. අනිත් අය ගැන හිතමු. එහෙම කරද්දී නියම සතුට ලබාගන්න අපිටත් පුළුවන්.