Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

මානසික සහ ශාරීරික නිරෝගිකම

මානසික සහ ශාරීරික නිරෝගිකම

දරුණු ලෙඩක්, ආබාධිත තත්වයක් නිසා ජීවිතයේ සතුට අහිමි වෙන්න පුළුවන්. උල්ෆ් කියන්නේ හිටි හැටියේම අංශභාගය හැදිලා එක්තැන් වුණ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “එකපාරටම මෙහෙම වුණාම මට දරාගන්න බැරුව ගියා. ‘මෙහෙම ජීවත් වෙලා මොකටද’ කියලා මට හිතුණා.”

උල්ෆ්ට වගේ අපිටත් බලාපොරොත්තු නොවුණ විදිහේ අසනීප තත්වයන්ට මුහුණ දෙන්න වෙයි. සමහරවිට දවසින් දවස ඒක තවත් දරුණු අතට හැරෙන්නත් පුළුවන්. එහෙම වෙද්දී ඒක අපේ මනසටත් ලොකු බරක්. ඒ කියන්නේ ආයේ කවදාවත් අපිට සතුටින් ඉන්න බැහැ කියන එකද? ඒ ගැන බලන්න කලින්, නිරෝගීව ඉන්න අපිට කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන බලමු.

‘සීමාව දැනගෙන කටයුතු කරන්න.’ (1 තිමෝති 3:2, 11) කිසිම සීමාවක් නැතුව කන බොන එක අපේ සෞඛ්‍යයට අහිතකරයි. ඒකෙන් අතේ තියෙන මුදල් පවා නිකරුණේ නාස්ති වෙනවා. “වයින්වලට ලොල් වූ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න. මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය” කියලා බයිබලයේ කියන්නේ ඒ නිසයි.—හිතෝපදේශ 23:20, 21.

ශරීරය දූෂ්‍ය කරන දේවලින් වළකින්න. “අපගේ මනස සහ ශරීරය අපවිත්‍ර කරවන සෑම දෙයකින්ම ඉවත් වී අපි අපවම පවිත්‍ර කරගනිමු.” (2 කොරින්ති 7:1) දුම්කොළ, මත්ද්‍රව්‍ය සහ සීමාව ඉක්මවා මත්පැන් ගන්න කෙනෙක් තමන්ගේ ශරීරය අපවිත්‍ර කරගන්නවා. උදාහරණෙකට එක්සත් ජනපදයේ රෝග මර්ධන සහ වළක්වාගැනීම සඳහා පිහිටුවා තියෙන ආයතනවලින් කියන විදිහට සිගරට් බොන එකෙන් “ශරීරයේ හැම අවයවයකටම හානි වෙනවා. ඒ නිසා දරුණු ලෙඩ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.”

ජීවිතය වටිනා තෑග්ගක් විදිහට සලකන්න. ‘අපේ ජීවිතයත් පැවැත්මත් අප කරන සෑම දෙයක්මත් රඳා පවතින්නේ දෙවි මතයි.’ (ක්‍රියා 17:28) ජීවිතය දෙවියන්ගෙන් අපිට ලැබුණ තෑග්ගක්. ඒක අගය කරන කෙනෙක් ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන් කිසිම දෙයක් කරන්නේ නැහැ. රැකියා ස්ථානයේදී, රිය පදවද්දී, විනෝදයට දේවල් කරද්දී වුණත් ජීවිතේ අවදානමේ දාගන්නේ නැහැ.

කේන්තිය, කනස්සල්ල වගේ හැඟීම් පාලනය කරගන්න. අධික ලෙස කෝප වීම, අනවශ්‍ය විදිහට කනස්සලු වීම, ඊර්ෂ්‍යාව වගේ හැඟීම් කෙනෙක්ගේ සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්. “කෝප වීමෙන් වළකින්න” කියලත් “හෙට දවස ගැන කනස්සලු නොවන්න” කියලත් බයිබලයේ කියන්නේ ඒ නිසයි.—ගීතාවලිය 37:8; මතෙව් 6:34.

හොඳ සිතුවිලිවලින් මනස පුරවාගන්න. “සන්සුන් මනසක් ගතට සුවයක්” කියලත් “ප්‍රීතිමත් සිතක් හොඳ ඖෂධයක්” කියලත් බයිබලයේ කියනවා. (හිතෝපදේශ 14:30; හිතෝපදේශ 17:22) බයිබලයේ කියන ඒ අදහස මොන තරම් නිවැරදිද කියලා වෛද්‍යවරයෙක් වන ඩෙරික් කොක්ස් කියපු මේ දෙයිනුත් පැහැදිලියි. “දුකින් ඉන්න කෙනෙක්ට වඩා සතුටින් ඉන්න කෙනෙක් අසනීප වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි.”

ප්‍රශ්න ගැටලුවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගන්න. කලින් සඳහන් කරපු උල්ෆ්ට වගේ අපිටත් සමහර බාධක එක්ක ජීවිත කාලේ පුරාම සටන් කරන්න වෙයි. ඒත් ඒවා නිසා අපි අධෛර්ය වුණොත් කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක් තමයි වෙන්නේ. මොකද බයිබලයේ කියන විදිහට ‘දුක් කරදර පැමිණෙන විට අධෛර්යයට පත් වෙනවා නම් ශක්තියත් හීන වෙනවා.’—හිතෝපදේශ 24:10.

ප්‍රශ්න එද්දී මුළු ලෝකෙම කඩා වැටුණා වගේ දැනුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන විදිහ ඉගෙනගන්න අපිට පුළුවන්. උල්ෆ් ඒක කළේ කොහොමද? එයා යාච්ඤා කළා. බයිබලයේ තියෙන ප්‍රීතිමත් බලාපොරොත්තුව ගැන හිතුවා. කරන්න බැරි දේවල් ගැන ළත වෙනවා වෙනුවට කරන්න පුළුවන් දේවල් ගැන හිතුවා. අනිත් අයව හොඳින් තේරුම්ගන්න එකත් ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න අයට බයිබලයේ තියෙන ලස්සන බලාපොරොත්තුව ගැන කියන එකත් ගොඩක් වැදගත් කියලා එයා තේරුම්ගත්තා.

ස්ටීව් ජීවිතේ කටුක අද්දැකීමකට මුහුණ දුන්න තවත් කෙනෙක්. අනතුරක් නිසා අවුරුදු 15දී එයාගේ බෙල්ලෙන් පහළ පණ නැතුව ගියා. අවුරුදු 18 වෙද්දී එයාට එයාගේ අත්දෙක පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් වුණා. ඊටපස්සේ එයා විශ්වවිද්‍යාලෙට ගියාම මත්ද්‍රව්‍ය, මත්පැන්වලට ඇබ්බැහි වුණා. අනාචාරයට වැටුණා. ඒත් බයිබලය ඉගෙනගන්න පටන්ගත්තාම ඒ නරක පුරුදුවලින් අයින් වෙලා ජීවිතය වෙනස් කරගන්න එයාට පුළුවන් වුණා. එයා මෙහෙම කියනවා. “මම ගත කළේ කිසි තේරුමක් නැති ජීවිතයක්. දැනුයි මම ජීවිතේ නියම සතුට අද්දකින්නේ.”

බයිබලයේ තියෙන මේ වදන් මොන තරම් ඇත්තක්ද කියලා උල්ෆ්ගේ සහ ස්ටීව්ගේ අද්දැකීම්වලින් පැහැදිලියි. ‘යෙහෝවා දෙවිගේ නීතිය පරිපූර්ණය. එය කෙනෙකුව හරි මාර්ගයට ගෙනෙන්නේය. යෙහෝවා දෙවිගේ නියෝග සාධාරණය. ඒවා සිතට සතුටක් ගෙන දෙන්නේය.’—ගීතාවලිය 19:7, 8.