Skip to content

යේසුස්ගේ පෙනුම මොන වගේද?

යේසුස්ගේ පෙනුම මොන වගේද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 යේසුස්ගේ පෙනුම ගැන බයිබලයේ විස්තර කරලා නැති නිසා ඔහුගේ පෙනුම හරියටම මොන වගේද කියලා කවුරුත් දන්නේ නැහැ. යේසුස්ගේ පෙනුම ගැන බයිබලයේ සඳහන් වෙලා නැති එකෙන් පැහැදිලි වෙනවා ඔහුගේ පෙනුම ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි කියන එක. කොහොමවුණත් යේසුස්ගේ පෙනුම මොන වගේ තියෙන්න ඇතිද කියලා අඳුනගන්න උදව් වෙන තොරතුරු කීපයක් බයිබලයේ තියෙනවා.

  •   හැඩරුව: යේසුස් යුදෙව් ජාතියට අයිති කෙනෙක් වුණ නිසා ඔහුගේ මව වගේ ඔහුටත් සාමාන්‍යයෙන් යුදෙව්වන්ට තියෙන හැඩරුව තියෙන්න ඇති. (හෙබ්‍රෙව් 7:14) අනිත් මිනිසුන්ට වඩා කැපිලා පෙනුණු විශේෂ හැඩරුවක් යේසුස්ට තිබුණා කියලා හිතන්න බැහැ. මොකද එක සැරයක් ඔහු ගලීලයේ ඉඳන් යෙරුසලමට රහසින් යද්දී මිනිසුන් ඔහුව හඳුනගත්තේ නැහැ. (යොහන් 7:10, 11) පෙනෙන විදිහට යේසුස් ඔහුගේ කිට්ටුම ගෝලයන් අතරේ ඉද්දීවත් ඔහුව කැපිලා පෙනිලා නැහැ. යේසුස්ව අල්ලගන්න කට්ටියක් ආපු වෙලාවේ යූදස් ඉස්කාරියොත් එයාලට යේසුස්ව හඳුනගන්න ලකුණක් දීපු එකෙන් ඒක පැහැදිලියි.—මතෙව් 26:47-49.

  •   හිසකෙස්: යේසුස්ගේ හිසකෙස් ගොඩක් දිගට තිබුණා කියලා හිතන්න බැහැ. මොකද බයිබලයේ කියන්නේ “පුරුෂයෙකුට දිග කෙස් වැටියක් ඇත්නම් එය ඔහුට අගෞරවයක්” කියලයි.—1 කොරින්ති 11:14.

  •   රැවුල: යේසුස් මුහුණ පුරා රැවුල වවලයි හිටියේ. “රැවුල විකෘති ලෙස කපා නොගන්න” කියලා යුදෙව් නීතියේ තිබුණු ආඥාවට ඔහු කීකරු වුණා. (ලෙවී කතාව 19:27; ගලාති 4:4) යේසුස් ගැන සඳහන් වෙලා තිබුණු අනාවැකියකත් යේසුස්ගේ රැවුල ගැන සඳහන් කරලා තියෙනවා.—යෙසායා 50:6.

  •   සිරුර: තොරතුරුවලින් පැහැදිලි වෙන්නේ යේසුස් ශක්තිමත් සිරුරක් තිබුණු කෙනෙක් කියලයි. දේශනා සේවය කරද්දී ඔහු සැතපුම් ගණනාවක් දුර ගියා. (මතෙව් 9:35) දෙවතාවක්ම ඔහු දේවමාලිගාව පවිත්‍ර කරන්න මුදල් මාරු කරන අයගේ මේස පෙරළලා දැම්මා. එක අවස්ථාවකදී ඔහු ලණුවලින් කසයක් හදාගෙන දේවමාලිගාවේ විකුණන්න ගෙනත් හිටිය සතුන්ව එළවලා දැම්මා. (ලූක් 19:45, 46; යොහන් 2:14, 15) මක්ලින්ටොක් හා ස්ට්‍රෝන්ගේ විශ්වකෝෂයේ (ඉංග්‍රීසියෙන්) මෙහෙම කියලා තියෙනවා. “සුවිශේෂ වාර්තා සලකලා බලද්දී [යේසුස්ට] ශක්තිමත් සිරුරක්, නිරෝගී සෞඛ්‍යයක් තිබුණා කියලා පැහැදිලියි.”

  •   මුහුණේ ඉරියව්: යේසුස් හුඟක් කරුණාවන්ත, මෘදු කෙනෙක් වුණු හින්දා ඔහුගේ මුහුණෙන් ඒ ගුණාංග පෙනුණු බවට කිසිම සැකයක් නැහැ. (මතෙව් 11:28, 29) හැම තරාතිරමකම මිනිසුන් සහනයක්, උදව්වක් ලබාගන්න යේසුස් ළඟට ආවේ ඒ නිසයි. (ලූක් 5:12, 13; 7:37, 38) පුංචි දරුවනුත් යේසුස් ළඟට යන්න පොඩ්ඩක්වත් බය වුණේ නැහැ.—මතෙව් 19:13-15; මාක් 9:35-37.

යේසුස්ගේ පෙනුම ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: බයිබලයේ එළිදරව් පොතේ යේසුස්ගේ හිසකෙස් ලොම්වලටත් පාද ‘ඉස්තරම් තඹවලටත්’ සමාන කරලා තියෙන නිසා සමහරු කියනවා යේසුස් අප්‍රිකානු ජාතිකයෙක් කියලා.—එළිදරව් 1:14, 15.

 ඇත්ත මේකයි: එළිදරව් පොතේ තොරතුරු වාර්තා කරලා තියෙන්නේ “සංකේත යොදාගෙන.” (එළිදරව් 1:1) යේසුස්ගේ හිසකෙස් සහ පාදවලට සංකේත යොදාගෙන තියෙන්නේ යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ ඔහුගේ ගතිගුණ විස්තර කරන්න මිසක් ඔහු පොළොවේ ඉද්දී ඔහුට තිබුණු පෙනුම ගැන විස්තර කරන්න නෙවෙයි. “ඔහුගේ හිසකෙස් සුදු ලොම් මෙන්ද හිම මෙන්ද සුදුව තිබිණ” කියලා එළිදරව් 1:14 සඳහන් කරලා තියෙන්නේ පාටවලින් යමක් සංකේත කරන්න මිසක් ඔහුගේ හිසකෙස් ලොම් වගේ කියලා කියන්න නෙවෙයි. ඒ පදයේ “සුදු ලොම්” සහ “හිම” කියන වචන යොදාගෙන තියෙන්නේ දෙවිගේ මුල්ම නිර්මාණය වන යේසුස් ජීවත් වෙලා තියෙන කාලය අනුව බලද්දී ඔහුට මොන තරම් ප්‍රඥාවක් තියෙනවද කියන එක පැහැදිලි කරන්නයි.—එළිදරව් 3:14.

 ‘යේසුස්ගේ පාද උදුනක දැල්වෙන ඉස්තරම් තඹ මෙන්ය. ඔහුගේ මුහුණ මහත් දීප්තියකින් බැබළෙන හිරුට සමානය’ කියලා බයිබලයේ කියනවා. (එළිදරව් 1:15, 16) කිසිම ජාතියකට අයත් කෙනෙක්ගේ හමේ පාට ඒ පදවල විස්තර කරලා තියෙන පාටට සමාන වෙන්නේ නැහැ. ඒ නිසා ඒ තොරතුරු විස්තර කරලා තියෙන්නේ සංකේත හැටියට කියලා පැහැදිලියි. ඒ සංකේතවලින් විස්තර කරලා තියෙන්නේ නැවත නැඟිටුණු යේසුස් ‘කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ වාසය කරන’ විදිහයි කියලා හිතන්න පුළුවන්.—1 තිමෝති 6:16.

 වැරදි මතය: යේසුස් දුර්වල බියගුළු කෙනෙක්.

 ඇත්ත මේකයි: යේසුස් දුර්වල කෙනෙක්වත් බියගුළු කෙනෙක්වත් නෙවෙයි. උදාහරණයකට මිනිසුන් ඔහුව අත්අඩංගුවට ගන්න ආපු වෙලේ තමන් යේසුස් කියලා හඳුන්වලා දෙන්න ඔහු පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. (යොහන් 18:4-8) ඒ වගේම වඩුවෙක් විදිහට ඒ කාලේ තිබුණු උපකරණ පාවිච්චි කරලා වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න නම් යේසුස්ට ලොකු ශක්තියක් තියෙන්න ඕනේ.—මාක් 6:3.

 ඇයි එහෙනම් වධකණුව අරගෙන යන්න යේසුස්ට උදව් ඕන වුණේ? වධකණුවල ඇණ ගහලා හිටිය අනිත් අපරාධකාරයන්ට කලින් යේසුස් මැරුණේ ඇයි? (ලූක් 23:26; යොහන් 19:31-33) යේසුස් මැරෙන්න කලින් ඔහුගේ ශරීරය හොඳටම දුර්වල වෙලයි තිබුණේ. මුළු රාත්‍රිය පුරාම ඔහුට නින්ද ගියෙත් නැහැ. ඔහුගේ සිතට දැනුණු වේදනාව ඒකට හේතුවක් වෙන්න ඇති. (ලූක් 22:42-44) රාත්‍රිය පුරාම යුදෙව්වන් ඔහුට පීඩා කළා. උදෑසන රෝමවරු ඔහුට වධ හිංසා කළා. (මතෙව් 26:67, 68; යොහන් 19:1-3) ඔහුගේ මරණය ඉක්මන් වෙන්න ඒ දේවල් හේතු වෙන්න ඇති.

 වැරදි මතය: යේසුස් කනස්සල්ලෙන් මලානිකව හිටිය කෙනෙක්.

 ඇත්ත මේකයි: “ප්‍රීතිමත් දෙවි” විදිහට හඳුන්වලා තියෙන ස්වර්ගයේ ඉන්න තමන්ගේ පියාගේ ගුණාංග යේසුස් ඒ විදිහටම අනුකරණය කළා. (1 තිමෝති 1:11; යොහන් 14:9) ඒ විතරක් නෙවෙයි සතුටින් ඉන්න පුළුවන් විදිහ ගැන යේසුස් අනිත් අයටත් ඉගැන්නුවා. (මතෙව් 5:3-9; ලූක් 11:28) ඒ දේවලින් පැහැදිලි වෙන්නේ යේසුස් හැම තිස්සෙම සතුටින් හිටිය කෙනෙක් කියලයි.