යොහන් 14:1-31

14  “ඔබේ සිත් කලබල කරගන්න එපා.+ දෙවි කෙරෙහි විශ්වාසය තබන්න.+ මා කෙරෙහිත් විශ්වාසය තබන්න.+  මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා.+ එසේ නැත්නම් මම ඔබ සමඟ ඒ ගැන කතා කරන්නේ නැහැ. මම ඔබ සඳහා ස්ථානයක් සූදානම් කරන්න+ යන්නේ එය සැබෑවක් වන නිසයි.  මා ගොස් ඔබට ස්ථානයක් සූදානම් කරනවා නම් මම නැවත එන බව+ මතක තබාගන්න. එවිට මම ඇවිත් ඔබව මගේ නිවසට පිළිගන්නවා.+ ඒ අනුව මා සිටින තැන ඔබටත් සිටිය හැකියි.+  දැනටමත් මා යන ස්ථානයට පැමිණිය යුතු මාර්ගය ඔබ දන්නවා.”  එවිට තෝමස්+ ඔහුට මෙසේ කීවේය. “ස්වාමීනි, ඔබ යන්නේ කොහේද කියා අපි දන්නේ නැහැ.+ අපි කොහොමද ඒ මාර්ගය දන්නේ” කියා ඇසුවේය.  යේසුස් ඔහුට මෙසේ කීවේය. “මාර්ගයත්+ සත්‍යයත්+ ජීවනයත්+ මමයි. මා තුළින් මිස කිසිවෙකුට පියාණන් ළඟට යා නොහැකියි.+  ඔබ මාව හඳුනනවා නම් ඔබට මගේ පියාණන්වත් හඳුනාගන්න පුළුවන්. ඇත්තෙන්ම මේ මොහොතේ පටන් ඔබ ඔහුව හඳුනනවා. එමෙන්ම ඔබ ඔහුව දුටු බවත් කියන්න පුළුවන්.”+  ෆිලිප් ඔහුට මෙසේ පැවසුවේය. “ස්වාමීනි, අපට පියාණන්ව පෙන්නන්න. අපට ඒ ඇති.”  යේසුස් ඔහුට මෙසේ කීවේය. “ෆිලිප්, මම මෙතරම් කලක් ඔබ සියල්ලන් සමඟ කාලය ගත කර තිබියදීත් ඔබ මාව හඳුනන්නේ නැද්ද? මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා.+ එසේනම් ‘අපට පියාණන්ව පෙන්නන්න’+ කියා ඔබ කියන්නේ ඇයි? 10  මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත්+ ඔබ විශ්වාස කරන්නේ නැද්ද? මම ඔබ සැමට කියා දෙන දේවල් මගේම දේවල් නොවෙයි. මා සමඟ එකට බැඳී සිටින පියාණන් තමන්ට අවශ්‍ය දේ මා තුළින් ඉටු කරයි.+ 11  මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් පියාණන් මා සමඟ එකට බැඳී සිටින බවත් මම කියන විට එය විශ්වාස කරන්න. එසේත් නැත්නම් මා සිදු කරන ක්‍රියාවන් දෙස බලා විශ්වාසයක් ඇති කරගන්න.+ 12  ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, මා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාත් මා කරන ක්‍රියා කරන බවයි. ඇත්තෙන්ම දැන් මම පියාණන් ළඟට යන නිසා+ ඒ තැනැත්තා මීටත් වඩා මහත් ක්‍රියා කරයි.+ 13  ඔබ මගේ නාමයෙන් මොනව හරි දෙයක් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා. එවිට පුත්‍රයා මාර්ගයෙන් පියාණන්ව ගෞරවයට පත් වෙයි.+ 14  ඔබ ඕනෑම දෙයක් මගේ නාමයෙන් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා. 15  “ඔබ මට ප්‍රේම කරනවා නම් මම ආඥා කළ දේවල් ඔබ පිළිපදිනවා.+ 16  මම පියාණන්ගෙන් තවත් ඉල්ලීමක් කරනවා. එවිට ඔබේ උපකාරයට ඔහු යමක් එවයි. ඒ දේ ඔබට සැමදා උපකාරයක් වෙයි.+ 17  එය නම් සත්‍යය එළිදරව් කරන ඔහුගේ බලයයි.+ එය ලබාගැනීමට ලෝකයට නොහැක්කේ+ එහි ක්‍රියාකාරිත්වය දකින්නවත් තේරුම්ගන්නවත් ලෝකයට බැරි නිසයි. නමුත් ඔබ ඒ ගැන දන්නවා. මන්ද එය ඔබට දැන් තිබෙන අතර එය ඔබ තුළ ක්‍රියාත්මක වෙනවා.+ 18  මම දැන් ඔබෙන් වෙන් වුණත්+ මම නැවතත් ඔබ ළඟට එනවා. 19  තව ටික දවසකින් පසු ලෝකය මාව තවත් දකින්නේ නැහැ.+ නමුත් ඔබ මාව දකිනවා.+ මන්ද මම ජීවමාන කෙනෙක්. ඒ නිසා ඔබත් දිගටම ජීවත් වෙයි.+ 20  එදාට මම පියාණන් සමඟ එකට බැඳී සිටින බවත් මම ඔබ සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටින බවත් ඔබට වැටහෙයි.+ 21  කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි.+ ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.” 22  එවිට යූදස් ඉස්කාරියොත් නොව අනික් යූදස්+ ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ස්වාමීනි, ඔබ ලෝකයට එළිදරව් වෙන්නේ නැතුව අපට පමණක් එළිදරව් වෙනවා කියා පවසන්නේ මොන හේතුවක් නිසාද?”+ 23  යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙක් මට ප්‍රේම කරනවා නම් ඔහු මා පවසන දේ පිළිපදිනවා.+ මගේ පියාණන්ද ඔහුට ප්‍රේම කරන අතර අපි දෙදෙනා ඔහු ළඟට ඇවිත් ඔහු සමඟ වාසය කරනවා.+ 24  මට ප්‍රේම නොකරන තැනැත්තා මා පවසන දේ පිළිපදින්නේ නැහැ. මා ඔබට පැවසූ දේවල් මගේම අදහස් නොවෙයි. ඒවා මාව එවා ඇති පියාණන් පැවසූ දේවල්.+ 25  “මම මේ දේවල් ඔබට පැවසුවේ ඔබ සමඟ සිටියදීමයි. 26  නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+ 27  මම ඔබට තබා යන්නේ සමාදානයයි. මගේ සමාදානය ඔබට දෙනවා.+ මා ඔබට දෙන සමාදානය ලෝකය ලබා දෙන සමාදානයට වඩා වෙනස්. ඒ නිසා ඔබේ සිත් කලබල කරගන්න එපා. ඒ වගේම ඔබේ සිත් තුළ බියක් ඇති කරගෙන පසුබසින්නත් එපා. 28  මම යන බවත් නැවත ඔබ ළඟට එන බවත් මම ඔබට පැවසූ බව ඔබට මතක ඇති. ඔබ මට ප්‍රේම කරනවා නම් මම පියාණන් ළඟට යන නිසා ඔබ ඒ ගැන ප්‍රීති විය යුතුයි. මන්ද පියාණන් මට වඩා උතුම්.+ 29  මම මේ දේවල් සිදු වෙන්නත් කලින් ඔබට පවසා+ ඔබව දැනුවත් කරන්නේ මේ දේවල් සිදු වන විට ඔබ තුළ විශ්වාසයක් ඇති කරන්නයි. 30  මම ඔබ සමඟ තවත් බොහෝ දේවල් කතා කරන්නේ නැහැ. මන්ද ලෝකයේ පාලකයා+ එනවා. නමුත් මාව යටත් කරගන්න ඔහුට කිසි බලයක් නැහැ.+ 31  මම පියාණන්ට ප්‍රේම කරන බව මුළු ලෝකයම දැනගත යුතුයි. පියාණන් මට අණ කර ඇති දේවල්+ මම කරන්නේ ඒ නිසයි. දැන් අපි මෙතැනින් යමු.

පාදසටහන්