Skip to content

පටුනට යන්න

බයිබලේ තියෙන ප්‍රමිති යල් පැනලාද?

බයිබලේ තියෙන ප්‍රමිති යල් පැනලාද?

 අද ඉන්න හුඟක් අය හිතන්නේ බයිබලේ ලිංගික කාරණා සහ විවාහය ගැන දීලා තියෙන ප්‍රතිපත්ති අදට ගැළපෙන්නේ නැහැ කියලා. තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න සමහර අයත් හිතන්නේ එහෙමයි. ඒ නිසා හරි වැරැද්ද ගැන පල්ලිවල උගන්වන දේවලුත් වෙනස් කරලා තියෙනවා. ඇත්තටම බයිබලේ තියෙන තොරතුරු යල් පැනලාද? නැහැ. එහෙම කියන්න හේතු කීපයක් අපි බලමු.

මිනිසුන්ට දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕනෙමයි

 බයිබලේ කියනවා “තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට ඔහුට හැකියාවක් නැත” කියලා. (යෙරෙමියා 10:23) මොකද දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න. ඇත්ත, යෙහෝවා a දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ තීරණ ගැනීමේ නිදහස ඇතුව තමයි. හැබැයි හරි වැරැද්ද තීරණය කිරීමේ හැකියාවවත් අයිතියවත් දෙවියන් මිනිසුන්ට දුන්නේ නැහැ. ඒ නිසයි අපිට හිතෙන විදිහට දේවල් කරන්නේ නැතුව දෙවියන්ගේ මඟ පෙන්වීම් අදාළ කරගන්න එක වැදගත් වෙන්නේ.—හිතෝපදේශ 3:5.

 දෙවියන්ගේ මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලේ. අපි ඒ මඟ පෙන්වීම් පිළිපදින එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න හේතු දෙකක් බලමු.

  •   දෙවියන් තමයි අපිව නිර්මාණය කළේ. (ගීතාවලිය 100:3) නිරෝගීව ඉන්න, සතුටින් ඉන්න අපි කරන්න ඕනෙ මොනවාද කියලා හොඳටම දන්නේ යෙහෝවා දෙවියන්. ඔහුගේ මඟ පෙන්වීම්වලට අකීකරු වුණොත් අපිට අද්දකින්න වෙන ප්‍රතිඵල ගැනත් ඔහු දන්නවා. (ගලාති 6:7) යෙහෝවා දෙවියන් තමයි දන්නේ අපිට ඕන හොඳම දේ. ඒ නිසයි ඔහු අපිට මෙහෙම කියන්නේ. “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නෙත් ඔබ යා යුතු හරි මඟ ඔබට කියා දෙන්නෙත් මමය.”—යෙසායා 48:17.

  •   අපි හිතන විදිහට වැඩ කළොත් වරදින්න පුළුවන්. හුඟක් අය හිතන්නේ හරි වැරැද්ද එයාලටම තීරණය කරන්න පුළුවන් කියලා. ඒ නිසයි හිතට එකඟව වැඩ කරන්න කියලා එයාලා කියන්නේ. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. “සියල්ලටම වඩා මිනිසාගේ සිත රැවටිලිකාරය. එබැවින් ඔහු උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටය.” (යෙරෙමියා 17:9) ඉතින් අපි දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්නේ නැතුව අපිට ඕන විදිහට දේවල් කරන්න ගියොත් පසුතැවෙන්න වෙන්නේ අපිටමයි.—හිතෝපදේශ 28:26; දේශනාකාරයා 10:2.

බයිබලේ තියෙන ප්‍රතිපත්ති වෙනස් කරන්න ආගමික නායකයන්ට අයිතියක් තියෙනවාද?

 නැහැ. මොකද යෙහෝවා දෙවියන් කැමති ඔහු ගැනත් ඔහු කැමති අකමැති දේවල් ගැනත් සත්‍යය මිනිස්සු දැනගන්නවා දකින්න. (1 තිමෝති 2:3, 4) ඒ නිසයි ඔහු ඒ සත්‍යයන් බයිබලේ පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ. (1 කොරින්ති 6:9-11; ගලාති 5:19-23) ආගමික නායකයන් බයිබලේ තියෙන දේවල් වෙනස් නොකර ඒ විදිහටම උගන්වයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා.—තීතස් 1:7-9.

 බයිබලේ තියෙන සදාචාර ප්‍රමිති පිළිපදින්න කැමති නැති හුඟදෙනෙක් එයාලගේ “කන්වලට මිහිරි දේවල් කියන” ආගමික නායකයන් පස්සේ යනවා. (2 තිමෝති 4:3) හැබැයි බයිබලේ පැහැදිලිවම අනතුරු අඟවලා තියෙනවා ‘යහපතට නපුර කියාද නපුරට යහපත කියාද පවසන සියලුදෙනාටම දුක් වෙන්න සිදු වෙයි’ කියලා. (යෙසායා 5:20) ඒකෙන් පැහැදිලි වෙනවා හරි වැරැද්ද ගැන බයිබලේ තියෙන දේ උගන්වන්නේ නැතුව මිනිසුන්ව නොමඟ යවන ආගමික නායකයන්ට දවසක දෙවියන්ට ගණන් දෙන්න වෙනවා කියලා.

බයිබලේ තියෙන සදාචාර ප්‍රමිති පිළිපදින්නේ නැති අයව අපි පහත් කරලා සලකනවාද?

 නැහැ. දෙවියන්ව සතුටු කරන්න කැමති අය විදිහට අපි කොයි වෙලෙත් උත්සාහ කරන්නේ යේසුස්ව ආදර්ශයට අරන් ඔහු උගන්වපු දේවල් පිළිපදින්න. යේසුස් ඉගැන්නුවේ අනිත් අයව විනිශ්චය කරලා එයාලව පහත් කරන්නේ නැතුව එයාලට ආදරෙන්, ගෞරවෙන් සලකන්න කියලා.—මතෙව් 5:43, 44; 7:1.

 ජීවිතේ හැම කාරණයකදීම දෙවියන් දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිති පිළිපදින්න අපි උත්සාහ කරනවා. ඒත් හැමෝම ඒ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. මොකද යේසුස් කලින්ම ඒ ගැන කියලා තිබුණා. (මතෙව් 10:14) ඒ වගේම දේශපාලනය පාවිච්චි කරලා හරි වෙන විදිහකින් හරි ඒ ප්‍රමිති පිළිපදින්න මිනිසුන්ට බල කරන්න කියලා යේසුස් කවදාවත් ගෝලයන්ට කිව්වේ නැහැ.—යොහන් 17:14, 16; 18:36.

බයිබලේ තියෙන සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එකෙන් දැන් විතරක් නෙවෙයි අනාගතේදීත් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. (ගීතාවලිය 19:8, 11) මේ තියෙන්නේ ඒ වගේ ප්‍රයෝජන කීපයක්.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.