Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යක්ෂයා ඇත්තටම ඉන්නවාද?

යක්ෂයා නපුරු සිතුවිල්ලක්ද?

යක්ෂයා නපුරු සිතුවිල්ලක්ද?

හුඟක් අය හිතනවා යක්ෂයා කියලා බයිබලයේ කියන්නේ කෙනෙක් තුළ ඇති වෙන නපුරු සිතුවිල්ලකට කියලා. ඒත් ඇත්තටම බයිබලයේ කියන්නේ මොකක්ද? යක්ෂයා නපුරු සිතුවිල්ලක් නම් යේසුස් හා සියලු බලැති දෙවියන් එක්ක යක්ෂයා කතා කළා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ කොහොමද? ඒ වගේ අවස්ථා දෙකක් බලමු.

යේසුස් එක්ක කතා කළ අවස්ථාව

යේසුස් සේවය ආරම්භ කරපු අවස්ථාවේ යක්ෂයා ඔහුව තුන් පාරක්ම රවට්ටන්න හැදුවා. පළවෙනි අවස්ථාවේදී යක්ෂයා කිව්වා දෙවියන් දීලා තියෙන බලය පාවිච්චි කරලා බඩගින්න නිවාගන්න කියලා. දෙවෙනි අවස්ථාවේදී කිව්වා කන්දෙන් පහළට පැනලා වීර ක්‍රියාවක් කරන්න කියලා. එහෙම කිව්වේ අනිත් අයගේ අවධානය ගන්නයි. අන්තිම අවස්ථාවේදී කිව්වා එක පාරක් හරි තමන්ට නමස්කාර කළොත් මේ මුළු ලෝකෙම බලය යේසුස්ට දෙනවා කියලා. ඒ අවස්ථා තුනේදීම යේසුස් යක්ෂයාට උත්තර දුන්නේ ලියවිලිවල සඳහන් දෙයින්. යේසුස් තමන්ව රවට්ටන්න සාතන්ට ඉඩ දුන්නේ නැහැ.—මතෙව් 4:1-11; ලූක් 4:1-13.

යේසුස් කතා කළේ කා එක්කද? ඔහු කතා කළේ ඔහු තුළ ඇති වුණු නපුරු සිතුවිලි එක්කද? බයිබලයේ යේසුස්ව හඳුන්වන්නේ ‘සෑම අතින්ම බොහෝ දුක් පීඩාවලට මුහුණ දී ඇති කිසි පාපයක් නොකළ උත්තම පූජකයෙක්’ කියලයි. (හෙබ්‍රෙව් 4:15) ඒ වගේම ‘කිසි පාපයක් නොකළ මුවින් වංචනික වචනයක්වත් පිට වුණේ නැති’ කෙනෙක් විදිහටයි. (1 පේතෘස් 2:22) යේසුස් සිතුවිලිවලින්වත් පාපයක් නොකර දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. ඒකෙන් පේන්නේ යේසුස් කතා කළේ සැබෑ පුද්ගලයෙක් එක්ක කියලයි.

ඒ සංවාදයෙන් අපිට තවත් දේවල් දැනගන්න පුළුවන්.

  • යේසුස්ට ලෝකෙම පාලනය කරන්න දෙනවා කියලා යක්ෂයා කිව්වා මතකද? (මතෙව් 4:8, 9) යක්ෂයා ඇත්ත පුද්ගලයෙක් නෙමෙයි නම් ඔහුට කිසි දෙයක් දෙන්න බැහැ. අනික පාලන බලය දෙන්න යක්ෂයාට තිබුණු අයිතිය ගැන යේසුස් සාතන්ගෙන් ප්‍රශ්න කළෙත් නැහැ.

  • යේසුස්ව රවට්ටන්න දරපු වෑයම අසාර්ථකයි කියලා දැනගත්ත යක්ෂයා “තවත් සුදුසු අවස්ථාවක් පැමිණෙන තෙක් ඔහුගෙන් අහක්ව ගියේය” කියලා වාර්තා වෙනවා. (ලූක් 4:13) ඒකෙන් පේන්නේ යක්ෂයා නපුරු දෙයක් හෝ නපුරු සිතුවිල්ලක් කියලද නැත්නම් කාව හරි වරදකට හසු කරගන්න හදන සතුරෙක් කියලද?

  • ඒ වෙලාවේදී “දේවදූතයෝ ඇවිත් යේසුස්ට උපස්ථාන කළෝය” කියලා වාර්තා වෙනවා. (මතෙව් 4:11) ඒ දේවදූතයන් කාටවත් නොපෙනෙන සැබෑ පුද්ගලයන් නම් යේසුස්ව වරදට පොලඹවන්න වෑයම් කරපු යක්ෂයාත් සැබෑ පුද්ගලයෙක් වෙන්න ඕන නැද්ද?

දෙවියන් එක්ක කතා කළ අවස්ථාව

දෙවියන්ට විශ්වාසවන්තව හිටපු යෝබ් ගැන යක්ෂයා අවස්ථා දෙකකදී දෙවියන් එක්ක කතා කළා. ඒ අවස්ථා දෙකේදීම දෙවියන් යෝබ්ගේ විශ්වාසවන්තකම අගය කළා. ඒත් යෝබ් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නේ දෙවියන් හැම දේම යෝබ්ට දෙන නිසා කියලා යක්ෂයා කිව්වා. ඔහු නොකියා කිව්වේ යෝබ්ට අවශ්‍ය දේවල් දීලා දෙවියන් යෝබ්ව තමන්ගේ පැත්තට ගන්න හදනවා කියලයි. මේ විදිහට චෝදනා කරපු නිසා යෝබ්ගේ දරුවන්ව හා ඔහුගේ හැම වස්තුවක්ම නැති කරන්න විතරක් නෙමෙයි යෝබ්ට දරුණු රෝගයක් ඇති කරන්නත් යෙහෝවා දෙවියන් යක්ෂයාට ඉඩහැරියා. * යෝබ් ගැන දෙවියන්ට වඩා යක්ෂයා දන්නවා කියලා හිතුවත් ඒක බොරුවක් කියලා ඔප්පු වුණා. යෝබ් දිගටම විශ්වාසවන්තව හිටපු නිසා දෙවියන් ඔහුට ආශීර්වාද කළා.—යෝබ් 1:6-12; 2:1-7.

ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවියන් කතා කළේ කා එක්කද? ඔහු කතා කළේ ඔහුට ඇති වුණු නපුරු සිතුවිලි එක්කද? බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ දෙවිගේ මාර්ගය පරිපූර්ණය.” (2 සාමුවෙල් 22:31) “සියලු බලැති තැනැත්තාණන් වන යෙහෝවා දෙවි ශුද්ධය, ශුද්ධය, ශුද්ධය” කියලත් සඳහන් වෙනවා. (එළිදරව් 4:8) ශුද්ධයි කියලා කියන්නේ කිසිම පාපයක් නොකරන පරිශුද්ධ තත්වයකටයි. යෙහෝවා දෙවියන් පරිශුද්ධ කෙනෙක් නිසා ඔහු අතින් කිසිම වරදක් වෙන්නෙවත් ඔහුට කිසිම නපුරු සිතුවිල්ලක් ඇති වෙන්නෙවත් නැහැ.

යක්ෂයා යෝබ්ට හුඟක් පීඩා කළා

ඒත් සමහරු කියන්නේ යෝබ් කියන පුද්ගලයා සැබෑ කෙනෙක් නෙමෙයි යෝබ්ගේ කතාව ප්‍රබන්ධ කථාවක් කියලයි. ඒක ඇත්තක්ද? යෝබ් සැබෑ පුද්ගලයෙක් කියලා කියන්න බයිබලයේ වෙනත් තැන්වල සාක්ෂි තියෙනවා. උදාහරණයකට යෝබ් ක්‍රිස්තියානීන්ට හොඳ ආදර්ශයක් කියලත් ඔහු වගේ පීඩා විඳදරාගන්න අයට දෙවියන් ආශීර්වාද කරනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (යාකොබ් 5:7-11) යෝබ්ගේ වාර්තාව බොරුවක් නම් ඒ වගේ කෙනෙක්ව ආදර්ශයට ගන්න කියලා කියන එකෙන් පලක් තියෙනවාද? බයිබලයේ තවත් තැනක දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නෝවා හා දානියෙල් ගැන කියද්දී යෝබ්ගේ නමත් ඇතුළත් කරලා තියෙනවා. (එසකියෙල් 14:14, 20) යෝබ් සැබෑ පුද්ගලයෙක් නම් ඔහුට පීඩා කරපු යක්ෂයාත් සැබෑ පුද්ගලයෙක් වෙන්න ඕන නැද්ද?

යක්ෂයා නොපෙනෙන බලවත් පුද්ගලයෙක් කියලා බයිබලයේ පැහැදිලිවම කියනවා. එහෙමනම් ‘මටයි මගේ පවුලේ අයටයි ඔහු හානියක් කරයිද’ කියලා ඔබ කල්පනා කරනවා ඇති.

යක්ෂයා අදටත් බලපෑම් කරනවාද?

ඔබේ නගරයට මැර කල්ලියක් ආවා කියලා හිතන්න. එතකොට හැමෝගෙම ආරක්ෂාව නැති වෙයි. නරක දේවල් එන්න එන්නම වැඩි වෙයි. සාතන් නමැති යක්ෂයා හා ඔහුගේ භූතයන් සම්බන්ධයෙනුත් සිද්ධ වුණේ ඒ වගේම දෙයක්. ඔවුන් දෙවියන්ට අකීකරු වුණ හින්දා ඔවුන්ව පොළොවට හෙළුවාම පොළොවේ දුෂ්ට දේවල් වැඩියෙන් සිද්ධ වෙන්න පටන්ගත්තා. ඒක අද අපිට අහන්න ලැබෙන පුවත්වලින් පැහැදිලි වෙනවා.

  • කිසිම හිතක් පපුවක් නැතුව කරන සැහැසික ක්‍රියා නවත්වන්න කොච්චර වෑයම් කළත් ඒවා වැඩි වෙලා නැද්ද?

  • දෙමව්පියන් දරුවන්ව ආරක්ෂා කරගන්න කොච්චර උත්සාහ කළත් අද භූතයන් සම්බන්ධ චිත්‍රපට වගේ දේවල් එන්න එන්නම ජනප්‍රිය වෙලා නැද්ද?

  • පරිසර දූෂණය වළක්වන්න මොන තරම් වෑයම් කළත් ඒක අසාර්ථක වෙලා නැද්ද?

  • විනාශයට වේගයෙන් ඇදී යන මුළු මිනිස් සමාජය පිටුපස නොපෙනෙන බලයක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

අද සිදු වෙන දුෂ්ට දේවලට වග කියන්න ඕන කවුද කියලා බයිබලයේ කියලා තියෙනවා. “මහත් මකරාව පහතට හෙළනු ලැබුවේය. ඒ මකරා නම් යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුළු පොළොවම නොමඟ යවන මුල් සර්පයාය. ඔහුව පොළොවට හෙළන ලදි. ඔහුගේ දූතයෝද ඔහු සමඟ පහතට හෙළනු ලැබුවෝය. . . . පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේද! මන්ද තමාට ඉතුරු වී ඇත්තේ ඉතා කෙටි කාල පරිච්ඡේදයක් බව දැන සිටින යක්ෂයා, මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.” (එළිදරව් 12:9, 12) යක්ෂයා නොපෙනෙන භයානක පුද්ගලයෙක් කියලත් මුළු ලෝකයටම ඔහු විශාල බලපෑමක් කරනවා කියලත් තිබෙන සාක්ෂිවලින් හුඟදෙනෙක් තේරුම්ගෙන තියෙනවා.

ආරක්ෂාව ලබාගන්නේ කොහොමද කියලා ඔබ දැන් හිතනවා ඇති. ඊළඟ ලිපියෙන් ඒ ගැන බලමු.

^ 12 ඡේ. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.