Skip to content

පටුනට යන්න

වෙනත් ආගම් සමඟ සම්බන්ධ වීම දෙවි අනුමත කරනවාද?

වෙනත් ආගම් සමඟ සම්බන්ධ වීම දෙවි අනුමත කරනවාද?

“ආගම් මිනිසුන්ව එක්සත් කරනවාද භේදභින්න කරනවාද?” එම ප්‍රශ්නය අසා තිබුණේ එක් පුවත්පතකයි. පාඨකයන්ගෙන් සියයට 89ක්ම කියා සිටියේ ආගම් නිසා මිනිසුන් භේදභින්න වන බවයි.The Sydney Morning Herald.

විවිධ ආගම් එකට එකතු වීම හොඳ දෙයක් කියා සිතන අය දරන්නේ ඊට වඩා වෙනස් මතයක්. ඉබූ පටෙල් එක් සර්ව ආගමික සංවිධානයක් ආරම්භ කිරීමට මුල් වුණා. (Interfaith Youth Core) ඔහු පැවසුවේ මෙසේයි. “දයාව පෙන්වන්න, මිහිතලය ආරක්ෂා කරන්න, ආගන්තුක සත්කාරය පෙන්වන්න කියලා හැම ආගමකම උගන්වනවා.”

බෞද්ධ, කතෝලික, රෙපරමාදු, හින්දු, ඉස්ලාම් සහ වෙනත් ආගම් දුගීකම පිටු දැකීමට, මානව අයිතිවාසිකම් සුරැකීමට, බිම් බෝම්බ ඉවත් කිරීමට සහ පාරිසරික ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳගෙන තිබෙනවා. එකිනෙකා අතර අවබෝධය වැඩි කරගත හැකි ආකාරය ගැනත් විවිධ ආගම් එකතු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. එවැනි අවස්ථාවලදී ඉටිපන්දම් දැල්වීම, සංගීතය වාදනය කිරීම, යාච්ඤා කිරීම වැනි ඒ ඒ ආගම්වල චාරිත්‍ර පවත්වනවා.

විවිධ ආගම් එකතු වූ පමණින් ආගම් අතර ඇති මතභේද විසඳිය හැකිද? මේ ලෝකය වඩා හොඳ තැනක් කිරීමට දෙවියන් පියවර ගන්නේ ඒ ආකාරයෙන්ද?

එක්සත්කම වෙනුවෙන් ඕන දෙයක් කිරීම සුදුසුද?

විවිධ ආගම් 200කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන සාමාජිකයන් තම සංවිධානයේ සිටින බවත් එය රටවල් 76ක ව්‍යාප්ත වී තිබෙන බවත් එක් සර්ව ආගමික සංවිධානයක් ඉතා ආඩම්බරයෙන් පැවසුවා. ‘අන්‍ය ආගමික මත ඉවසා ආගම් අතර සහයෝගිතාව ඉහළ නැංවීම’ තම අරමුණ බව ඔවුන් පැවසුවා. නමුත් එය කොතරම් දුරට සාර්ථකද යන්න ප්‍රශ්නයක්. ඔවුන්ගේ සංවිධානයේ ප්‍රධාන ගිවිසුම සකස් කිරීමේදී ඊට අත්සන් තබන අයගේ සිත් නොරිදෙන ලෙස එහි වචන යෙදීමට ඔවුන් වගබලා ගත්තා. උදාහරණයකට එම ගිවිසුමේ “දෙවියන්” ගැන සඳහන් කරනවාද නැද්ද කියා ප්‍රශ්නයක් මතු වුණා. අවසානයේදී දෙවියන් ගැන සඳහන් නොකිරීමට ඔවුන් තීරණය කළා.

දෙවියන් ගැන කිසිම සඳහනක් නැත්නම් ඊට ආගමික මුහුණුවරක් තිබේද? එය සමාජ සේවා සපයන සංවිධානයකට වඩා වෙනස් වෙයිද? ඉහත සඳහන් කළ සංවිධානය තමන්ව සර්ව ආගමික සංවිධානයක් ලෙස හඳුන්වනවා වෙනුවට සහයෝගිතාව ඇති කරන සංවිධානයක් ලෙස හැඳින්වීම පුදුමයක් නෙවෙයි.

යහපත් ජීවිතයකට දිරිගැන්වීම පමණක් ඇද්ද?

විවිධ ආගම් එකතු වීමට පක්ෂව අදහස් දැක්වූ දලයි ලාමා මෙසේ පැවසුවා. “ප්‍රධාන ආගම් සෑම එකකම පාහේ උගන්වන්නේ එකිනෙකාට ප්‍රේම කරන්න, කරුණාව පෙන්වන්න හා සමාව දෙන්න වගේ දේවල් ගැනයි. ඒත් වැදගත් වෙන්නේ ඒවා ජීවිතේට අදාළ කරගැනීමයි.”

ප්‍රේමය, කරුණාව හා සමාව දීම ගැන කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. යේසුස් පවා පැවසුවේ මෙයයි. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) එසේනම් ආගමකින් සිදු විය යුත්තේ යහපත් දිවියකට මිනිසුන්ව දිරිගැන්වීම පමණද?

මුල් සියවසේදී දෙවියන්ට සේවය කරනවායයි කියාගත්ත හුඟදෙනෙක් ගැන නියෝජිත පාවුල් පැවසුවේ මෙයයි. “දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබෙන බව මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ.” ඔහු එසේ පැවසුවේ ඇයි? ‘දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන දැනුමක් නොතිබුණු’ ඔවුන් “තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමට” උත්සාහ කළ නිසයි. (රෝම 10:2, 3) දෙවියන් බලාපොරොත්තු වුණු දේ ගැන ඔවුන්ට හරි අවබෝධයක් නොතිබුණු නිසා ඔවුන්ගේ උද්‍යෝගය හා භක්තිය නිෂ්ඵල වුණා.මතෙව් 7:21-23.

බයිබලයේ ඇති අදහස

යේසුස් පැවසුවේ “සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්” කියායි. (මතෙව් 5:9) ඔහු සාමය ගැන ඉගැන්වුවා පමණක් නෙවෙයි ක්‍රියාවෙන්ද එය පෙන්වුවා. ඒ වගේම සියලුම ආගම්වල අයට සාමයෙන් ඉන්න උදව් වෙන පණිවිඩයක්ද ඔහු දේශනා කළා. (මතෙව් 26:52) එය පිළිගත් අයට හැකි වුණා එකිනෙකාට අවංකවම ආදරය කරමින් එකමුතුව ජීවත් වෙන්න. (කොලොස්සි 3:14) යේසුස්ට අවශ්‍ය වුණේ විවිධ පසුබිම්වලට අයත් අයට සහයෝගයෙන් ජීවත් වෙන ආකාරය කියා දෙන්න විතරද? එක්සත්කම වෙනුවෙන් ඔහු වෙනත් ආගම් හා එකතු වී නමස්කාර කටයුතුවල හවුල් වුණාද?

පරිසිවරුන් හා සද්දුසිවරුන් යන ආගමික නායකයන් යේසුස්ට මොන තරම් වෛර කළාද කියනවා නම් ඔහුව මරණයට පත් කිරීමට පවා ඔවුන් උත්සාහ කළා. ඔවුන් ගැන යේසුස් තම ගෝලයන්ට පැවසුවේ මෙයයි. “ඔවුන් ඔහේ සිටියාවේ. ඔවුන් අන්ධ මඟ පෙන්වන්නෝ වගෙයි.” (මතෙව් 15:14) එක්සත්කම වෙනුවෙන් එවැනි අය සමඟ යේසුස් ආගමික බැඳීම් ඇති කරගත්තේ නැහැ.

විවිධ ආගම්වලට තෝතැන්නක් වුණු කොරින්ති නගරයේ සිටි ක්‍රිස්තියානීන්ට පාවුල් දුන් උපදෙස මෙයයි. ‘දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න. ක්‍රිස්තුස් සහ බෙලියල් [සාතන්] අතර එකමුතුකමක් තිබිය හැකිද? දෙවිට සේවය කරන්නෙකු හා දෙවිට සේවය නොකරන කෙනෙකු අතර බැඳීමක් තිබිය හැකිද?’ ඉන්පසු ඔහු මේ උපදෙසද දුන්නා. “ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න.”2 කොරින්ති 6:14, 15, 17.

එයින් පැහැදිලි වෙන්නේ සැබෑ ක්‍රිස්තියානීන් වෙනත් ආගම් හා එකතු වීම බයිබලයේ අනුමත කරන්නේ නැති බවයි. එසේනම් සැබෑ එක්සත්කමට මඟ කුමක්ද?

සැබෑ එක්සත්කමට මඟ

පෘථිවි ගෝලය වටා ගමන් කරන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සැබවින්ම විස්මයජනක තාක්ෂණික නිර්මාණයක්. එය නිර්මාණය කිරීම සඳහා ජාතීන් 15ක් පමණ හවුල් වුණා. එවැනි නිර්මාණයක් බිහි වුණේ ඒ ජාතීන් ප්‍රධාන සැලැස්මට එකඟ වුණ නිසයි.

නමුත් සර්ව ආගමික සංවිධාන ගැන කිව හැක්කේ කුමක්ද? සහයෝගිතාව, එකිනෙකාට ගෞරවය කිරීම වැනි දේ වැදගත් බව එම සංවිධාන කාවැද්දුවත් දෙවියන් ගැන තිබෙන විශ්වාසයට දායක වෙන ප්‍රධාන කාරණාවලදී එහි සාමාජිකයන් අතර එකඟතාවක් නැහැ. ඒ නිසා මූලික ඉගැන්වීම් ගැනත් හරි වැරැද්ද පිළිබඳ ප්‍රතිපත්ති ගැනත් ඔවුන් අතර විවිධ මත තිබෙනවා.

දෙවියන් ඔහුගේ සියලුම ප්‍රතිපත්ති ගැන අපිව දැනුවත් කරන්නේ ඔහුගේ වචනය වන බයිබලයෙන්. අපි ජීවත් විය යුතු ආකාරය එහි සඳහන් වෙනවා. එහි ඇති මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගෙන තිබෙන අයට, වෙනත් ආගම්වලට හා ජාතීන්වලට අයත් මිනිසුන් ගැන තිබුණු වැරදි හැඟීම් ඉවත් කරගෙන සෑමදෙනා සමඟ සාමයෙන් හා එකමුතුකමින් ජීවත් වෙන්න හැකි වී තිබෙනවා. අද සිදු වෙන ඒ දේ මීට බොහෝ කලකට කලින් අනාවැකියක් ලෙස බයිබලයේ සඳහන් වුණේ මෙලෙසයි. “ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාව උගන්වා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දෙන්නෙමි. එවිට ඒ සියලුදෙනාටම යෙහෝවා දෙවි වන මාගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් මට සේවය කරන්නත් හැකි වනු ඇත.” ඇත්තෙන්ම එකිනෙකා අතර එක්සත්කම ඇති වෙන්නේ පවිත්‍ර භාෂාව කතා කිරීමෙන්. එනම් දෙවියන් ලබා දී තිබෙන මඟ පෙන්වීම්වලට එකඟව ඔහුට නමස්කාර කිරීමෙන්.ශෙපනියා 3:9; යෙසායා 2:2-4.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර මොන තරම් සාමයක් හා එකමුතුකමක් තිබෙනවාද කියා දැකගන්න ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයකට පැමිණෙන්න කියා ඔවුන් ඔබට සාදරයෙන් ඇරයුම් කරයි.—ගීතාවලිය 133:1.