Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි

අන්ත්‍රාවයි! පරිහරණය කළොත් විනාසයි

අසභ්‍ය පින්තූර නැරඹීම ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා මේ කාලේ වැඩියි. a ලෝකයේ අස්සක් මුල්ලක් නෑර එය පැතිරිලා. වෙළඳ දැන්වීම්, විලාසිතා, චිත්‍රපට, ගීත, සඟරා, වීඩියෝ ගේම්, වෙබ් අඩවි, ඡායාරූප හුවමාරු කරගන්නා ජාල ඒවාට තෝතැන්නක් වෙලා. රූපවාහිනිය, ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් හා ටැබ්ලට් වගේ උපකරණ නිසා තැනක් නොතැනක් නැතුව මිනිසුන් ඒවා නරඹන්න පෙලඹී තිබෙනවා.— “තිත්ත ඇත්ත” යන කොටුව බලන්න.

මහාචාර්ය ගේල් ඩයින්ස් පැවසූ මේ දේ සැලකිල්ලට ගන්න. “අද තියෙන අසභ්‍ය දර්ශන කොච්චර පහත්ද කියනවා නම් එදා දරුණු, අස්වාභාවික දර්ශන විදිහට සැලකුව ඒවා අද සාමාන්‍ය දර්ශන වෙලා.” ඒකෙන් පැහැදිලි වෙන්නේ අසභ්‍ය දර්ශනවල පෙන්නන දේවල් කාලයත් එක්කම අන්තයට ගිහින් කියලයි.

ඒවා නැරඹීම කිසිම හානියක් නැති අහිංසක විනෝදයක් කියලා ඔයාත් හිතනවද? යේසුස් මෙහෙම දෙයක් කිව්වා. “සෑම හොඳ ගසකින්ම ලැබෙන්නේ හොඳ පලයි. නමුත් සෑම නරක ගසකින්ම නෙළාගත හැක්කේ කිසි වැඩකට නැති පලයි.” (මතෙව් 7:17) අසභ්‍ය දර්ශන නැරඹීමෙන් කෙනෙක් නෙළාගන්නේ මොන වගේ පලද? ඒක තේරුම්ගන්න අපි ප්‍රශ්න තුනක් සලකා බලමු.

නරඹන කෙනාට බලපාන්නේ කොහොමද?

විශේෂඥයන්ගේ අදහස: අසභ්‍ය දර්ශන නැරඹීම කොච්චර ඇබ්බැහි වනසුලු දෙයක්ද කියනවා නම් ඒක ක්‍රැක් කොකේන්වලට ඇබ්බැහි වෙනවා වගෙයි.

බ්‍රයන් b මෙහෙම කිව්වා. “අසභ්‍ය දේවල් බලන්න මං කොච්චර ඇබ්බැහි වෙලා හිටියද කියනවා නම් ඒවා බැලුවේ නැත්නම් මාව වෙවුලුවා. මගේ ඔළුව පැළෙන්න තරම් රිදුණා. ඒ පුරුද්ද නතර කරන්න කොච්චර හැදුවත් අවුරුදු ගාණක් යනකම්ම මට ඒක කරගන්න බැරි වුණා.”

අසභ්‍ය දේවල් බලන අය ඒක කරන්නේ හොරෙන්. එහෙම අය තනිකම, ලැජ්ජාව, කාන්සාව, කේන්තිය වගේ හැඟීම් අද්දකින එක පුදුමයක්ද! සමහරුන්ට දිවි නසාගන්නත් හිතිලා තියෙනවා. හැමදාම අසභ්‍ය පින්තූර ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්ත තරුණයෙක් මෙහෙම කියනවා. “මගේ ආසාවන් ගැන විතරක් හිතන්න මං පටන්ගත්තා. මට ලොකු තනිකමක් දැනුණා. හිත වධ දෙන්න පටන්ගත්තා. මට හිතුණේ මං හිර වෙලා කියලයි. ලැජ්ජාවයි භයයි නිසා ඒකෙන් ගැලවෙන්න මං කාගෙන්වත් උදව් ඉල්ලුවේ නෑ.”

වැරදිලා හරි නරක පින්තූර නෙත ගැටුණොත්, ඒකෙනුත් හානියක් වෙන්න පුළුවන්. ඒ ගැන පර්යේෂණ කරන වෛද්‍ය රෙයිස්මාන් මෙහෙම කිව්වා. “අසභ්‍ය දේවල් බැලුවම ඒවා නොමැකෙන විදිහට මොළේ කෙටෙනවා. එතකොට මොළේ ක්‍රියාත්මක වෙන විදිහත් වෙනස් වෙනවා. නොහිතන වෙලාවලදී එකපාරටම ඒවා මතකෙට එනවා. ඒවා මතකෙන් අයින් කරන්න බැහැ.” අවුරුදු 19ක් වයස සූසන් මෙහෙම කිව්වා. “ඉන්ටර්නෙට් එකෙන් දැක්ක නරක දර්ශන මගේ ඔළුවේ කෙටුණා. එකපාරටම ඒවා මට මැවිලා පෙනුණා. ඒවා මගේ ඔළුවෙන් අයින් කරන්න බැරි වෙයි කියලයි මට හිතුණේ.”

මේක මතක තියාගන්න: අසභ්‍ය දර්ශන බලන කෙනෙක් ඒවාට වහලෙක් වෙනවා. එයාගේ ජීවිතේම පිරිහෙනවා.—2 පේතෘස් 2:19.

පවුල් ජීවිතේට බලපාන්නේ කොහොමද?

විශේෂඥයන්ගේ අදහස: “අසභ්‍ය දර්ශන බලන එකෙන් පවුල් අවුල් වෙනවා.”—වෙන්ඩි සහ ලැරී මෝල්ට්ස් ලියූ The Porn Trap.

පවුල් අවුල් වෙන්නේ මෙහෙමයි. ඒවා බැලුවම . . .

  • යුවළක් අතර තියෙන විශ්වාසය, බැඳීම හා ආදරේ අඩු වෙනවා.—හිතෝපදේශ 2:12-17.

  • තමන්ගේ ආසාවන් ගැන විතරක් හිතන්න පටන්ගන්නවා. තම සහකාරියගෙන් තෘප්තියක් ලබන්නේ නැහැ.—එෆීස 5:28, 29.

  • පහත් ලිංගික ක්‍රියා ගැන නිතරම හිතන නිසා ඒවාට දැඩි ආසාවක් ඇති වෙනවා.—2 පේතෘස් 2:14.

  • අස්වාභාවික ලිංගික ක්‍රියා කිරීමට තම සහකාරියට බල කරනවා.—එෆීස 5:3, 4.

  • සිතින් හා ගතින් අනාචාරයේ යෙදෙනවා.—මතෙව් 5:28.

විවාහකයන්ට බයිබලයේ උපදෙස් දීලා තියෙන්නේ එකිනෙකාට “ද්‍රෝහි නොවී” ඉන්න කියලයි. (මලාකි 2:16) හැබැයි අනාචාරයේ යෙදෙන කෙනෙක් ඒකට පිටු පානවා. ඒකෙන් පවුල් ජීවිතේ ප්‍රශ්න ඇති වෙලා දික්කසාදෙට මඟ පාදන්න පුළුවන්. ඒක දරුවන්ටත් ලොකු දුකක්.

අසභ්‍ය දේවල් බැලීමේ පුරුද්ද පවුලේ අයට බලපාන තව විදිහක් ගැන කලින් සඳහන් කළ බ්‍රයන්ගේ අද්දැකීමෙන් තේරුම්ගන්න පුළුවන්. එයා මෙහෙම කිව්වා. “දවසක් මං හැංගිමුත්තන් සෙල්ලම් කරද්දී තාත්තා ගෙනාපු නරක පින්තූර තිබුණු සඟරා වගයක් මට හම්බ වුණා. එතකොට මට අවුරුදු 10ක් විතර ඇති. මං හොරෙන් ඒවා බලන්න පටන්ගත්තා. එදායින් පටන්ගත්ත ඒ නරක පුරුද්ද අවුරුදු ගාණක් යනකනුත් නතර කරගන්න බැරි වුණා.” දරුවන් අසභ්‍ය දේවල් බලන්න පුරුදු වුණාම පොඩි වයසෙම හුඟක් අය එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්න පෙලඹෙන අතර එයාලගේ සිතුවිලිත් විකෘති වෙනවා කියලා සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙනවා.

මේක මතක තියාගන්න: අසභ්‍ය දර්ශන බැලීම නිසා පවුල් දෙකඩ වෙනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ දුක විතරයි.—හිතෝපදේශ 6:27.

අසභ්‍ය දර්ශන බලන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ: “වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි” කියලයි.—කොලොස්සි 3:5.

අසභ්‍ය දර්ශන බලන එක යෙහෝවා c දෙවියන් හෙළා දකිනවා. ලිංගික කාරණා ගැන දෙවි පටු අදහස් දරනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ හැකියාව ඇතුව මිනිසුන්ව නිර්මාණය කළේ දෙවිමයි. දෙවියන් ඒ හැකියාව ලබා දුන්නේ විවාහ වුණු දෙන්නෙක්ට එකිනෙකාව සතුටු කිරීමට හා එකිනෙකාට තව තවත් ළං වීමටයි. ඒ වගේම දරුවන් බිහි කිරීමේ අපූරු අද්දැකීම විඳීමටයි.—යාකොබ් 1:17.

කාමුක දේවල් නරඹන එක යෙහෝවා දෙවියන් හෙළාදැකීමට හේතු.

  • ඒකෙන් ජීවිත විනාශ වෙනවා කියලා දෙවියන් දන්නවා.—එෆීස 4:17-19.

  • දෙවියන් අපට ආදරේ නිසා අපිට අනතුරක් වෙනවට කැමති නැහැ.—යෙසායා 48:17, 18.

  • දෙවියන් කැමති පවුල් ජීවිත රැකෙනවටයි.—මතෙව් 19:4-6.

  • අපි නිර්මල ජීවිත ගත කරනවටත් අන් අයට ගෞරවයෙන් සලකනවටත් දෙවියන් කැමතියි.—1 තෙසලෝනික 4:3-6.

  • කිසි තැකීමක් නැතුව ප්‍රජනන ඉන්ද්‍රියයන් අගෞරවනීයව යොදාගන්නවට දෙවියන් කැමති නැහැ.—හෙබ්‍රෙව් 13:4.

  • අසභ්‍ය දේවලින් පිළිබිඹු වෙන්නේ සාතන්ට තියෙන අස්වාභාවික, විකෘති අදහස් කියලා දෙවියන් දන්නවා.—උත්පත්ති 6:2; යූද් 6, 7.

මේක මතක තියාගන්න: අසභ්‍ය දේවල් නැරඹීමේ පුරුද්ද නිසා දෙවියන් එක්ක තියෙන බැඳීම කැඩෙනවා.—රෝම 1:24.

කෙනෙක් අසභ්‍ය දේවල් බලන පුරුද්ද අත්හරින්න උත්සාහ කරනවා නම් දෙවියන් එයාට දයාව පෙන්නනවා. “යෙහෝවා දෙවි දයාන්විතය. කරුණාවන්තය. කෝප වීමට ඉක්මන් නොවන්නේය. ඔහු පෙන්වන ප්‍රේමය අතිමහත්ය. ඔහු අපේ ස්වභාවය හොඳින් දන්නේය. අපව දූවිල්ලෙන් සෑදූ බව ඔහු සිහි කරන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 103:8, 14) මේ නරක පුරුද්දෙන් ගොඩ එන්න දෙවිගෙන් උපකාර ඉල්ලුවොත් “අවශ්‍ය වේලාවේදීම ඔහුගේ දයාව හා මහත් කරුණාව” පෙන්නන බවට දෙවියන් පොරොන්දු වෙනවා.—හෙබ්‍රෙව් 4:16;  “පුරුද්දෙන් මිදීමට” යන කොටුව බලන්න.

ඒත් දෙවිගේ උපකාරයෙන් මේ නරක පුරුද්ද අත්හරින්න පුළුවන්ද? ඔව්. පුරාණ කොරින්ති නගරේ හිටපු අයට දෙවිගේ උපකාරයෙන් නරක පුරුදු අත්හරින්න පුළුවන් වුණා. බයිබලයේ ඒ අය ගැන මෙහෙම සඳහන් වෙනවා. “ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව දැන් ශුද්ධ කර ඇත. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.” (1 කොරින්ති 6:11) දෙවිගේ බලයේ උපකාර ඇතුව මේ පුරුද්ද නතර කරන්න පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි.—ෆිලිප්පි 4:13.

අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් ගොඩ ආව සූසන් මෙහෙම කිව්වා. “මේ පුරුද්දෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. දෙවිගේ උපකාර පැතුවොත් ඔහුව සතුටු වෙන විදිහට ජීවත් වෙන්න ඔහු උදව් කරනවා. දෙවියන් කවදාවත් අපිව අත්හරින්නේ නෑ.”

a ලිංගික හැඟීම් ඇවිස්සීමේ අරමුණින් සකස් කර තිබෙන්නේ අසභ්‍ය දර්ශන විතරක්ම නෙමෙයි. සවන් දීම හා කියවීම සඳහාත් අසභ්‍ය දේවල් සකස් කර තිබෙනවා. මේ ලිපියේ කතා කරන්නේ ඒ සෑම දෙයක් ගැනමයි.

b නම් වෙනස් කර ඇත.

c සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.