Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම් | විවාහය

විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන

විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන

 වයිෆ්ට එයාගේ හොරේ අහු වුණා. එයා හදවතින්ම සමාව ඉල්ලුවා. ඒක නවත්තනවා කියලත් පොරොන්දු වුණා. එයා ඒක නැවැත්තුවා. ඒත් ටික කාලෙකට විතරයි. ආයෙත් පරණ පුරුද්දට වැටුණා. ඔන්න ආයෙත් මුල ඉඳලා පටන්ගන්නවා!

 ඔයාලාගේ ගෙදරත් වෙන්නේ මේකමද? එහෙමනම් කාමුක දර්ශන බලන පුරුද්ද ඔයාගේ බිරිඳට කොච්චර තදින් බලපානවාද හිතලා බලන්න. ඒ වගේම ඒ පුරුද්ද කඩලාම දාන්න පුළුවන් කොහොමද කියලත් හිතන්න. a

අපි මේ ලිපියෙන් බලන්නේ මේ ගැනයි

 දැනගන්න ඕන දේ

 කාමුක දර්ශනවලට පුළුවන් පවුල් ජීවිත කුඩුපට්ටම් කරලා දාන්න. වරද නොකරපු කෙනාගේ හිතේ අමනාපය, කේන්තිය, සැකය වගේ හැඟීම් ඇති කරන්න ඒකට පුළුවන්. b

 කාමුක දර්ශන බලන සැමියෙක්ගේ බිරිඳකට මේ වගේ හිතෙන්න පුළුවන්.

  •   මට ද්‍රෝහි වුණා. සාරා කියන බිරිඳ මෙහෙම කියනවා. “මගේ මහත්තයා ඒවා බලන වාරයක් ගාණේ මට දැනෙන්නේ එයා ආයෙ ආයෙත් වෙන ගෑනු එක්ක ඉන්නවා වගේ.”

  •   මගෙන් වැඩක් නැහැ. කාමුක දර්ශන බලන පුරුද්දට වැටුණ සැමියා නිසා වෙච්ච දේ ගැන එක බිරිඳක් මෙහෙම කියනවා. “මට මං ගැනම මහ පිළිකුලක් දැනුණා. මං ගැනම චී කියලා හිතුණා.”

  •   එයා ගැන සැකයි. “මගේ හස්බන්ඩ් මොනවා කෙරුවත් මට දැන් එයා ගැන තියෙන්නේ පුදුම සැකයක්” කියලා හෙලන් කියන බිරිඳ කියනවා.

  •   දරාගන්න බැරි බරක් දැනෙනවා. කැතරින් කියන බිරිඳ වේදනාවෙන් කියන දේ බලන්න. “මහත්තයාගේ ඒ ජරා පුරුද්ද ගැන හිතලාම මගේ ජීවිතේ කාලකණ්ණි වෙලා.”

 හිතන්න දෙයක්: බයිබලයේ සැමියාට කියන්නේ බිරිඳට ආදරේ කරන්න කියලා. (එෆීස 5:25) ඒත් සැමියා කරන දේ නිසා බිරිඳට කලින් කියපු විදිහට හිතෙනවා නම් ඒ සැමියා බිරිඳට ආදරෙයි කියලා කියන්න පුළුවන්ද?

 කරන්න පුළුවන් දේ

 කාමුක දර්ශන බලන පුරුද්ද කඩාගන්න එක ලේසි නැහැ. ස්ටේසි කියන බිරිඳ මෙහෙම කියනවා. “මගේ මහත්තයා සිගරට්වලට, මරිජුවානාවලට, මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටියත් ඒවා අත්හැරියා. ඒත් කාමුක දර්ශන බලන පුරුද්ද කඩාගන්න එයා තාමත් මාර ෆයිට් එකක් දෙන්නේ.”

 ඔයාත් කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වුණ කෙනෙක් නම් ඒ පුරුද්ද කඩලාම දාන්න මේ යෝජනා ඔයාට උදව් වෙයි.

  •   ඒ පුරුද්ද කොච්චර හානිකරද කියලා තේරුම්ගන්න. කාමුක දර්ශන බලන එකෙන් කෙනෙක් කරන්නේ එයාගේ ආසාව කොහොමහරි සංසිඳවගන්න හදන එක. ප්‍රීතිමත් විවාහයක කණු වගේ තියෙන ආදරය, විශ්වාසය වගේ ගුණාංග ඒ ආත්මාර්ථකාමී හැඟීම නිසා කැඩිලා, බිඳිලා, දෙදරලා යනවා. ඒක විවාහයේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට ලොකු අගෞරවයක්.

     බයිබල් ප්‍රතිපත්තිය: “විවාහය ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි.”—හෙබ්‍රෙව් 13:4.

  •   වරද ඔයාගේ කියලා පිළිගන්න. ‘මගේ බිරිඳ මීට වඩා ආදරෙන්, මගේ ඕන එපාකම් බැලුවා නම් මට කාමුක දර්ශන බලන්න ඕන වෙන්නේ නෑ’ කියලා කියන්න එපා. ඔයාගේ වරද බිරිඳ පිට පටවන එක සාධාරණ නැහැ. අනික එහෙම හිතන එක බිරිඳ අතින් මොකක්හරි අඩුවක් වුණාම ලේසියෙන්ම ඒ වරදට ආයෙත් වැටෙන්න ඔයා නිදහසට කරුණක් කරගනියි.

     බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය.”—යාකොබ් 1:14.

  •   අවංකව, විවෘතව කතාබහ කරන්න. කෙවින් කියන සැමියා මෙහෙම කියනවා. “මං කිසි දෙයක් හංගන්නේ නැහැ කියලා තේරුම්ගන්න වයිෆ්ට උදව් වුණේ හැමදාම එයාත් එක්ක ඒ ගැන විවෘතව කතා කරපු එක. මං එයාට අවංකවම කිව්වා මං ලිංගික හැඟීම් ඇවිස්සෙන දෙයක් බලන්න පෙලඹුණාද, නැත්නම් කොහෙමහරි ඒක බලන්නේ නැතුව හිටියාද කියලා.”

     බයිබල් ප්‍රතිපත්තිය: “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.”—හෙබ්‍රෙව් 13:18.

  •   සෝදිසියෙන් ඉන්න. කලින් කියපු කෙවින් මෙහෙම කියනවා. “කාමුක දර්ශන බලන එක මං අවුරුදු 10ක් තිස්සේ නවත්තලා තිබ්බේ. මං හිතුවේ මං දින්නා කියලා. ඒත් ඒ ඇබ්බැහිය හරියට හැංගිලා ඉඳලා එක පාරම පැනලා අපිව හපා කන වල් සතෙක් වගේ.” ඒකෙන් තේරෙන්නේ මේ පුරුද්ද සම්පූර්ණෙන්ම කඩාගත්තා කියලා හිතුවත් අවුරුදු ගාණකට පස්සේ වුණත් ආයෙත් ඒකට වැටෙන්න පුළුවන් කියන එකයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් තමා ස්ථිරව සිටිනවා කියා සිතුවත් ඔහු වැටී යෑමට ඉඩ තිබේ. එමනිසා ඔහු සෝදිසියෙන් සිටිය යුතුයි.”—1 කොරින්ති 10:12.

  •   පෙලඹීමක් එද්දී නැවතිලා ටිකක් හිතන්න. වැරදි පෙලඹීමක් හිතට එන එක නවත්තන්න බැරි වෙයි. හැබැයි ඒක ඉටු කරගන්නවාද නැද්ද කියන එක තියෙන්නේ ඔයාගේ අතේ. ඒ වගේ වෙලාවට ටිකක් නවතින්න. වෙන දෙයක් ගැන හිතන්න. එතකොට ඒ වැරදි පෙලඹීම හිතනවාටත් වඩා ඉක්මනින් ඔයාගේ හිතෙන් පහ වෙලා යයි.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘සෑම කෙනෙකුම තමාගේ ශරීරය ශුද්ධව හා ගෞරවනීය ආකාරයකින් පාලනය කරගත යුතු අන්දම ගැන දැන සිටිය යුතුයි. කිසිවෙකු කාමාශාවෙන් දැවිදැවී නොසිටිය යුතුයි.’—1 තෙසලෝනික 4:4, 5.

  •   පුරුද්දට ආයෙත් වැටෙන්න පුළුවන් අවස්ථා මඟහරින්න. එක පොතක මෙහෙම කියනවා. “ඔයා ඉන්නේ වරදට පෙලඹෙන්න ඔන්න මෙන්න නම් ඔයා හරියට පත්තු කරපු ගිනි කූරක් වගේ. ගින්න ඇවිලෙන්න ඕනෙ කරන්නේ පෙට්‍රල් ටිකක් විතරයි.”—Willpower’s Not Enough.

     බයිබල් ප්‍රතිපත්තිය: “කිසිම දුෂ්ට දෙයකට මාව පාලනය කිරීමට ඉඩ නොදෙන්න.”—ගීතාවලිය 119:133.

  •   බලාපොරොත්තු අත්හරින්න එපා. බිරිඳගේ නැත්නම් සැමියාගේ විශ්වාසය ආයෙත් දිනාගන්න සෑහෙන කාලයක්, සමහරවිට අවුරුදු ගාණක් වුණත් යයි. ඒත් වැඩිදෙනෙක් අද්දැකලා තියෙන්නේ කොච්චර කාලයක් ගියත් විශ්වාසය දිනාගන්න පුළුවන් කියලයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තයි.”—1 කොරින්ති 13:4.

a මේ ලිපියේ කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා ඉන්න ස්වාමිපුරුෂයන් ගැන කතා කළත් සඳහන් කරලා තියෙන ප්‍රතිපත්ති ඒ පුරුද්දට වැටිලා ඉන්න භාර්යාවන්ටත් අදාළයි.

b සමහර විවාහක යුවළයන් කියනවා දෙන්නා එකතු වෙලා කාමුක දර්ශන බලද්දී එයාලාගේ බැඳීම තව වැඩි වෙනවා කියලා. ඒත් ඒක බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනියි.—හිතෝපදේශ 5:15-20; 1 කොරින්ති 13:4, 5; ගලාති 5:22, 23.