Skip to content

පටුනට යන්න

සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!

සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!

විශාරදයෙක් පැරණි පිටපතක කොටසක් ඉතා පරෙස්සමින් සෝදිසි කර බලයි. එහි අක්ෂර සහ ව්‍යාකරණ දෙස බැලූ ඔහුට තම දෑස් අදහාගත නොහැක. ඔහු අත තිබෙන්නේ මෙතෙක් ජෝර්ජියන් භාෂාවෙන් සොයාගෙන තිබෙන පැරණිතම බයිබල් පිටපතක කොටසකි.

එය සොයාගත්තේ 1922 දෙසැම්බර් මාසයේදීය. විශාරද ඉවානේ ජාවාකිෂ්වීලි ජෝර්ජියන් හෝඩියේ ආරම්භය ගැන තොරතුරු සොයමින් සිටියදී පැරණි යුදෙව් ලියවිල්ලක පිටපතක් ඔහුට සම්බ විය. එම ලියවිල්ල විමසිල්ලෙන් පරීක්ෂා කරන විට එහි තිබූ හෙබ්‍රෙව් අක්ෂරවලට යටින් භාගෙට මකා දමා තිබූ ජෝර්ජියන් අක්ෂර දක්නට ලැබුණි. *

හෙබ්‍රෙව් අක්ෂරවලට යටින් භාගෙට මකා දමා තිබුණේ ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසේදී පිටපත් කරන ලද බයිබලයේ යෙරෙමියා පොතේ කොටසකි. එතෙක් ජෝර්ජියන් භාෂාවෙන් තිබූ පැරණිතම බයිබල් අත්පිටපත ක්‍රි.ව. නවවෙනි සියවසට අයත් වූවකි. එම සොයාගැනීමෙන් පසුව ක්‍රි.ව. පහේදී හෝ ඊට පෙර ජෝර්ජියන් භාෂාවෙන් පිටපත් කළ බයිබලයේ වෙනත් පොත්වල කොටස්ද සොයාගනු ලැබීය. යේසුස් හා ඔහුගේ මුල් අනුගාමිකයන් මිය ගොස් සියවස් කිහිපයක් ඇතුළත සකස් කළ එවැනි බයිබල් අත්පිටපත් සොයාගැනීමට ලැබීම මොන තරම් අගනේද!

එම පැරණි අත්පිටපත් ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කළේ කවුරුන්ද? ඒවා එක් පුද්ගලයෙකු කළ පරිවර්තනයක්ද නැත්නම් කණ්ඩායමක් විසින් කරන ලද්දක්ද? මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිම ඉතිහාස වාර්තාවක් සොයාගෙන නැත. කෙසේවෙතත් ඒ සොයාගැනීම්වලින් එක් දෙයක් සනාථ වේ. එනම් ක්‍රි.ව. හතරවෙනි සියවස තරම් ඈත අතීතයේදී පවා බයිබලය හෝ එහි සමහර පොත් ජෝර්ජියන් භාෂාවෙන් තිබූ බවයි.

ඒ කාරණය ක්‍රි.ව. පස්වෙනි සියවසේ අගභාගයේදී ෂුෂානික් නම් රැජිණගේ ජීවිත කතාව ගැන ලියවුණු පොතෙන්ද සනාථ වේ. ගීතාවලිය පොතෙන්, සුවිශේෂ පොත්වලින් හා බයිබලයේ වෙනත් පොත්වලින් කළ උපුටා දැක්වීම් එහි සඳහන්ව ඇත. ලේඛකයා විස්තර කරන පරිදි ෂුෂානික් රැජිණගේ ස්වාමිපුරුෂයා එනම් ජෝර්ජියාවේ කාට්ලි අධිරාජ්‍යයේ ආණ්ඩුකාරයා වූ වාස්කෙන්, පර්සියානු අධිපතීන්ගේ සිත් දිනාගැනීම පිණිස ක්‍රිස්තියානි ධර්මය අත්හැර පර්සියානු ආගමක් වැලඳගත්තේය. ෂුෂානික් රැජිණටත් එසේ කරන ලෙසට ඔහු බල කළ නමුත් ඇය එසේ කිරීම ප්‍රතික්ෂේප කළාය. එහි තවදුරටත් සඳහන් වන්නේ ඇගේ ජීවිතයේ අවසන් කාලයේදී ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේවලින් ඇය මහත් සැනසීමක් ලැබූ බවයි.—The Martyrdom of St. Shushanik the Queen.

පස්වෙනි සියවසේ සිට ජෝර්ජියන් භාෂාවට බයිබලය පරිවර්තනය කිරීම හා පිටපත් කිරීම නොනවත්වා සිදු වී ඇත. මේ වන විට ජෝර්ජියන් භාෂාවෙන් තිබෙන බයිබල් අත්පිටපත් දෙස බලන විට පිටපත්කරුවන් හා පරිවර්තකයන් මොන තරම් වෙහෙසක් දරා තිබෙනවාද කියා මනාව පැහැදිලි වේ. ජෝර්ජියන් බයිබලයේ ඉතිහාසය ගැන කතා කරන විට එය පරිවර්තනය වූ හා මුද්‍රණය වූ ආකාරය ගැන කතා නොකර සිටිය නොහැක. දැන් අපි ඒ පිළිබඳව තොරතුරු බිඳක් බලමු.

පරිවර්තන රැසක්

“මා ඉතා යටහත්පහත් පැවිද්දෙකි. මම මහත් කැපවීමකින් හා වෙහෙසක් දරා ගීතාවලිය පොත නවීන ග්‍රීක භාෂාවෙන් ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කළෙමි.” එසේ පැවසුවේ 11වෙනි සියවසේ ජීවත් වූ ගියොර්ගි ම්ටාට්ස්මින්ඩෙලි නම් පැවිද්දාය. ඒ වන විටත් ජෝර්ජියන් භාෂාවෙන් බයිබලයේ අත්පිටපත් තිබූ නිසා නැවත බයිබලය පරිවර්තනය කිරීමට අවශ්‍යතාවක් මතු වුණේ ඇයි?

එකළොස්වෙනි සියවස වන විට ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කළ බයිබලයේ අත්පිටපත් ඉතුරුව තිබුණේ සීමිත ප්‍රමාණයක් පමණි. බයිබලයේ සමහර පොත්වල අත්පිටපත් නැති වී තිබුණි. භාෂාවේද යම් වෙනස්කම් සිදුව තිබූ නිසා පැරණි අත්පිටපත් කියවා තේරුම්ගැනීමට අපහසු විය. එමනිසා ජෝර්ජියන් බයිබලය ප්‍රතිසංස්කරණය කිරීමට පරිවර්තකයන් කිහිපදෙනෙකු විසින් මහත් වෙහෙසක් දරන ලදි. ඒ අතරින් ගියොර්ගි කැපී පෙනුණු පරිවර්තකයෙකි. ඉතුරුව තිබූ ජෝර්ජියන් බයිබලයේ අනුවාදවල අත්පිටපත් ග්‍රීක අත්පිටපත් සමඟ සැසඳූ ඔහු, නැති වී තිබූ කොටස් යළි පරිවර්තනය කළේය. බයිබලයේ සමහර පොත් සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමටද ඔහුට සිදු විය. ගියොර්ගි පූජකාරාමයක භාරකාරත්වය හෙබවූ නිසා දිවා කාලයේදී කාර්යබහුලව සිටි ඔහුට පරිවර්තන කටයුතුවල නියැලීමට සිදු වුණේ රාත්‍රි කාලයේදීය.

ගියොර්ගිගේ සමකාලීනයෙකු වූ එෆ්‍රේම් මිට්ස්‍රෙ පරිවර්තන වැඩකටයුත්ත තවත් පියවරක් ඉදිරියට ගෙන ගියේය. පරිවර්තකයන්ට උපකාරවත් වන වටිනා ප්‍රතිපත්ති ඔහු විසින් හඳුන්වා දෙන ලදි. එම ප්‍රතිපත්තිවලට, හැකි සෑම අවස්ථාවකදීම මුල් භාෂාවේ පිටපත්වලින් පරිවර්තනය කළ යුතු බවත් පරිවර්තනය කරන භාෂාවේ ස්වාභාවික ගතිය රැකගන්නා අතරවාරයේ මුල් පිටපත්වලින් බැහැර නොවිය යුතු බවත් ඇතුළත් විය. ඊට අමතරව පාදසටහන් හා හරස් යොමු සටහන්ද ඔහු විසින් ජෝර්ජියන් බයිබලයට ඇතුළත් කරනු ලැබීය. බයිබලයේ පොත් කිහිපයක්ම ඔහු අලුතින්ම පරිවර්තනය කළේය. එසේ ගියොර්ගි හා එෆ්‍රේම්, ජෝර්ජියන් භාෂාවට බයිබලය පරිවර්තනය කිරීමේ වැඩකටයුත්ත දිගටම කරගෙන යෑමට හොඳ අඩිතාලමක් දැමුවෝය.

දොළොස්වෙනි සියවසේදී ජෝර්ජියාවේ පොත් පත් නිෂ්පාදනය පුළුල් වූ අතර ගෙලාටි හා ඉකාල්ටෝ යන නගරවල විද්‍යාල පිහිටුවනු ලැබීය. විද්වතුන් වැඩිදෙනෙකු පවසන්නේ ගෙලාටි බයිබල් අනුවාදය එම විද්‍යාලයක විද්වතෙකු විසින් අලුතින්ම කරනු ලැබූ පරිවර්තනයක් බවයි. මේ වන විට එම බයිබලය ජෝර්ජියාවේ ජාතික අත්පිටපත් මධ්‍යස්ථානයේ තබා තිබේ.

බයිබලය ජෝර්ජියන් භාෂාවට පරිවර්තනය කිරීම ජෝර්ජියාවේ වැසියන්ගේ ජීවිතවලට බලපා තිබෙන්නේ කෙසේද? එය තේරුම්ගැනීමට මේ උදාහරණය බලන්න. දොළොස්වෙනි සියවසේ ජීවත් වූ ෂෝටා රස්ටාවෙලි නම් ප්‍රසිද්ධ කවියා රචනා කළ කවි පෙළේ වැඩියෙන්ම කතා කෙරෙන්නේ ත්‍යාගශීලී වීමේ, ස්ත්‍රීන්ට ගරු කිරීමේ, අන් අයට පරාර්ථකාමී ප්‍රේමය පෙන්වීමේ සහ සැබෑ මිතුදම්වල ඇති වැදගත්කම ගැනයි. (එම කවි පෙළේ නම “Knight in the Panther Skin”) ඔහුගේ කවි පෙළ සෙනඟට කොතරම් බලපෑමක් කළාද යත් එය හඳුන්වන්නේ ජෝර්ජියානුවන්ගේ දෙවෙනි බයිබලය ලෙසයි. සාහිත්‍යය පිළිබඳ ප්‍රවීණයෙක් වන කේ. කෙකේලිඩ්සගේ නිගමනය නම් රස්ටාවෙලිගේ කවි පෙළට ඇතුළත් කර තිබෙන අදහස් බයිබලයේ තිබෙන ප්‍රතිපත්තිවලට බෙහෙවින් සමීප බවයි. රස්ටාවෙලිට පමණක් නොව බයිබලයේ සඳහන් වී තිබෙන වටිනා ප්‍රතිපත්ති ජෝර්ජියාවේ වැසියන් සිතන පතන ආකාරයටත් සියවස් ගණනාවක් පුරා බලපා තිබේ. අදටත් එය එසේමය.

රජ පවුලේ සහය ඇතුව බයිබලය මුද්‍රණය කෙරේ

ජෝර්ජියාවේ රජ පවුල 17වෙනි සියවසේ අගභාගයේදී ජෝර්ජියන් බයිබලය මුද්‍රණය කිරීමට මහත් උනන්දුවක් දැක්වීය. ඔවුන් කොතරම් උනන්දුවක් දැක්වුවාද කියනවා නම් හයවෙනි වැක්ටාංග් රජ ජෝර්ජියාවේ අගනුවර වන ටිබිලිසියේ ඒ වෙනුවෙන්ම මුද්‍රණාලයක්ද ඉදි කළේය. නමුත් ඒ වන විට තිබුණේ බයිබලයේ සමහර කොටස්වල අත්පිටපත් පමණි. ඒවාද සම්පූර්ණ කර නොතිබුණු අතර භාෂාවද යල් පැන ගොස් තිබුණි. එමනිසා මුද්‍රණ කටයුතු ඇණහිටුණි. ඒත් සමඟම වටිනා වස්තුවක් බඳු ජෝර්ජියන් බයිබලය නැවතත් යම් දුරකට සැඟවී ගියා කියා පැවසිය හැක. එමනිසා ජෝර්ජියන් බයිබලය සංශෝධනය කිරීමේ කටයුත්ත භාෂාවේදියෙකු වූ සුල්හාන් සාබා ඔබෙලියානිට භාර දෙන ලදි.

ග්‍රීක සහ ලතින් ඇතුළුව භාෂා කිහිපයක් දැන සිටි ඔබෙලියානි, තමාට පැවරුණු කාර්යය මහත් උනන්දුවෙන් ආරම්භ කළේය. ඒ වන විට තිබූ ජෝර්ජියන් බයිබල් අත්පිටත්ද වෙනත් භාෂාවලින් තිබූ අත්පිටපත්ද ඔහු හොඳින් සෝදිසි කර බැලීය. එලෙස තොරතුරු සොයා බලා එවකට තිබූ මතවලින් බැහැරව ඔහු කළ පරිවර්තනය ගැන ජෝර්ජියාවේ ඕතඩොක්ස් පූජකයන් එතරම් සතුටු වූයේ නැත. ඔබෙලියානි ඕතඩොක්ස් පල්ලියට ද්‍රෝහිව කටයුතු කරනවා කියා පැවසූ ඔවුහු, ඔහු කරමින් සිටි පරිවර්තන කටයුත්ත නතර කරවීමට රජුව පෙලඹෙව්වෝය. එක් ඉතිහාස වාර්තාවකට අනුව ඔබෙලියානි වසර ගණනාවක් පුරා පරිවර්තනය කර තිබූ බයිබලය පුලුස්සා දමන ලෙසට පූජකයෝ ඔහුට නියෝග කළෝය.

නමුත් සාබාගේ බයිබලය ලෙස හඳුන්වන අත්පිටපතක් අදටත් තිබේ. (එනම් Mcxeta Manuscript) ඔබෙලියානි විසින් ලියූ සටහන්ද එහි අඩංගු වේ. පූජකයන් හෙළාදුටු බයිබලය එයමද කියා සමහරු සැක පළ කරති. කෙසේවෙතත් එහි තිබෙන උපග්‍රන්ථය ඔහු විසින් කරන ලද්දක් බවට කිසිවෙක් සැක නොකරති.

කොතරම් අභියෝග පැමිණියත් බයිබලය මුද්‍රණය කිරීම වැදගත් කටයුත්තක්ව තිබෙන බව රජ පවුලේ සමහරදෙනෙක් අමතක නොකළෝය. වර්ෂ 1705ත් 1711ත් අතර කාලයේදී බයිබලයේ සමහර කොටස් මුද්‍රණය කෙරුණි. බාකාරි සහ වාකුෂ්ටි යන කුමාරයන්ගේ මැදිහත් වීමෙන් 1743දී සම්පූර්ණ ජෝර්ජියන් බයිබලය එළිදැක්වුණි. එය නැවත කිසි දිනක සැඟවී නොයනු ඇත!

^ 3 ඡේ. අතීතයේදී ලේඛන කටයුතු සඳහා අමුද්‍රව්‍ය ඉතා සීමිත ප්‍රමාණයක් තිබූ නිසාත් ඒවා මිල අධික වූ නිසාත් යල් පැන ගිය ලියවිලි මකා දමා ඒවා යළි භාවිතයට ගැනීම සිරිතක් විය.

National Center of Manuscripts