Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

ඔබත් ණය බරින් හෙම්බත් වෙලාද?

ඔබත් ණය බරින් හෙම්බත් වෙලාද?

යානිස්: * “ග්‍රීසියේ තිබුණු ආර්ථික බිඳවැටීම නිසා මගේ ව්‍යාපාරයත් බංකොලොත් වුණා. මම කල්පනා කළේ ණය ගෙවාගන්නේ කොහොමද කියලා. ඒ ගැන හිතද්දී මට නින්ද ගියෙත් නැහැ.”

කැතරීනා: “අපේ පවුලේ හැමෝම ආදරයෙන් බැඳිලා හිටියේ. ඒත් ණය ප්‍රශ්නේ නිසා යානිසුයි මමයි හැම තිස්සේම වගේ රණ්ඩු වුණා. ඒක දරාගන්න මට ලේසි වුණේ නැහැ.”

ණය බර නිසා පවුලක ප්‍රශ්න ඇති වෙන්න විතරක් නෙවෙයි පවුලක් දෙකඩ වෙන්නත් ඉඩ තියෙනවා. ණය බරින් පීඩා විඳින බිරිඳත් සැමියාත් කතා කරන්නේ හරිම අඩුවෙන් කියලත් රණ්ඩු සරුවල්වල කෙළවරක් නැහැ කියලත් පර්යේෂකයෙක් වන ජෙෆ්රි ඩූ කියනවා. කතාවක් තියෙනවා පවුලක ප්‍රශ්න තියෙන්නේ බත් හැළිය ඉදෙන කල් විතරයි කියලා. ඒත් ණය ගැන වාද විවාද නම් ටිකක් දුර දිග යනවා. මොකද ඒ වගේ වෙලාවලදී වෙන ප්‍රශ්නත් ඇදලා ගන්නවා. මේක කොයි තරම් භයානකද කියනවා නම් එක්සත් ජනපදයේ දික්කසාදවලින් වැඩි හරියක්ම සිද්ධ වෙලා තියෙන්නේ ණය බර නිසයි.

නින්ද නොයෑම, හිසරදය, හෘදයාබාධ, උදරාබාධ, මානසික පීඩනය වගේ රෝග ඇති වෙන්නත් ණය බර හේතු වෙනවා. මාර්තා කියන දේ බලන්න. “මගේ මහත්තයා අපේ පවුලේ බර දරාගෙන හිටියේ මහ මෙරක් වගේ. ඒත් මේ ණය ප්‍රශ්නේ නිසා එයා කොච්චර මානසිකව වැටුණාද කියනවා නම් එයා කළේ දවසම වගේ නිදාගත්ත එක. මට දැනුණේ මගේ ලෝකෙම කඩා වැටිලා වගේ.” සමහර අයට මේ පීඩනය දරාගන්න බැහැ. තම දරුවන්ට බෙහෙත් ගන්න රුපියල් ලක්ෂයක් විතර ණය වෙලා හිටිය දකුණු ඉන්දියාවේ එක් මවක්, ණය ගෙවාගන්න බැරුව අන්තිමේදී දිවි නසාගත් බව BBC ප්‍රවෘත්ති සේවයේ පළ වුණා. ණය බර කොයි තරම් දරුණුද!

ඔබේ පවුලත් ණය බරෙන් හෙම්බත් වෙලාද? ඒ වගේ වෙලාවට පවුලක ඇති වෙන්න පුළුවන් යම් ගැටලු කිහිපයක් ගැනත් ඒවා විසඳගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැනත් දැන් අපි ටිකක් කතා කරමු.

1වන ගැටලුව: වරද අනික් කෙනා පිට පැටවීම.

“මගේ බිරිඳ හැම තිස්සේම අනවශ්‍ය දේවලට සල්ලි නාස්ති කරනවා” කියලා ලූකාස් කියද්දී එයාගේ බිරිඳ ඒ ගැන ඇඟිල්ල දික් කරන්නේ ලූකාස්ට. එයා කියන්නේ ලූකාස්ට හරිහමන් රස්සාවක් තිබුණා නම් මෙහෙම ණය වෙන්නේ නැහැ කියලයි. මෙහෙම එකිනෙකාට චෝදනා කරගන්නවා වෙනුවට කරන්න පුළුවන් මොනවාද?

විසඳුම: එකතු වෙලා විසඳුම් හොයන්න.

ණය වුණේ ඔබේ සහකරු හෝ සහකාරිය නිසා නම් කේන්ති ගන්න එපා. බයිබලයේ එෆීස 4:31 කියන්නේ “දැඩි වෛරය, උදහස, කෝපය, කෑගැසීම, නින්දාසහගත කතා මෙන්ම වෙනත් නපුරු දේවල් ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න” කියලයි.

“ප්‍රශ්නෙ තියෙන්නේ ණය එක්ක මිසක් අපි දෙන්නා අතරේ නෙවෙයි කියලා අපි තේරුම්ගත්තා. ඒ නිසා අපිට පුළුවන් වුණා එකතු වෙලා විසඳුම් හොයන්න.” ස්ටෙෆානෝ කියපු දේ හිතෝපදේශ 13:10 තියෙන මේ දේටත් එකඟයි. “අහංකාරකම දබරවලට මුල පුරයි. නමුත් එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක.” අහංකාර වෙලා තනියම ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරනවා වෙනුවට එකතු වෙලා ප්‍රශ්නේ විසඳගන්න.

මෙතනදී දරුවන්ටත් කරන්න දෙයක් තියෙනවා. බලන්න ආර්ජන්ටිනාවේ හිටපු එඩ්ගාඩෝ කියන දේ. “මගේ පුතා හිටියේ අලුත් බයිසිකලයක් ගන්න ආසාවෙන්. ඒත් අපිට තියෙන සල්ලි ප්‍රශ්න ගැන එයාට කිව්වම එයා ඒක තේරුම් ගත්තා. අපි එයාට සීයාගේ බයිසිකලේ දුන්නාම එයා ඒකට කැමති වෙලා ඒක ආසාවෙන් පැද්දා. අපි තනියම ප්‍රශ්න හිතේ තියන් ඉන්නවාට වඩා දරුවන්ටත් ඒ ගැන කියන එක කොච්චර හොඳද කියලා මට ඒ වෙලාවේ හිතුණා.”

මෙය අත්හදා බලන්න: පවුලම එකතු වෙලා ණය ගැන කිසිම දෙයක් හංගන්නේ නැතුව කතා කරන්න. ණය වුණේ ඔබ හින්දා නම් ඒක අවංකවම පිළිගන්න. වෙච්ච දේ ගැන හිතහිත ඉන්නේ නැතුව ඒ ගැන කරන්න පුළුවන් මොනවාද කියලා බලන්න.—ගීතාවලිය 37:21; ලූක් 12:15.

2වන ගැටලුව: කවදාවත් ණය බරින් ගොඩ ඒමක් නැහැ කියා සිතීම.

“මගේ ව්‍යාපාරය නිසා මං ගොඩක් ණය වෙලා හිටියා. ඔය අස්සේ ආර්ජන්ටිනාවේ ආර්ථික අර්බුදය ආවම මං තවත් ණය වුණා. බිරිඳට ශෛල්‍යකර්මයක් කරන්න ඕනේ කියලා දැනගත්තාම මට දැනුණේ මම හරියට පඹගාලක පැටලුණා වගේ. ඒ ණය බරින් ගොඩ ඒමක් නම් නැහැ කියලයි මට හිතුණේ.” එහෙම කියන්නේ එන්රික්. බ්‍රසීලයේ හිටිය රොබේටෝගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බංකොලොත් වුණා විතරක් නෙවෙයි ඔහු බැංකු 12කටත් ණය වුණා. එයා මෙහෙම කියනවා. “මට කාටත් මුහුණ දෙන්නත් බැරි වුණා. මට දැනුණේ මං හැම දේම නැති කරගත්ත කෙනෙක් කියලයි.”

ඔබටත් ඒ වගේ හිතෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

විසඳුම: අරපිරිමැස්මෙන් වියදම් කරන්න. *

 

1. අයවැය වාර්තාවක් හදාගන්න. සති දෙකක් හෝ මාසයක් පුරා ලැබීම් හා ගෙවීම්වල වාර්තාවක් හදාගන්න. ඒකට නිතිපතා කරන වියදම් වගේම ඉඳහිට කරන වියදම් උදාහරණයකට බදු මුදල්, රක්ෂණ වාරික, ඇඳුම් පැළඳුම්වලට යන වියදම්ද ඇතුළත් කරන්න. ඉන් මාසික වියදම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.

2. ආදායම වැඩි කරගන්න. රැකියාවේම අතිකාල වැඩ තිබෙනවාද කියලා බලන්න. වසරේ යම් කාලවලදී විතරක් කෙරෙන වැඩවලින් ආදායමක් හොයාගන්න පුළුවන්ද බලන්න. අමතර පංති පවත්වන්න. විනෝදාංශයෙන් ආදායමක් උපයගන්න පුළුවන්ද බලන්න. මතක තියාගන්න: මොන දේ කළත් වඩා වැදගත් දේවල් (නමස්කාර කටයුතු) අතපහු කරන්න එපා.

පවුලේ හැමෝම එකතු වෙලා ණය බරෙන් ගොඩ එන්න විසඳුමක් හොයන්න

3. වියදම් අඩු කරගන්න. මිල අඩු කර තිබූ පමණින් භාණ්ඩ මිලදී ගන්න එපා. ඒවා ඇත්තටම අත්‍යවශ්‍යද කියලා හිතන්න. (හිතෝපදේශ 21:5) එන්රික් මෙහෙම කිව්වා. “ආස කරන බඩුවක් ඒ වෙලේම ගන්නේ නැතුව ටික කාලයක් ඉන්න එක හොඳයි. එතකොට ඒක ඇත්තටම ඕනෙද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්.”

  • නිවාස: දැනටමත් ඉන්නේ කුලියට නම් අඩු කුලියකට ගෙයක් හොයාගන්න. විදුලිය, වතුර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.

  • කෑම: කඩවල්වලින් කන්නේ නැතුව නිවසෙන්ම කෑම පැකට් එකක් අරන් යන්න. වට්ටම් ලැබෙන, විශේෂ දීමනා ලැබෙන ආහාර ද්‍රව්‍ය මිලදී ගන්න. ඒ ගැන බ්‍රසීලයේ ජොඑල්මා පැවසූ දේ බලන්න. “මාකට් එකේ ඉන්න වෙළෙන්දෝ ගෙදර යන්න ළං වෙන වෙලාවට බඩු ගන්න ගියාම මට අඩු ගානට එළවළු, පළතුරු ගන්න පුළුවන්.”

  • ප්‍රවාහණය: ලොකු වියදමක් දරන්න වෙන වාහන විකුණන්න. අඩු වියදමකින් වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වාහනයක් තියාගෙන ඒක හොඳින් නඩත්තු කරන්න. නවීන පන්නයේ වාහන මිලදී ගන්න ඉක්මන් වෙන්න එපා. පුළුවන් තරම් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ප්‍රයෝජන ගන්න. පුළුවන් හැම වෙලාවකම පයින් යන්න.

වියදම අඩු කරගත්තට පස්සේ ඉතුරු වෙන මුදලෙන් ණය පියවන්න පුළුවන් වෙයි.

4. ණය ගැන සිහියේ තියාගෙන වැඩ කරන්න. ණය මුදල, පොළිය, බැංකු ගාස්තු ගැන දැනගන්න. ඒ වගේම වාරිකය ගෙවන්න පරක්කු වුණොත් නැත්නම් ගෙවාගන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලත් දැනගන්න. එක්සත් ජනපදයේ කෙටි කාලීන ණය දෙන ආයතනයක පොළී අනුපාතය සියයට 24ක් කියා සඳහන් වී තිබුණත් ඒ මුදල සම්පූර්ණයෙන් ගෙවා නිම වෙද්දී එය සියයට 400 වෙලා. ඒ නිසා ඔබත් ණයක් ගන්න කලින් ඒකට අදාළ කොන්දේසි හොඳින් කියවලා බලන්න.

වැඩි පොළියක් ගෙවන්න තියෙන ණය ඉක්මනින්ම ගෙවලා ඉවර කරන්න. එහෙම නැත්නම් පොඩි පොඩි ණය ටික ඉක්මනින්ම ගෙවලා දාන්න. ඒක සහනයක් වෙයි. අඩු පොළියට ණයක් අරන් වැඩි පොළියක් ගෙවන්න තියෙන ණය ගෙවලා දාන්න.

ණය මුදල ගෙවාගන්නම බැරි නම් ඒ ගැන ණය දුන් අයට කියන්න. ණය ගෙවන්න තව ටිකක් කල් දෙන්න පුළුවන්ද කියා හෝ පොළී මුදල අඩු කරන්න පුළුවන්ද කියලා නිහතමානීව අහන්න. ණය මුදල සම්පූර්ණයෙන් එක විට ගෙව්වොත් ගෙවිය යුතු පොළියෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්න ඔවුන් පෙලඹෙයි. ආර්ථික තත්වය ගැන කියද්දී අවංක වෙන්න. (කොලොස්සි 4:6; හෙබ්‍රෙව් 13:18) එකඟත්වයකට එන හැම තොරතුරක් ගැනම ලිඛිත සටහනක් ගන්න. මුලින් අසාර්ථක වුණොත් ආයෙත් උත්සාහ කරලා බලන්න.—හිතෝපදේශ 6:1-5.

ණයක් ගන්නකොට දේවල් කොයි තරම් හොඳට සැලසුම් කළත් ඒවා අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. බයිබලයේ ඒ ගැන කියන්නේ ‘ඔබේ වස්තුව ඔබ බලා සිටියදීම රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි’ කියායි.—හිතෝපදේශ 23:4, 5.

මෙය අත්හදා බලන්න: අයවැය වාර්තාවක් හැදුවට පස්සේ වියදම අඩු කරගන්නත්, ආදායම වැඩි කරගන්නත් පවුලේ හැමෝටම හවුල් වෙන්න පුළුවන් කොහොමද කියලා කතා කරගන්න. හැමෝම යම් කැප කිරීමක් කරනකොට පවුලක් විදිහට එකතු වෙලා ණය මුදල ගෙවන්න පුළුවන් වෙයි.

3වන ගැටලුව: වඩා වැදගත් දේවල් අතපසු වීම.

ණය බර නිසා ජීවිතයේ වඩා වැදගත් දේවල් ලෙහෙසියෙන්ම අතපසු වෙන්න පුළුවන්. ඒ ගැන යෝර්ගියොස් මෙහෙම කියනවා. “ණය බර නිසා අපිට වෙන කිසිම දෙයක් ගැන හිතන්න විදිහක් ලැබුණේ නැහැ. ඒ නිසා අපේ පවුලට වැදගත් වෙන ගොඩාක් දේවල් අපිට අතපසු වුණා.”

විසඳුම: ජීවිතයම සල්ලි කියලා හිතන්න එපා.

ණය ගෙවන්න ඔබට පුළුවන් උපරිමය ඔබ කරනවා ඇති. නමුත් ඒ ගැන හිතහිතා දුක් වෙනවාද නැත්නම් ජීවිතයේ අනිකුත් වැඩ කටයුතු සමබරව කරගෙන යනවාද කියලා තීරණය කරන්න ඕනෙ. සල්ලි ගැන ඕනෑවට වඩා කනස්සලු වෙනවා වෙනුවට ‘කෑම බීම, ඇඳුම් පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් ඒ දේවලින් සෑහීමට පත් වෙන්න.’—1 තිමෝති 6:8.

තියෙන දෙයින් සෑහීමට පත් වීමෙන් ලැබෙන සතුට මිල කරන්න බැහැ

එතකොට “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට ඔබට හැකි” වෙයි. (ෆිලිප්පි 1:10) ජීවිතයේ “වඩා වැදගත්” දේවලට යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීමත්, පවුලේ අය එක්ක තියෙන බැඳීමත් ඇතුළත් වෙනවා. යෝර්ගියොස් මෙහෙම කියනවා. “අපි ණය බරින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා නැහැ. ඒත් අපේ ජීවිතයේ මූලිකම දේ ඒක නෙවෙයි. අපි දෙන්නා දරුවොත් එක්ක එකතු වෙලා නමස්කාර වැඩවලට මුල් තැන දීලා තියෙන නිසා අපි සතුටින් පවුල් ජීවිතය ගෙවනවා.”

මෙය අත්හදා බලන්න: සල්ලිවලට ගන්න බැරි දේවල් ජීවිතයේ කොච්චර තියෙනවාද? ඒවා මොනවාද කියලා ලියාගෙන ඒ දේවල් වෙනුවෙන් කාලය දෙන්න පුළුවන් කොහොමද කියලා බලන්න.

ණය බර ලොකු පීඩනයක් නිසා ඒ වෙනුවෙන් ලොකු කැප කිරීම් කරන්නත් වෙනවා. ඒ දේවල් කරන්න දරන උත්සාහය හුඟක් වටිනවා. පෝලන්තයේ අන්ජේ කියන දේ බලන්න. “මගේ බිරිඳ ලොකු ණයකට ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා තිබුණා. ඒත් ණය ගත්ත කෙනා පැනලා ගිය නිසා අපි හැමෝම ලොකු අමාරුවක වැටුණා. ඒ සිද්ධිය නිසා අපි අතරේ ප්‍රශ්න ඇති නොවුණාම නෙවෙයි. ඒත් ඒ ප්‍රශ්නේ විසඳගන්න අපි දෙන්නා එකතු වෙලා වැඩ කරපු නිසා අපි අතරේ තිබුණු බැඳීම තවත් වැඩි වුණා කියලයි මට හිතෙන්නේ.”

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර තිබේ.

^ 17 ඡේ. “ඉතිරි කිරීමට ඉගෙනගනිමු!” යන මාතෘකාවෙන් පළ වූ 2011 සැප්තැම්බර් මාසයේ පිබිදෙව්! සඟරාව බලන්න.

මේ ගැන හිතන්න

  • පවුලේ ණය බරට විසඳුමක් දෙන්න මට කරන්න පුළුවන් මොනවාද?

  • ණය නිසා පවුලේ බැඳීම නැති නොවීමට කරන්න පුළුවන් මොනවාද?