Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන්

සමඟියෙන් ජීවත් වෙන්න නම් . . .

සමඟියෙන් ජීවත් වෙන්න නම් . . .

ෆ්‍රෑන්ක් සහ ජෙරී හොඳ අසල්වැසියෝ. * ඒත් දවසක් ජෙරීගේ නිවසේ රෑ වෙනකම් තිබුණු සාදයක් නිසා දෙන්නගේ හොඳ හිත් බිඳුණා. ගෙදර සද්දේ වැඩියි කියලා ෆ්‍රෑන්ක් කිව්වාම ජෙරීට කේන්ති ගියා. එදා ඉඳන් දෙන්නට දෙන්නා මූණ බැලුවෙවත් නැහැ.

එකඟ නොවීම් ඇති වෙනකොට බොහෝදෙනෙක් කටයුතු කරන්නෙත් ෆ්‍රෑන්ක් සහ ජෙරී වගෙයි. ඒ වගේ වෙලාවට සාමාන්‍යයෙන් කේන්ති යනවා. චෝදනා කරගන්නවා. ප්‍රශ්නේ විසඳගත්තේ නැත්නම් හිත් අමනාපකම් ඇති වෙනවා.

ඔබත් ඒ වගේ තත්වයකට මුහුණ දීලා තියෙනවා නම් ඒකෙන් දුකක් මිසක් සතුටක් ලැබෙන්නේ නැහැ කියලා ඔබ දන්නවා ඇති. මොකද අපි කවුරුත් කැමති අපේ අසල්වැසියන්, යාළුවන් එක්ක සමඟියෙන් ඉන්න. ඒත් එකඟ නොවීම් ඇති වෙද්දී කොහොමද දිගටම සාමයෙන් ඉන්නේ? සිත් රිදවීමක් ඇති වුණාම කේන්තිය පාලනය කරගන්න පුළුවන්ද? ප්‍රශ්න සුහදව විසඳගන්න පුළුවන්ද?

අපි ටිකක් ෆ්‍රෑන්ක්ගෙයි ජෙරීගෙයි සිද්ධිය ගැන ආයෙත් බලමු. ඔවුන් කටයුතු කරපු විදිහේ අඩුපාඩු කීපයක් තිබුණා. (1) ජෙරී අනිත් අය ගැන සැලකිලිමත් වුණේ නැහැ. (2) ෆ්‍රෑන්ක් කතා කළේ ජෙරීට කේන්ති යන විදිහට. (3) දෙන්නටම ඉවසීම තිබුණේ නැහැ. (4) දෙන්නම යටත් වෙන්න කැමති වුණේ නැහැ.

ඒත් කාලයක් ගියාට පස්සේ දෙන්නා සමාදාන වුණා. ඒ කොහොමද? ප්‍රශ්නයක් ඇති වුණාම යාළුකම රැකගන්නත් බැඳීම් ශක්තිමත් කරගන්නත් බොහෝදෙනෙක්ට උදව් වෙලා තියෙන මඟ පෙන්වීම් ඔවුනුත් අදාළ කරගත්තා.

ඒ මඟ පෙන්වීම් තියෙන්නේ මේ ලෝකයේ වැඩියෙන්ම බෙදාහැර තියෙන පොතක් වන බයිබලයේ. එහි අපට උනන්දු කරන්නේ වටහාගැනීමේ හැකියාව, අවබෝධය, කරුණාව, ප්‍රේමය සහ ඉවසීම වැනි ගුණාංග වර්ධනය කරගන්න කියලයි. ඒවා සමාදානයෙන් ජීවත් වෙන්නත් ගැටලු ඇති වෙද්දී ඒවා විසඳගන්නත් උදව් වෙනවා.හිතෝපදේශ 14:29; 1 කොරින්ති 13:4, 5.

ජීවිත වෙනස් කරන්න බයිබලයට තියෙන හැකියාව පෙන්වන හොඳ උදාහරණ දෙකක් තමයි ෆ්‍රෑන්ක් සහ ජෙරී. ඒ වගේම ගැඹුරට මුල්  බැහැගෙන තිබුණු නරක ගතිගුණ වෙනස් කරගත් තවත් බොහෝ අය ඉන්නවා. ඒ අතරින් කෙනෙක් තමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන රොබට්. ඉස්සර ඔහුට අසාමාන්‍ය විදිහට කේන්ති යනවා. ඒත් දැන් ඔහු එයින් ගොඩ ඇවිත්. තවත් කෙනෙක් තමයි නැඟෙනහිර ටිමෝරයේ ජීවත් වන නෙල්සන්. කලින් ඔහු වෛර කළ කෙනෙක් දැන් ඔහුගේ හොඳම මිතුරෙක් වෙලා. ඒ විදිහට වෙනස් වෙන්න බයිබලය ඔවුන්ට උදව් වුණේ කොහොමද කියලා අපි අහලා බැලුවා.

1වෙනි පිළිසඳර

රොබට්, අපිට ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

අපේ පවුලේ ගොඩක් ප්‍රශ්න තිබුණා. මගේ තාත්තට හරියට කේන්ති යනවා. ඒ වෙලාවට මට හොඳටම ගහනවා. සමහර දවස්වලට ලේ එන කල් ගහනවා. මට සිහි නැතිවෙලත් තියෙනවා. කාලයක් යද්දී මමත් දරුණු වුණා. මම පොඩි කාලේදීම පුනරුත්ථාපන පාසැලක අවුරුදු 2ක් ඉඳලා තියෙනවා. දවසක් මම කෙනෙක්ට දරුණු විදිහට ගහපු නිසා මාව දැඩි ආරක්ෂාව යටතේ තියෙන හිරගෙදරකටත් දැම්මා. ඒකෙන් නිදහස් වුණාට පස්සේ අලුත් ජීවිතයක් පටන්ගන්න හිතාගෙන මම ඕස්ට්‍රේලියාවට ගියා.

රොබට් ඉස්සර දරුණු කෙනෙක්. ඒ නිසා හිරගෙදරත් හිටියා

එහෙට ගියාට පස්සේ ජීවිතය වෙනස් වුණාද?

එහේ ගිය නිසාම නෙමෙයි, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න ලැබුණ නිසයි වෙනස් වෙන්න පුළුවන් වුණේ. ඒ වුණත් කේන්තිය පාලනය කරගන්න ලොකු සටනක් කරන්න වුණා. ‘වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසෙකුට ඉක්මනින් කේන්ති නොයයි. වරද අමතක කර දැමීම ඔහු සතු අලංකාර ගුණාංගයක්’ කියලා හිතෝපදේශ 19:11 කියන දේ ගැන දවසක් මම කල්පනා කළා. මටත් ඕන වුණා ඒ වගේ වෙන්න. අපේ හැඟීම්වලට, කටින් පිට වෙන වචනවලට අපි හැසිරෙන විදිහට බලපාන්නේ මොකක්ද කියලා මං හිතුවා. අනිත් අයව තේරුම්ගන්න, ඉවසීමෙන් වැඩ කරන්න, සමාව දෙන්න ඒක මට උදව් වුණා.

අපිට ඒ වගේ අවස්ථාවක් ගැන කියන්න පුළුවන්ද?

දවසක් මං හිතන්නේ නැතුව කියපු දෙයක් නිසා මගේ යාළුවෙකුට හොඳටම කේන්ති ගිහිං අනිත් අය ඉස්සරහාම මට බැන්නා. මට ඒ වෙලාවේ දැනුණේ පුදුම ලැජ්ජාවක්. ඒත් ‘කාටවත් නපුරට නපුර කරන්න එපා’ කියලා බයිබලේ කියන දේ මට මතක් වුණා. (රෝම 12:17) මම ඉක්මනින්ම එයාගෙන් සමාව ඉල්ලුවා. යාළුවාගේ කේන්තිය නිවුණට පස්සේ මම එයත් එක්ක කතා කරද්දී දැනගත්තා එයා ඉඳලා තියෙන්නේ ප්‍රශ්නයකින් කියලා. එහෙම කතා කරපු නිසා ප්‍රශ්නේ විසඳුණා. ටිකක් හිතන්න මම කලින් හිටිය තත්වයේදී මේ වගේ දෙයක් වුණා නම් මම මොනවා කරයිද!

පවුලේ ප්‍රශ්නයක් ඇති වුණාම කොහොමද කටයුතු කරන්නේ?

අපිට අවුරුදු 20ක පුතෙක් ඉන්නවා. අනිත් පවුල්වල වගේ අපි අතරෙත් එකඟ නොවීම් තියෙනවා. ඒත් ඒ වගේ වෙලාවට මොනවද කරන්න ඕන කියලා මම බයිබලයෙන් ඉගෙනගෙන තියෙනවා. මගෙන් වරදක් වුණාම මම එයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ නිසා ප්‍රශ්න විසඳගන්න ලේසියි.

 2වෙනි පිළිසඳර

නෙල්සන්, ඔයා මිත්‍රශීලි කෙනෙක්. ඒත් කාලයකට කලින් නම් එහෙම නෙමෙයි නේද?

ඔව්, තරුණ කාලේදී මං රජයට විරුද්ධව සටන් කරපු දේශපාලන කණ්ඩායමකට සම්බන්ධ වෙලා හිටියා. අපේ පළාතට තරඟ කරපු අනිත් අය එක්ක මට තිබුණේ පුදුම වෛරයක්. එයාලට ගහන්න මම සටන් ක්‍රමත් ඉගෙනගත්තා. මාව කේන්ති ගස්සන අයට මම හොඳටම ගැහුවා.

තරුණ කාලේ නෙල්සන් රජයට විරුද්ධ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වී සිටියා

වෙනස් වුණේ කොහොමද?

මම බයිබලය ඉගෙනගත්තා වගේම ඒ ඉගැන්වීම් මගේ ජීවිතයට අදාළ කරගත්තා. විශේෂයෙන්ම මගේ හිතට කාවැදුණු උපදෙස් දෙකක් තියෙනවා. එකක් තමයි “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න” කියන එක. (මතෙව් 7:12) අනිත් එක “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” කියන එක. (මතෙව් 22:39) මට බයිබලය උගන්වපු අය ජාති භේද බලන්නේ නැතුව අනිත් අයට ප්‍රේමය පෙන්වන විදිහ මම දැක්කා. මටත් ඕන වුණේ ඒ වගේ වෙන්න. මාව කලින් දන්න අය මම දැන් ඉන්න විදිහ දැකලා පුදුම වෙනවා. ඉස්සර වගේ එයාලා දැන් මට බය නැහැ.

පරණ තත්වෙට වැටෙන්න ගිය අවස්ථා තිබුණද?

ප්‍රසිද්ධියේ නෙමෙයි. හැබැයි සමහර වෙලාවට ගෙදරදී කේන්ති ගිය අවස්ථා තිබුණා. දවසක් කේන්ති ගිහිල්ලා මං බිරිඳට ගැහුවා. අදටත් ඒ ගැන මං දුක් වෙනවා. එයා එදා මට සමාව දුන්න නිසා මගේ හැඟීම් පාලනය කරගන්න මම ගත්තු අධිෂ්ඨානය තවත් ශක්තිමත් වුණා.

දැන් ඔයාට මිනිස්සු බය නැහැ කියලා කිව්වානේ? ඔයා කොහොමද ඒක දන්නේ?

දවසක් මම වෛර කරපු දේශපාලන පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා හිටිය ඔගුස්ටෝව මට හම්බ වුණා. බය නිසා එයා මාත් එක්ක කතා කළේ හරිම පරෙස්සමින්. ඒත් මම එයත් එක්ක හොඳට හිනා වෙලා කතා කරලා පරණ තරහා මරහා අමතක කරමු කියලා කිව්වා. මම එයාට අපේ ගෙදරට එන්න කියලත් කිව්වා. මගේ වෙනස්කම දැකලා එයා පුදුම වුණා විතරක් නෙමෙයි බයිබලය ඉගෙනගන්නත් කැමති වුණා. දැන් අපි හොඳ යාළුවෝ. ඒ විතරක් නෙමෙයි එයත් දැන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්.

 “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටින්න”

ඔබ අනිත් අයත් එක්ක සමාදාන වෙන්න ගන්න උත්සාහයට හැමකෙනෙක්ම හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා හිතන්න බැහැ. ඒත් බයිබලයේ දීලා තියෙන මේ උපදෙස අමතක කරන්න එපා. “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”රෝම 12:18.

මිනිසුන්ගේ නරක ගතිගුණ පවා වෙනස් කරන්න උදව් වෙන ප්‍රඥාවන්ත උපදෙස් බයිබලයේ තියෙනවා. අපි බැලූ සැබෑ අද්දැකීම් එයට සාක්ෂියක්. (2 කොරින්ති 10:4) බයිබලයේ තියෙන ඒ ප්‍රඥාව ගැන හිතෝපදේශ 3:17, 18හි මේ විදිහට විස්තර කරනවා. “ප්‍රඥාවේ මාවත් ප්‍රසන්නය. එහි ගමන් කරන සැමට සමාදානය අත් වනු ඇත. ප්‍රඥාව ජීවන වෘක්ෂයකි. එය අත් කරගෙන තදින් අල්ලාගෙන සිටියොත් එයින් ජීවනයද සන්තෝෂයද ලැබෙනු ඇත.”

නෙල්සන් සහ ඔගුස්ටෝ දැන් හොඳ මිතුරන්

ඔබත් කැමති සමාදානයෙන් ඉන්නද? ප්‍රශ්න ඇති වුණත් මිත්‍රකම් රැකගන්නද? බයිබලයේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් ඒ සඳහා ඔබට උදව් වෙයි.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.