Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

ප්‍රශ්නය

දරුවන්ට හිරිහැර කරන අය, කාමාතුරයන් සහ පෞද්ගලික තොරතුරු හොරකම් කරන අය දැන් අන්තර්ජාලයේ වැඩි වැඩියෙන් සැරිසනවා කියලා ඔබට දැනගන්න ලැබෙනවා. ඔබේ දරුවාත් නිතර අන්තර්ජාලය පාවිච්චි කරන නිසා ඔබටත් බයක් දැනෙනවා ඇති.

අන්තර්ජාලය පාවිච්චි කරද්දී පරෙස්සම් වෙන්න ඕනෙ කොහොමද කියලා දරුවාට කියලා දෙන්න ඔබට පුළුවන්. ඒත් මුලින්ම ඔබ ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ.

ඔබ දැනගත යුතු දේ

ජංගම උපකරණවලිනුත් අන්තර්ජාලයට යන්න පුළුවන්. පරිගණකය ගෙදර හැමෝටම පෙනෙන තැනකින් තියෙන එක හොඳයි. ඒත් ටැබ්, ස්මාට්ෆෝන් වගේ ජංගම උපකරණවලිනුත් අන්තර්ජාලයට යන්න පුළුවන්. ඒ වගේ උපකරණවලින් දරුවා බලන්නේ මොනවද කියලා ඔබට පේන්නේ නැහැ.

රිය අනතුරු වෙනවා කියලා කෙනෙක් වාහනයක් පදවන්නේ නැතුව ඉන්නේ නැහැ. අන්තර්ජාලයත් ඒ වගේමයි. පරෙස්සමෙන් පාවිච්චි කිරීමේ වගකීම තියෙන්නේ දරුවාගේ අතේ

සමහර දරුවන් පැය ගණන් අන්තර්ජාලයේ සැරිසරනවා. 19 හැවිරිදි දැරියක් මෙහෙම කියනවා. “මම කම්පියුටර් එක දාන්නේ විනාඩි 5කට ඊමේල් බලනවා කියලා හිතාගෙන. අන්තිමේදී මම පැය ගානක් වීඩියෝ බලලා. මට මාවම පාලනය කරගන්න විදිහ ඉගෙනගන්න ඕනේ.”

දරුවන් නොසැලකිලිමත් විදිහට අන්තර්ජාලයට තොරතුරු ඇතුළත් කරන්න ඉඩ තියෙනවා. දරුවන් ඇතුළත් කරන පින්තූර සහ තොරතුරුවලින් වංචනික පුද්ගලයන්ට පුළුවන් දරුවා ඉන්න තැන, පාසැල, දෙමාපියන් ගෙදර නැති වේලාව වගේ දේවල් දැනගන්න.

ඇතුළත් කරන තොරතුරුවලින් වෙන්න පුළුවන් හානිය සමහර දරුවන්ට තේරෙන්නේ නැහැ. අන්තර්ජාලයට දාන තොරතුරු මකන්න බැහැ. ඒ නිසා දැන් දාන තොරතුරු හා පින්තූර ගැන පසු කාලයක පසුතැවෙන්න වෙයි. උදාහරණයකට දරුවා යම් දවසක රැකියාවකට ඉල්ලුම් කරද්දී ඒ සමාගම දරුවා ගැන තොරතුරු අන්තර්ජාලයෙන් සෙව්වොත් ඒ තොරතුරු ඔවුන් දකියි.

මේකත් මතක තියාගන්න. අන්තර්ජාලය නරක දෙයක් නෙමෙයි. ප්‍රශ්න ඇති වෙන්නේ එය වැරදි විදිහට පාවිච්චි කරන නිසයි.

මොනවද කරන්න පුළුවන්?

වැදගත් දේවල් හඳුනගන්නත් කාලය නැණවත්ව පාවිච්චි කරන්නත් උගන්වන්න. පවුලේ අයත් එක්ක කතාබහ කිරීම, පාසැලෙන් ලැබෙන පැවරුම් කිරීම, ගෙදර එයාට පවරලා තියෙන වැඩ කිරීම වගේ දේවල් විනෝදයට අන්තර්ජාලය බලනවාට වඩා වැදගත්. දරුවා වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක් වෙන්න නම් වැදගත් දේවල් මොනවාද කියලා හඳුනගන්න එයාට පුළුවන් වෙන්න ඕනේ. දරුවා අන්තර්ජාලයට වැය කරන කාලය වැඩියි කියලා හිතෙනවා නම් සීමා පනවන්න. නවත්වන්න ඕන වෙලාව දැනුම් දෙන්න එලාම් එකක් තියන්නත් පුළුවන්.ෆිලිප්පි 1:10 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අන්තර්ජාලයට තොරතුරු දාන්න කලින් හිතලා බලන්න උදව් කරන්න. මම දාන තොරතුරුවලින් කාගේ හරි හිත රිදෙයිද? මේ පින්තූරයෙන් මගේ චරිතයට හානියක් වෙයිද? මේක මගේ දෙමව්පියන් හරි වෙන වැඩිහිටි කෙනෙක් හරි දැක්කොත් මට ලැජ්ජ හිතෙයිද? මේ වගේ දෙයක් වෙන කෙනෙක් කරලා තිබුණා නම් එයා ගැන මට හිතෙන්නේ මොනවද? ඒ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න දරුවාට උදව් කරන්න.හිතෝපදේශ 10:23 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

නීති රීතිවලට වඩා හරි වැරැද්ද තේරුම්ගන්න උදව් කරන්න. දරුවා කරන දේවල් ගැන හැම තිස්සේම ඇහැගහගෙන ඉන්න බැහැ. ඒ නිසා නීතිරීති දාලා, දඬුවම් දීලා දරුවාව පාලනය කරනවාට වඩා ‘තම වටහාගැනීමේ හැකියාව භාවිත කර හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට’ දරුවාට කියලා දෙන්න. (හෙබ්‍රෙව් 5:14) ඔබට අවශ්‍ය දරුවා ඔබ ළඟ හිටියත් නැතත් ඥානවන්තව කටයුතු කරන කෙනෙක් වෙනවා දකින්නයි. ඒ නිසා අනිත් අය එයාව කොයි වගේ කෙනෙක් විදිහට දකිනවාටද එයා කැමති කියලා හිතලා බලන්න දරුවාට උදව් කරන්න.හිතෝපදේශ 3:21 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“තාක්ෂණය ගැන දරුවන් හුඟක් දන්නවා. ඒත් ජීවිතය ගැන හොඳින්ම දන්නේ දෙමාපියන්”

අන්තර්ජාලය පාවිච්චි කරන එකත් හරියට වාහනයක් එළවනවා වගේ වැඩක්. ඒකට තාක්ෂණික දැනුම විතරක් තිබිලා මදි කල්පනාකාරී වෙන්නත් ඕනේ. ඒ නිසා දරුවන්ට නිසි මඟ පෙන්වීම් දීම අත්‍යවශ්‍යයි. ඒ ගැන එක් උපදේශකයෙක් වන පැරී අෆ්තාබ් මෙහෙම කියනවා. “තාක්ෂණය ගැන දරුවන් හුඟක් දන්නවා. ඒත් ජීවිතය ගැන හොඳින්ම දන්නේ දෙමාපියන්.”