Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

මුදල්

මුදල්

හැම නරක දේකටම මුල මුදල්ද?

“සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය.”1 තිමෝති 6:10.

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

හැම නරක දේකටම මුල සල්ලි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“සෑම හානිකර දෙයකටම” මුල මුදල් නෙමෙයි, ‘මුදල්වලට තිබෙන දැඩි ආශාවයි.’ එවැනි අයට අද්දකින්න වෙන හානිකර දේවල් තුනක් ගැන සාලමොන් කියන ධනවත් රජ බයිබලයේ මෙසේ සඳහන් කළා. (1) කනස්සල්ල. “තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.” (දේශනාකාරයා 5:12) (2) සෑහීමට පත් නොවීම. “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.” (දේශනාකාරයා 5:10) (3) වංචනික ක්‍රියා කිරීමට පෙලඹීම. “පොහොසත් වීමට ඉක්මන් වන්නා වැඩි කල් නිර්දෝෂව සිටින්නේ නැත.”හිතෝපදේශ 28:20.

අපිට මුදල් අවශ්‍ය වෙන්නේ ඇයි?

‘මුදල ආරක්ෂාවක්.’දේශනාකාරයා 7:12.

සමහර මිනිස්සු කියන්නේ මෙහෙමයි.

ජීවිතයට රැකවරණය හා සතුට ලැබෙන්නේ සල්ලිවලින්.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

ජීවිතේ අවශ්‍යතා ඉටු කරගන්න “මුදල් අවශ්‍යයයි.” (දේශනාකාරයා 10:19) උදාහරණයකට, ආහාර සහ බෙහෙත් වැනි දේවල් මිල දී ගන්න අපිට මුදල් ඕනේ. (2 තෙසලෝනික 3:12) නමුත් රැකවරණය හා සතුට ලැබෙන්නේ මුදල්වලින් කියා සිතීම නම් මුළාවක්.මාක් 4:19.

පවුලේ අවශ්‍යතා ඉටු කරන්නත් මුදල් ඕනේ. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “යමෙකු තමාගේම අයට, විශේෂයෙන්ම තම පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම් ඔහු සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකි.”1 තිමෝති 5:8.

ඥානවන්තව මුදල් පාවිච්චි කරන්නේ කොහොමද?

‘මුලින්ම ඒ සඳහා යන වියදම ගණන් බලන්න.’ලූක් 14:28.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

අපි මුදල් පරිහරණය කරන විදිහ ගැන දෙවියන් සතුටු වෙයිද කියලා හිතන්න. (ලූක් 16:9) අවංක වීම හා වගකීමෙන් කටයුතු කිරීමත් වැදගත්. (හෙබ්‍රෙව් 13:18) ලැබෙන ආදායමට වඩා වියදම් කරන්න එපා. “ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න.”හෙබ්‍රෙව් 13:5.

ණය ගැනීම බයිබලයේ හෙළා නොදැක්කත් මේ වගේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. “ණයගැතියා ණයහිමියාගේ සේවකයෙකි.” (හිතෝපදේශ 22:7) “දුර දිග නොබලා ක්‍රියා කරන්නා දිලිඳෙකු බවට පත් වෙයි” කියාත් බයිබලයේ සඳහන් වෙන නිසා දකින දකින දේ මිල දී ගන්න එපා. (හිතෝපදේශ 21:5) ඒ වෙනුවට අත්‍යවශ්‍ය දේවල් සඳහා “යමක් වෙන් කර” තබන්න කියා බයිබලයේ සඳහන් වෙනවා.1 කොරින්ති 16:2.

“දෙවි ප්‍රේම කරන්නේ සතුටු සිතින් දෙන” අයට නිසා “දීමට පුරුදු වන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 9:7; ලූක් 6:38) ඒ නිසා ‘යහපත් දේවල් කිරීමටත් අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක කරන්න එපා. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.’හෙබ්‍රෙව් 13:16.