Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

යොවුන් දරුවව හික්මවද්දී

යොවුන් දරුවව හික්මවද්දී

ප්‍රශ්නය

රෑ නමයෙන් පස්සෙ ජංගම දුරකතන පාවිච්චි කරන්න බෑ කියලා නීතියක් දැම්මත් දුව ගිය සතියෙ දවස් දෙකක්ම රෑ ජාමෙ ඇහැරගෙන SMS යවලා අහු වුණා. දහය වෙද්දී ගෙදර එන්න ඕන කියලා නීතියක් තිබුණත් පුතා ඊයේ රෑ ආවෙත් 11 පහු වෙලා.

යොවුන් දරුවන් ටිකක් මුරණ්ඩුයි තමයි. හැබැයි එයාලව හදාගන්න බැරිකමක් නෑ. ඒත් ඔයාලා දාන නීති දරුවා මායිම් කරන්නැත්තේ ඇයි කියලා මුලින්ම දැනගමු.

ඇයි එහෙම වෙන්නේ?

නීති පැහැදිලි නැති නිසා. හුඟක් යොවුන් දරුවන් නීති සැහැල්ලුවට ගන්නෙ කියපු දඬුවම දෙන්නැති නිසයි. එතකොට දාන නීති දරුවට පැහැදිලි නැති වෙනවා. ඒ වගේ වෙලාවට සමහර දරුවෝ නීතියක් දෙකක් කඩලා බලනවා අම්මලා කියපු විදිහටම දඬුවම දෙනවද නැද්ද කියලා. ඒකෙන් අදහස් කරනවද ඒ වගේ දරුවෙක් කැරලිකාරයෙක් වේගෙන එනවා කියලා? එහෙම වෙනවමයි කියලා කියන්න බෑ.

නීති තද නිසා. සමහර දෙමව්පියෝ දරුවන්ව පාලනය කරන්න හදන්නෙ ඉවරයක් නැතුව නීති දාලා. ඒවට දරුවො අකීකරු වෙද්දී කේන්තියෙන් දඬුවම් කරනවා විතරක් නෙමෙයි නීති තව තද කරනවා. හුඟක් වෙලාවට ඒකෙන් වෙන්නෙ ප්‍රශ්නෙ නරක අතට හැරෙන එකයි. එක පොතක මේ විදිහට කියලා තියෙනවා. “වැඩි වැඩියෙන් නීති දාලා පාලනය කරන්න හදද්දී දරුවොත් වැඩි වැඩියෙන් විරුද්ධ වෙනවා. ඒක හරියට ශීතකරණයෙන් ගත්ත ගමන්ම ගල් ගැහුණු බටර් කෑල්ලක් පාන් පෙත්තක තදින් ගාන්න හදනවා වගෙයි. ඒකෙන් වෙන්නෙ පාන් පෙත්ත කැඩෙන එකයි. ඒ නිසා ඕනාවට වඩා තද කිරීම විසඳුම නෙමෙයි.”—Parent/Teen Breakthrough.

හරි විදිහට හික්මවීම් දෙන කොට දරුවට ප්‍රයෝජන ලැබෙනවා. හික්මවීමකින් කෙරෙන්නේ යමක් ඉගැන්වීමයි. හැබැයි හික්මවීම කියන්නේ දඬුවම් කිරීමම නෙමෙයි. එහෙමනම් කොහොමද දාන නීතිවලට කීකරු වෙන්න දරුවට උගන්වන්නේ?

මොනවද කරන්න පුළුවන්?

පැහැදිලිව කියන්න. දෙමව්පියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලත් නීතියක් කැඩුවොත් මොන වගේ දඬුවමක් ලැබෙයිද කියලත් දරුවට පැහැදිලිව කියන්න.—ගලාති 6:7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යෝජනාවක්: දාලා තියෙන නීති කොළයක ලියලා මෙහෙම හිතන්න. ‘මම දරුවට ඕනෑවට වඩා නීති දාලාද? දාලා තියෙන නීති මදිද? දාලා තියෙන සමහර නීති දැන් ඕනෙ නැද්ද? දරුවා වගකීමෙන් වැඩ කරනවා නම් දාපු නීතිවල වෙනසක් කරන්න පුළුවන්ද?’

කියපු විදිහට කරන්න. ගිය සතියේ නීතිය කැඩුවට දඬුවම් කළේ නෑ. ඒත් ඒ වැරැද්දම මේ සතියේ කළාම දඬුවම් කරනවා. එහෙම වුණාම දරුවට දෙමාපියන් කටයුතු කරන විදිහ තේරුම්ගන්න අමාරු වෙනවා.—මතෙව් 5:37 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යෝජනාවක්: වරදට ගැළපෙන දඬුවමක් දෙන්න. උදාහරණෙකට දරුවා වෙලාවට ගෙදර ආවෙ නැත්නම් ගෙදර එන්න දාලා තිබුණ වෙලාවට කලින් වෙලාවක් නියම කරන්න.

සාධාරණ වෙන්න. යොවුන් දරුවා වගකීමෙන් වැඩ කරද්දී එයාට දාලා තියෙන නීති ටිකක් අඩු කරලා වැඩිපුර නිදහසක් දෙන්න.—ෆිලිප්පි 4:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යෝජනාවක්: දාන නීති ගැන දරුවත් එක්ක කතා කරන්න. නීතියක් කැඩුවම මොන වගේ දඬුවමක් දෙන්න ඕනෙද කියලා එයාගෙන්ම අහලා බලන්න. නීති දාද්දී ඒ ගැන එයත් එක්ක කතා කරලා දැම්මම දරුවා ඒවාට කීකරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

පෞරුෂය ගොඩනඟන්න. ඔබට ඕනෙ හරි වැරැද්ද තේරුම්ගන්න පුළුවන් විදිහෙ හොඳ හෘදය සාක්ෂියක් තියෙන දරුවෙක් සමාජෙට බිහි කරන්න. එහෙම නැතුව ඔබේ නීතිවලට ඔහේ කීකරු වෙන දරුවෙක්ව නෙමෙයි. (“ගුණ යහපත් දරුවෙක් කරන්න නම්” යන කොටුව බලන්න.)—1 පේතෘස් 3:16 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යෝජනාවක්: බයිබලයේ තියෙන උපදෙස්වලින් ප්‍රයෝජන ගන්න. ඒකෙ තියෙන ‘උපදෙස් පිළිපැදීමෙන් වටහාගැනීමේ ශක්තියත් අද්දැකීම් අඩු කෙනෙකුට බුද්ධියත් තරුණයෙක්ට [තරුණියකට] දැනුම සහ හොඳින් සිතීමේ හැකියාවත්’ දියුණු කරගන්න පුළුවන්.—හිතෝපදේශ 1:1-4.