Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

සමලිංගික ඇසුර අනුමත කළ හැකිද?

සමලිංගික ඇසුර අනුමත කළ හැකිද?

බොහෝ රටවල සමලිංගික ඇසුර අනුමත කර තිබෙනවා. එක්සත් ජනපදයේ පල්ලියක සාමාජිකයන් පිරිසක් කියා සිටියේ සමලිංගික ඇසුර සම්බන්ධයෙන් බයිබලයේ ඇති අදහස නව මුහුණුවරක් ලැබෙන ආකාරයෙන් නැවත පරිවර්තනය කළ යුතු බවයි. සමලිංගික විවාහයක් කරගත් බ්‍රසීලයේ පූජකයෙක් එම ඇසුර පිළිබඳව බයිබලයේ සඳහන් කර තිබෙන දේ ගැන අලුත් ආකාරයකට සිතන ලෙස තම පල්ලියේ සාමාජිකයන්ව උනන්දු කළා.

සමලිංගික ඇසුර අනුමත නොකරන අයට බොහෝ අපහාස විඳින්න සිදු වී තිබෙනවා. ඇත්තෙන්ම බයිබලයේ සමලිංගික ඇසුර ගැන සඳහන් වන්නේ කුමක්ද?

බයිබලයේ සඳහන් දේ

බයිබලයේ හෙළා දකින්නේ සමලිංගික ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ව නොව ඔවුන්ගේ ක්‍රියාවයි. එහි මෙසේ සඳහන් වෙනවා.

“ඔබ ස්ත්‍රියක සමඟ සයනය කරන්නාක් මෙන් පුරුෂයෙකු සමඟ නොහැසිරිය යුතුයි. එය ඉතා පිළිකුල් දෙයකි.”ලෙවී කතාව 18:22.

දෙවි ඊශ්‍රායෙල් ජාතියට දුන් සදාචාරය හා සම්බන්ධ නීතිවල සමලිංගික ඇසුරද තහනම් කර තිබුණා. දෙවි ඒ නීතිය ලබා දුන්නේ ඊශ්‍රායෙල් ජාතියට වුණත් ඒ ක්‍රියාව සම්බන්ධයෙන් දෙවිගේ ආකල්පය අපට ඉන් හොඳින් පැහැදිලියි. දෙවි එය සැලකුවේ “ඉතා පිළිකුල්” දෙයක් ලෙසයි. නමුත් ඊශ්‍රායෙල් දේශයේ අවට සිටි ජාතීන් සමලිංගික ක්‍රියාවල, ලේ නෑයන් සමඟ ලිංගික ක්‍රියාවල, දුරාචාරයේ සහ දෙවි තහනම් කර තිබූ වෙනත් ක්‍රියාවල නියැලුණා. ඒ නිසා දෙවි ඔවුන්ව සැලකුවේ අපවිත්‍ර ජාතීන් ලෙසයි. (ලෙවී කතාව 18:24, 25) දෙවි දැරූ ඒ ආකල්පය යේසුස්ගේ කාලය වන විට වෙනස් වුණාද? පහත සඳහන් බයිබල් පදය සලකා බලන්න.

“පිළිකුල්සහගත ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීමට දෙවි ඔවුන්ට ඉඩහැරියේය. එහෙයින් ඔවුන් අතර සිටි ස්ත්‍රීහු ස්වාභාවික ලෙස ලිංගික සම්බන්ධකම් පවත්වනවා වෙනුවට අස්වාභාවික ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය. එසේම පුරුෂයන්ද ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් පවත්වනවා වෙනුවට එකිනෙකා කෙරෙහි කාමාශාවෙන් මත් වී පුරුෂයෝ පුරුෂයන් සමඟ අශික්ෂිත ලිංගික ක්‍රියාවල යෙදෙන්න පටන්ගත්තෝය.”රෝම 1:26, 27.

සමලිංගික ඇසුර බයිබලයේ අස්වාභාවික සහ අශික්ෂිත ක්‍රියාවක් ලෙස දක්වා තිබෙන්නේ ඇයි? ඊට හේතුව දෙවි මිනිසාව නිර්මාණය කිරීමේදී ඔහු ඔවුන්ට ලිංගික ඇසුරෙහි යෙදීමේ හැකියාව ලබා දුන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහායි. නමුත් සමලිංගික ඇසුරෙන් ඒ අරමුණ ඉටු වන්නේ නැහැ. ඒ වගේම සමලිංගික ඇසුර හා නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්මට පෙර ස්වර්ගයේ සිටි කැරළිකාර දේවදූතයන් පොළොවට පැමිණ ස්ත්‍රීන් සමඟ පැවැත්වූ ලිංගික සම්බන්ධකම් බයිබලයේ සමාන කර තිබෙන්නේ අස්වාභාවික ක්‍රියාවලටයි.—උත්පත්ති 6:4; 19:4, 5; යූද් 6, 7.

සමලිංගික ඇසුර සාධාරණීකරණය කළ හැකිද?

සමහරෙකු මෙසේ සිතිය හැකියි. ‘කෙනෙකු සමලිංගික ක්‍රියා කිරීමට පෙලඹෙන්නේ ඔහුට උපතින්ම ඒ හැඟීම් ඇති වූ නිසා හෝ ඔහු ඇතිදැඩි වූ පරිසරය නිසා හෝ ලිංගික අපචාරයට ලක් වීම වැනි ජීවිතයේ කටුක අද්දැකීම් නිසයි. නමුත් එහි වරදක් නැහැ කියා පැවසිය හැකිද?’ කොහෙත්ම නැහැ. මේ උදාහරණය සලකා බලන්න. සමහරුන් මත්පැන්වලට ඇබ්බැහි වන්නේ පරම්පරාවෙන් ආ පුරුද්දක් නිසා හෝ එවැනි පවුල් පසුබිමක හැදී වැඩුණු නිසා කියා සමහර විද්‍යාඥයන් පවසනවා. එවැනි පුද්ගලයෙකුට බොහෝදෙනෙක් අනුකම්පාව දැක්විය හැකියි. නමුත් ඔබ ඔහුට ඒ පුරුද්දේ දිගටම නියැලීමට දිරිගන්වන්නේවත් එම පුරුද්දෙන් මිදීමට ඔහු දරන උත්සාහය අත්හරින්න කියා පවසන්නේවත් නැහැ.

ඒ හා සමානව සමලිංගික ක්‍රියා කිරීමට නැඹුරුවාවක් තිබෙන අයව බයිබලයේ කිසිම විටෙක හෙළා දකින්නේ නැහැ. උපතින්ම ඒ හැඟීම ඇති වූ නිසා හෝ වෙනත් හේතුන් නිසා එම ක්‍රියාව බයිබලයේ අනුමත කරන්නෙත් නැහැ. (රෝම 7:21-25; 1 කොරින්ති 9:27) සමලිංගික ඇසුරෙන් මිදීමට උත්සාහ දරන පුද්ගලයන්ට බයිබලයේ මඟ පෙන්වීම් ලබා දී තිබෙනවා.

දෙවි දරන ආකල්පය

දෙවිගේ කැමැත්ත “සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (1 තිමෝති 2:4) සමලිංගික ක්‍රියා බයිබලයේ අනුමත නොකළත් එවැනි ක්‍රියාවල නියැලෙන පුද්ගලයන්ට වෛර කරන්නේ නැහැ.

දෙවි සමලිංගික ක්‍රියා ගැන දරන ආකල්පය කිසිවිටෙකත් සුළු කරන්න බැහැ. පළමුවන කොරින්ති 6:9, 10හි ‘සමලිංගික ක්‍රියාවලට හවුල් වන පිරිමින්ට දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති’ බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා. නමුත් එහි 11වන පදයේ සඳහන් මේ දෙයින් සහනයක් ලැබිය හැකියි. “ඔබෙන් සමහරදෙනෙක් කලින් එවැනි දේවල යෙදී සිටි අය වූහ. නමුත් දැන් ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව දැන් ශුද්ධ කර ඇත. අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්ද අපගේ දෙවිගේ බලය ලබාගැනීමෙන්ද ඔබව ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කර ඇත.”

දෙවිගේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙමින් ඔහුට නමස්කාර කිරීමට කැමති අයව එදා ක්‍රිස්තියානි සභාවට සාදරයෙන් පිළිගත්තා. බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි කියා නොසිතා ඊට එකඟව තම ජීවිත වෙනස් කරගන්නා අයව දෙවි අදත් පිළිගන්නවා.

මේ ගැන ඔබ සිතුවාද?

● සමලිංගික ක්‍රියා ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?—රෝම 1:26, 27.

● සමලිංගික ක්‍රියා කිරීමට නැඹුරුවාවක් තිබෙන අයව බයිබලයේ හෙළා දකිනවාද?—1 තිමෝති 2:4.

● සමලිංගික ඇසුරෙන් සම්පූර්ණයෙන් මිදෙන්න කෙනෙකුට පුළුවන්ද?—1 කොරින්ති 6:9-11.

[29වන පිටුවේ පින්තූරය]

සමලිංගික ඇසුර ගැන බයිබලයේ සඳහන් දේ වෙනස් කළ යුතුද?