Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

හොඳ මිතුරෙකුව හඳුනාගන්නේ කෙසේද?

හොඳ මිතුරෙකුව හඳුනාගන්නේ කෙසේද?

“මම නොදන්න හුඟක් දේවල් කෝරි මට කියලා දීලා තියෙනවා. ඒ වගේම මට අලුත් යාළුවන්ව හඳුන්වලා දීලත් තියෙනවා. කෝරි නිසා මගේ ජීවිතේ වෙනස් වුණා. ඒ වගේ යාළුවෙක් ඉන්න එක ගැන මට හරි සතුටුයි.”—ටාරා. *

‘මට නම් කවදාවත් ඒ වගේ යාළුවෙක් හම්බවෙන එකක් නැහැ’ කියලා ඔබට සිතෙනවාද? හොඳ යාළුවෙක් ඇත්තෙන්ම සොයාගත හැකියි. ඒ සඳහා මෙම ලිපියේ ඇති තොරතුරු ඔබට උපකාරවත් වේවි.

‘මට යාළුවෝ හුඟක් ඉන්නවා. ඒත් හොඳ යාළුවෙක් නැහැ.’ එසේ පැවසුවේ 21 හැවිරිදි ෂේනා නමැති යෞවනියයි. අන්තර්ජාලය හරහා මිතුරුකම් ඇති කරගන්නා අයටත් එසේ හැඟෙන්න පුළුවන්. ඒ ගැන වයස 22ක් වන සෙරේනා මෙසේ පවසනවා. “කෙනෙකුට අන්තර්ජාලය හරහා යාළුවන්ගේ ලොකු ලැයිස්තුවක් තියෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ඒක නිකන්ම නම් ලැයිස්තුවක් විතරයි.” *

ඔබ කැමති, මිතුරන්ගේ ලැයිස්තුවක් තබාගැනීමටද නැත්නම් හොඳ මිතුරන් කිහිපදෙනෙක් හෝ සිටිනවාටද? බොහෝදෙනෙකු සමඟ ආශ්‍රය කිරීම හොඳ දෙයක්. නමුත් යම් ප්‍රශ්න ගැටලු එන විට ඔබ සමඟ සිටින්නෙත් ඔබට යහපත් පුද්ගලයෙකු වීමට උපකාර කරන්නෙත් හොඳ යහළුවන් පමණක් බව මතක තබාගන්න. (1 කොරින්ති 16:17, 18) ඒ නිසා හොඳ මිතුරෙකු මොන වගේද කියා හඳුනාගැනීමට පහත සඳහන් කරුණු ඔබට උපකාරවත් වෙයි.

හොඳ මිතුරෙක් විශ්වාසවන්තයි.

“මගේ යාළුවා එයාගේ පෞද්ගලික දේවල් මාත් එක්ක කියනවා. ඒ නිසා මගේ පෞද්ගලික දේවලුත් එයාට කිව්වට කමක් නැහැ කියලා හිතුවා. ඒ නිසා මම කැමති පිරිමි ළමයෙක් ගැන මම එයාට කිව්වා. ඒක තමයි මම කරගත්ත ලොකුම මෝඩකම. මොකද එයා ඒ ගැන හැමෝටම කියලා.”—බෙවලි.

“ඇලන්ට ඕනෙම දෙයක් කියන්න පුළුවන්. එයා කවදාවත් ඒ දේවල් කාටවත් කියන්නේ නැහැ.”—කැල්වින්.

ඉහත සඳහන් අද්දැකීම් දෙක අතරින් හොඳ මිතුරෙක් සිටින්නේ කාටද? ඔබේ පෞද්ගලික දෙයක් වුණත් විවෘතව කතා කළ හැකි විශ්වාසවන්ත මිතුරෙක් ඔබට සිටිනවාද? * බයිබලයේ පවසන්නේ “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි” කියායි.—හිතෝපදේශ 17:17.

ඔබට සිටින විශ්වාසවන්ත මිතුරන් දෙදෙනෙකුගේ නම් පහත ලියන්න.

  1. ․․․․․

  2. ․․․․․

හොඳ මිතුරෙක් කැප කිරීම් කරන්න සූදානම්.

“අපි හැමෝම දුර්වල වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට හොඳ යාළුවෙක් බලබලා ඉන්නේ නැහැ. උපරිමයෙන් උදව් කරනවා.”—කෙලී.

“මමයි මගේ යාළුවෙකුයි විවාහ උත්සවයකට යන්න හිතාගෙන හිටියා. ඒත් හදිසියේම මගේ අම්මා නැති වුණ නිසා අවමංගල්‍ය කටයුතු යෙදිලා තිබුණේ හරියටම ඒ දවසෙමයි. මගේ යාළුවා උත්සවයට යනවා වෙනුවට එදා එයා මාත් එක්ක හිටියා. ඒ ගැන මට හරි පුදුමයි. මොකද ඒ වෙනකොට අපිට තිබුණේ සාමාන්‍ය ආශ්‍රයක් විතරයි. ඒත් මේ සිද්ධියෙන් මට තේරුණා එයා හොඳ යාළුවෙක් කියලා.”—ලීනා.

එවැනි පරිත්‍යාගයක් වුණත් කිරීමට සූදානමින් සිටින මිතුරන් ඔබට සිටිනවාද? හොඳ මිතුරෙක් “තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත්” වෙනවා.—1 කොරින්ති 10:24.

ඔබ වෙනුවෙන් යම් දෙයක් පරිත්‍යාග කිරීමට වුණත් කැමති මිතුරන් දෙදෙනෙකුගේ නම් පහත ලියන්න.

  1. ․․․․․

  2. ․․․․․

හොඳ මිතුරෙක් ඔබට යහපත් කෙනෙක් වෙන්න උපකාර කරනවා.

“සමහර අය හිතන්නේ ඒගොල්ලන් මොනවා කළත් අපි ඒකට එකඟ වෙන්න ඕනේ කියලා. හොඳ යාළුවෝ කවදාවත් එහෙම හිතන්නේ නැහැ.”—නඩීන්.

“මගේ අක්කා තමයි මගේ හොඳම යාළුවා. මගේ ජීවිතයට ප්‍රයෝජනවත් කියලා හිතෙන දේවල්, මම අකමැති වුණත් ඒවා කරන්න කියලා එයා මට බල කරනවා. ඒ වගේම මගේ වැරැද්දක් දැක්කොත් ඒකත් කෙළින්ම කියනවා.”—ඒමි.

“එක කාලයකදී මට හුඟක් ප්‍රශ්න තිබුණා. සමහර අය මමම ප්‍රශ්නෙන් ගොඩ එනකල් බලාගෙන හිටියා. තවත් අය ඒ වෙලාවට විතරක් සහනය ලැබෙන දේවල් කිව්වා. ඒත් ප්‍රශ්නය ගැන අවංකව මාත් එක්ක කතා කළේ නැහැ. නමුත් මගේ හොඳම යාළුවන් මගේ ප්‍රශ්නේ ගැන කතා කළා විතරක් නෙවෙයි, ඒකෙන් ගොඩ එන්නත් උදව් කළා.”—මිකී.

“මගේ හොඳ පැති දැක්කොත් මගේ හොඳම යාළුවා ඒවා අගය කරනවා. අනික් අතට මොකක් හරි වැරැද්දක් දැක්කොත් ඒකත් කියනවා. මමත් කැමති ඒ වගේ යාළුවෙකුටයි.”—ඉලේන්.

ඔබට වඩාත් හොඳ කෙනෙක් වීමට ඔබේ මිතුරන් ඔබට උපකාර කරනවාද? නැත්නම් ඔබේ ප්‍රතිපත්ති බාල කිරීමට උත්සාහ කරනවාද? බයිබලයේ මෙවැනි දෙයක් පවසනවා. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

ඔබට වඩාත් හොඳ කෙනෙක් වීමට උපකාර කරන මිතුරන් දෙදෙනෙකුගේ නම් පහත ලියන්න.

  1. ․․․․․

  2. ․․․․․

ඉහත අවස්ථා තුනේදීම එකම නම තුන් වතාවක් සඳහන් වී තිබෙනවා නම් ඇත්තෙන්ම ඔහු හෝ ඇය හොඳ මිතුරෙක් කියා පැවසිය හැකියි. අනික් අතට එම හිස්තැන් පිරවීමට ඔබට අපහසු වුණා නම් ඒ ගැන දුක් වෙන්න එපා. ඔබ නොදන්නවා වුණත් හොඳ මිතුරෙකු ලෙස තෝරාගත හැකි කෙනෙක් ඔබ ළඟම සිටිනවා විය හැකියි. ඒ නිසා ඔහු කවුද කියා හඳුනාගන්න. * ඒ වගේම හොඳ මිතුරෙකු සතුව තිබිය යුතු ලක්ෂණ ඔබත් වර්ධනය කරගන්න. ඒ ගැන 20 හැවිරිදි එලේනා මෙසේ පවසනවා. “මගේ යාළුවෙකුට උදව්වක් ඕනේ නම් මම ඒක කරනවා. ඒගොල්ලන්ට කතා කරන්න ඕනේ නම් අහගෙන ඉන්නවා. දුකෙන් ඉන්නවා නම් ළඟින් ඉන්නවා.”

බොහෝ අයව ආශ්‍රය කිරීම හොඳ දෙයක්. (2 කොරින්ති 6:13) ඒත් විපතකදී ඔබ ළඟින් සිටින්නේ හොඳ මිතුරෙක් පමණයි. (හිතෝපදේශ 17:17) ඒ ගැන 20 හැවිරිදි ජීන් මෙසේ පවසනවා. “අපේ අල්මාරිය ඇරලා බැලුවොත් හුඟක් ඇඳුම් ඇති. ඒත් අපි නිතර අඳින්නේ ඒවායින් කිහිපයක් විතරයි. යාළුවොත් හරියට ඒ වගෙයි. හුඟක් යාළුවෝ හිටියත් අපි වැඩියෙන්ම ආශ්‍රය කරන්නේ හොඳ යාළුවෝ එක්ක විතරයි.”

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. අන්තර්ජාලය හරහා මිතුරුකම් ඇති කිරීම ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2011 ජූලි සහ අගෝස්තු පිබිදෙව්! කලාපවල “යෞවන අය අසති” ලිපි බලන්න.

^ 10 ඡේ. ඔබේ මිතුරා බරපතළ වරදක් කළා නම්, සියදිවි නසාගැනීමට අදහස් කරගෙන සිටිනවා නම් හෝ නරක පුරුද්දකට වැටී සිටිනවා නම් එවැනි දේවල්, රහසක් ලෙස තබාගන්නවා වෙනුවට වැඩිහිටි කෙනෙකුට කීම අවශ්‍යයි. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 2008 මැයි පිබිදෙව්! කලාපයේ 26-29 දක්වා පිටු සහ 2008 දෙසැම්බර් පිබිදෙව්! කලාපයේ 19-21 දක්වා පිටු බලන්න.

^ 30 ඡේ. වැඩි විස්තර සඳහා 2009 මාර්තු පිබිදෙව්! සඟරාවේ “යෞවන අය අසති” ලිපිය බලන්න.