Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

මට සාර්ථක වෙන්න බැරිද?

මට සාර්ථක වෙන්න බැරිද?

“මගේ යාළුවා කරන හැම දෙයක්ම සාර්ථකයි. එයා ඕනෙම දෙයක් හරි ලෙහෙසියෙන් කරනවා. ඒත් මම කොච්චර මහන්සි වුණත් කිසිම දෙයක් හරියට කරගන්න බැහැ.”—ඇනට්. *

සාර්ථකව දේවල් කරන්න අපි කවුරුත් කැමතියි. නමුත් අසාර්ථක වෙයි යන සිතුවිල්ල නිසා අලුත් දෙයක් කිරීමට ඔබ බියෙන් සිටිනවාද? නැත්නම් වෙන කෙනෙක් තරම් හොඳින් දේවල් කරන්න බැහැ කියා ඔබට සිතෙනවාද? එසේත් නැත්නම් කලින් අවස්ථාවක අසාර්ථක වී තිබෙන නිසා නැවත යමක් කිරීමට ඔබ උත්සාහ කරන්නේ නැද්ද? එසේනම් එවැනි හැඟීම්වලින් ජය ගැනීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

අපි කවුරුත් යම් අවස්ථාවලදී අසාර්ථක වෙනවා. (රෝම 3:23) නමුත් සෑම අසාර්ථක වීමක් පිටුපසම සාර්ථක වීම සඳහා පාඩමක් තිබෙන බව මතක තබාගන්න. ඒ වගේම යම් අසාර්ථකත්වයන් අද්දකින පුද්ගලයෙක් ඊළඟ අවස්ථාවේදී සාර්ථක වීමට තිබෙන ඉඩකඩද වැඩියි. ඔබ අසාර්ථකයි කියා ඔබට හැඟෙන්න පුළුවන් අවස්ථා තුනක් දැන් අපි හඳුනාගනිමු.

මම අසාර්ථක වෙයිද? → එසේ සිතීමට හේතුව.

සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙයි කියා කලින්ම නිගමනය කිරීම.

ගැටලුව හඳුනාගනිමු. පහත සඳහන් දේවල් අතරින් ඔබ කිරීමට කැමති වුණත් අසාර්ථක වෙයි කියා බියෙන් සිටින දේවල් ඉදිරියෙන් ✔ ලකුණ දමන්න.

  • පන්තියේ ළමයි ඉදිරියේ මගේ විශ්වාසයන් ගැන කතා කිරීම

  • රැකියාවකට අයදුම් කිරීම

  • පිරිසක් ඉදිරියේ කතාවක් ඉදිරිපත් කිරීම

  • ක්‍රීඩාවකට හවුල් වීම

  • ගීයක් ගැයීම හෝ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම

  • වෙනත්

සිතා බලන්න. ඔබ ලකුණු කළ දේ ඇත්තටම අභියෝගයක්ද කියා හඳුනාගැනීමට පහත සඳහන් ප්‍රශ්න ඔබට උපකාරවත් වෙයි.

‘මම කැමති කුමක් සිදු වෙනවාටද?’

․․․․․

‘මම භයෙන් සිටින්නේ කුමක් වෙයි කියාද?’

․․․․․

අසාර්ථක වීමට ඉඩ තිබුණත් ඔබ ඒ දෙය කරන්න ඕනේ ඇයි කියා පහත ලියන්න.

․․․․․

බයිබලයේ සඳහන් ආදර්ශ. ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වීමේ වගකීම යෙහෝවා දෙවි අතීතයේ සිටි මෝසෙස්ට දුන්නා. නමුත් ‘සෙනඟ මම කියන දේ විශ්වාස නොකරයි’ කියා ඔහු කලින්ම නිගමනය කළා. ඊටපසුව ඔහු දෙවිට මෙසේ පැවසුවා. ‘මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ. එහෙම වෙයි කියා සිතන්නත් බැහැ.’ දෙවි ඔහුට උපකාර කරන බවට පොරොන්දු වුණත් ඔහු පැවසුවේ “අනේ යෙහෝවා දෙවියනි, වෙන කෙනෙකුව මේ සඳහා යවන්න” කියායි. (නික්මයාම 4:1, 10, 13) අවසානයේදී දෙවිගේ මඟ පෙන්වීම ඇතුව අවුරුදු 40ක් පුරා ඔහුට එම වගකීම ඉටු කිරීමට හැකි වුණා.

ඔබට කළ හැකි දේ. ප්‍රඥාවන්ත සලමොන් රජ මෙසේ පැවසුවා. “ඔබට කළ හැකි සෑම දෙයක්ම ඔබේ මුළු උත්සාහයෙන්ම කරන්න.” (දේශනාකාරයා 9:10) ඔබ අසාර්ථක වෙයි කියා නිගමනය කර බියෙන් යටපත් වෙනවා වෙනුවට ඔබේ හැකි උපරිමයෙන් එය කිරීමට උත්සාහ කරන්න. ඒ වගේම ඔබ සාර්ථක වුණ අවස්ථාවක් ගැන මතක් කරගන්න. එය ඔබ දැන් මුහුණ දෙන අභියෝගය ජය ගැනීමට උපකාරවත් වෙයි.

යෝජනාවක්: අවශ්‍ය නම් ඔබේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීම සඳහා ඔබේ දෙමාපියන්ගෙන් හෝ අද්දැකීම් ලත් මිතුරෙකුගෙන් අදහස් විමසන්න. *

අනික් අය වගේ මට කරන්න බැහැ → එසේ සිතීමට හේතුව.

අනික් අය සාර්ථකව දේවල් කරනවා දකින විට ඔබ ඔබවම ඔවුන් සමඟ සන්සන්දනය කිරීමෙන් ඔබ අසාර්ථක කෙනෙක් කියා නිගමනය කිරීමයි.

ගැටලුව හඳුනාගනිමු. ඔබ ඔබවම සසඳන්නේ කා සමඟද? ඔබට වඩා ඔහු සාර්ථක වී තිබෙන්නේ මොන වගේ පැතිවලින්ද?

․․․․․

සිතා බලන්න. වෙන කෙනෙකු සාර්ථක වුණා කීමෙන් අදහස් කරන්නේ ඔබ අසාර්ථක කෙනෙක් බවද? ඔබේ මිතුරෙකු විශිෂ්ට ලෙසත් ඔබ සාමාන්‍ය ලෙසත් කළ යම් දෙයක් පහත ලියන්න. උදාහරණයකට වාර විභාගයේ ලකුණු විය හැකියි.

․․․․․

ඒ සඳහා ඔබ දැරූ උත්සාහය නිෂ්ඵල නැහැ කියා ඔබ සිතන හේතු ලියන්න.

․․․․․

බයිබලයේ සඳහන් ආදර්ශ. අතීතයේ සිටි ආබෙල්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදය ලැබුණු විට ඔහුගේ සහෝදරයා වූ කායින් ඒ ගැන “කෝප” වුණා. නමුත් යෙහෝවා දෙවි කායින්ට පැවසුවේ ඔහුටත් ආශීර්වාද ලබාගත හැකි බවයි. ඒ සඳහා ඔහු හරි දේ කිරීම අවශ්‍ය වුණා. “ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද” කියා දෙවි පැවසුවේ ඒ නිසයි. *උත්පත්ති 4:6, 7.

ඔබට කළ හැකි දේ. ‘එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරගන්නවා’ වෙනුවට අනික් අයගේ සාර්ථකත්වයන් සතුටින් පිළිගන්න. (ගලාති 5:26; රෝම 12:15) ඒ වගේම ඔබ සතු හැකියාවන්ද හඳුනාගන්න. නමුත් කිසිවිටෙක ඒ ගැන ඕනෑවට වඩා ආඩම්බර වෙන්න එපා. බයිබලයේ පවසන්නේ මෙසේයි. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන.”ගලාති 6:4.

මේ වතාවෙත් අසාර්ථක වෙයි → එසේ සිතීමට හේතුව.

කලින් අවස්ථාවකදීත් අසාර්ථක වුණ නිසා නැවත උත්සාහ කරන්න අකමැති වීමයි.

ගැටලුව හඳුනාගනිමු. ඔබ වැඩියෙන්ම අධෛර්යය වී සිටින්නේ ඔබ ලැබූ කුමන අසාර්ථකත්වය නිසාද?

․․․․․

සිතා බලන්න. එක් වතාවක් අසාර්ථක වූ පමණින් ඔප්පු වන්නේ ඔබ ඇත්තටම අසාර්ථක කෙනෙක් බවද? යම් දෙයක් කිරීමට ඔබ අසමත් වුණත් ඔබ කිසිම වැඩකට නැති පුද්ගලයෙක් කියා ඉන් අදහස් කරයිද? අනික් අතට ඔබ අසාර්ථක වූ කාරණයේදී ඔබ වෙනත් කෙනෙකුගේ උපකාරය ඇතුව එය කළා නම් ඔබට සාර්ථක වෙන්න තිබුණා කියා ඔබ සිතන්නේ නැද්ද? උදාහරණයකට ඔබ ක්‍රීඩාවක නියැලෙන විට වැටුණා කියා සිතන්න. වෙනත් කෙනෙකු ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වුණොත් ඔබ එය පිළිගන්නේ නැද්ද? සැබෑ ජීවිතයේදීත් ඔබට ඒ ප්‍රතිපත්තියම අදාළ කරගත හැකියි. ඒ සඳහා ඔබට උපකාර ලබාගත හැකි කෙනෙකුගේ නම සඳහන් කරන්න. *

․․․․․

බයිබලයේ සඳහන් ආදර්ශ. එක් අවස්ථාවකදී බයිබලයේ සඳහන් පාවුල්ද ඔහුගේ දුර්වලතාවක් ගැන අධෛර්යය වී සිටියා. ඔහු පැවසුවේ “මා කොතරම් කාලකණ්ණි මිනිසෙක්ද” කියායි. (රෝම 7:24) නමුත් ඔහුට දුර්වලතාවක් තිබුණත් ඔහු අසාර්ථක කෙනෙක් නොවන බව ඔහු තේරුම්ගත්තා. ඔහුම ඒ ගැන පැවසුවේ මේ ආකාරයටයි. “මම යහපත් සටනට සහභාගි වූවෙමි. එය අවසන් වන තුරුම සටන් කළෙමි. මගේ ධාවන තරඟයද නිම කළෙමි. මම සත්‍ය ඉගැන්වීම් පිළිපැද්දෙමි.”—2 තිමෝති 4:7.

ඔබට කළ හැකි දේ. නිතරම ඔබේ දුර්වලතාවන්ට පමණක් අවධානය දෙනවා වෙනුවට ඔබ කළ යහපත් දේවල් ගැන සිතන්න. යෙහෝවා දෙවි පවා බලන්නේ ඔබේ යහපත් ක්‍රියාවන් හා ගුණාංගයි. “ඔබ කළ සේවය හා දෙවිගේ නාමය කෙරෙහි ඔබ පෙන්වූ ප්‍රේමය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නොවේ” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි.—හෙබ්‍රෙව් 6:10; ගීතාවලිය 110:3.

මතක තබාගන්න: කිසිම කෙනෙක් සියයට සියයක් සාර්ථක වන්නේ නැහැ. යම් අවස්ථාවලදී අපි කවුරුත් අසාර්ථක වෙනවා. නමුත් ඔබ ජීවිතයේ වැටිවැටී නැඟිටීමට දරන සෑම උත්සාහයක්ම ඔබව අනාගතයේදී සාර්ථකව කටයුතු කරන වැඩිහිටියෙක් බවට පත් කරනවා. ඒ ගැන බයිබලයේ පවසන්නේ “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියායි. ඔබටත් එවැනි කෙනෙක් විය හැකි බව ස්ථිරයි.—හිතෝපදේශ 24:16.

^ 3 ඡේ. නම වෙනස් කර ඇත.

^ 23 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2010 මැයි පිබිදෙව්! කලාපයේ 26-28 දක්වා පිටු බලන්න.

^ 31 ඡේ. කායින් හරි දේ කිරීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා එහි නරක ප්‍රතිඵලවලට ඔහු මුහුණ දුන්නා. මෙයින් ගත හැකි පාඩම වන්නේ කෙනෙකුගේ සාර්ථකත්වයට අප ඊර්ෂ්‍යා නොකළ යුතු බවයි.—ෆිලිප්පි 2:3.

^ 36 ඡේ. කෙනෙකු බරපතළ වරදක් කර තිබෙන විට ක්‍රිස්තියානි සභාවේ වැඩිමහල්ලන්ගෙන් උපකාර ලබාගත හැකියි.—යාකොබ් 5:14, 16.